10 Jan 2017

වොක්ස්වැගන් යළි කරළියට: මෝටර් රථ 50,000ක් යළි කැඳවයි


ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන ජර්මනියේ වොක්ස්වැගන් සමාගම විසින් චීනයට අලෙවි කළ 50,000 කට ආසන්න මෝටර් රථ ප්‍රමාණයක් යළි කැඳවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වොක්ස්වැගන් Beetle හා Golf මාදිලිවලට අයත් මෝටර් රථ මෙලෙස යළි කැඳවනු ඇතැයිද එම රථවල හඳුනාගෙන ඇති තිරිංග දෝෂයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට වොක්ස්වැගන් සමාගම තීරණය කළ බවද Indian cars bikes පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

2012 ජූලි 01 වැනිදා සහ 2015 අගෝස්තු 06 කාලය තුළ නිෂ්පාදනය කරන ලැබූ වොක්ස්වැගන් බීට්ල් රථ හා 2012 ජූලි 01 හා 2013 ජූලි 06 කාලය තුළ නිෂ්පාදනය කරන ලද වොක්ස්වැගන් ගොල්ෆ් රථ මේ අනුව යළි කැඳවීමට නියමිතය.

අදාළ කාලපරිච්ඡේදය තුළ නිෂ්පාදිත වොක්ස්වැගන් බීට්ල් හෝ ගොල්ෆ් රථයක හිමිකරුවෙකු නම්, වහාම ළඟම ඇති සිය නියෝජිතායතනය වෙත ගොස් අදාළ දෝෂය හඳුනාගන්නා ලෙස මේ සම්බන්ධයෙන් සිය ගැණුම්කරුවන් වෙත වොක්ස්වැගන් සමාගම දන්වා සිටී. 

මෙහිදී දෝෂ නිරාකරණය නොමිලයේම සිදුකර දෙනු ලබන බවද වොක්ස්වැගන් සමාගම මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පසුගියදා කුලියාපිටියේදී මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීමත් වොක්ස්වැගන් නම මෙරට තුළද දැඩි කතාබහට ලක්විය.

ඒ වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව ප්‍රචාරය වීමත් සමගය.

මේ අතර වොක්ස්වැගන් ෆොක්ස්වාගන් ජාත්‍යන්තර සමාගම ටයිම්ස් ඔන් ලයින් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසිඳු සමාගමකට තම සමාගම මගින් වාහන එක්ලස් කිරීමට බලපත්‍රයක් ලබා දී නොමැති බව යි.

 

(0 votes)