September 29, 2021

සුනිල් පෙරේරා විසින් පැහැරගත් කාන්තාව

September 15, 2021

අවුරුදු 39 ක ඉතිහාසයක් ඇති සුනිල්, ගීතා කතාව අපූරු එකක්. වචනයක් කතා කරන සෑම අවස්ථාවකදීම අතිශය ප්‍රසන්න සිනහවක් ඇති මධ්‍යස්ථ ප්‍රමාණය සිරුරක් හිමි ගීතා තම ජීවිතයෙන් සිය සැමියාට පුළුල් ශක්තියක් වෙලා තියෙනවා. ගීතා කුලතුංග උපත ලබන්නේ 1967 වර්ෂයේ මාර්තු 18 වෙනිදා. ඒ උප පොලිස් පරීක්ෂක මහින්ද කුලතුංග සහ දුනීතා කුලතුංගගේ දියණියක් ලෙසින්.

ඇයගේ පියා පොලිස් නිලදාරියෙක් නිසා ඔහුගේ ස්ථානමාරුවීම් එක්ක ගීතා මහත්මියට සිය පව්ලේ අයත් සමඟ නගරෙන් නගරයට යන්න වෙනවා. ඒ නිසාම ඇයට පාසල් 7ක විතර ඉගෙනගන්න වෙනවා. ඇගේ අවසාන පාසල මහමායා බාලිකා විද්‍යාලයයි. ඒ වෙනකොට ගීතා මහත්මිය සාමාන්‍ය පෙළ පංතියේ. මේකාලෙදි තමයි ඇයට සුනිල් පෙරේරා මහතාව මුණගැහෙන්නේ. 

අපි මේ කතාව ලස්සන වෙන්න ඔවුන් දෙදෙනව සුනිල් සහ ගීතා විදිහට හදුන්වනවා. 1981 කාලේ වෙනකොට ජිප්සීස් මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණා. "එක පාරක් මට මගේ සහෝදරියෙකුයි ඥාති සහෝදරියකුයි එක්ක ජිප්සිස් ප්‍රසංගයකට යන්න අවස්ථාව ලැබුනා. ප්‍රසංගය අවසන් වෙලා අපි එතනින් එළියට එනකොට පොඩි වැස්සක් පටන් ගත්තා. මං හෙවනක් හෙව්වා. එතන වෑන් එකක් තිබුණා. මං ඒකට හේතු වුණා. ඒ වෑන් එකේ ඉඳපු එක්කෙනෙක් එලියට ඇවිල්ල බැලුවා. ඒ තමයි සුනිල්" ඇය මතකය අවදිකළා.

ඉතිං සුනිල් මේ දිගු කෙස් කලඹක් ඇති තරුණිය සමඟ වචනයක් කතා කරා. ඇයත් සුනිල් සමඟ කතාකළා. හබැයි මේ කතාබහේ ගීතාට ලොකු උනන්දුවක් හෝ විශේෂයක් තිබුනේ නැහැ. ඔවුන්ගේ කතාබහ බොහොම සැහැල්ලු, සරල එකක් වුණා. ඊට පස්සේ සුනිල් ඔහුගේ රසිකයෙක්ට කියන විදියට ඔහුගේ ස්ථානයට ඇවිත් මුණගැහෙන්න කියලා ගීතාට අරාධනාවක් කරා.

වෙනත් දිනෙක සුනිල්ගේ ස්ථානයේදී ඔවුන් දෙදෙනා මුණගැසුණු අතර ඉක්මනින්ම ඔවුන් හොඳ යහලුවන් වුණා. "ඒ වුණාට වෙන ආකාරයකින් සුනිල් ගැන හිතන්න මං පුංචි වැඩියි. ඔහු මට වඩා අවුරුදු පහළොවක් වැඩිමල්. ඒ හින්ද මට තේරුනේ ඔහුගේ බාල සහෝදරියක් විදිහට ඔහු මට සලකනවා කියලා විතරයි" ගීතා පැවසා තිබුණා.

ටික ටික ඔවුන්ගේ සම්බන්ධතාවය වැඩි වුණා. හැකි හැම වෙලාවකම සුනිල් නුගේගොඩ ඇවිල්ල ගීතාව හමුවෙන්න පුරුදුවෙලා හිටිය. සමහර වෙලාවට ගීතව ගෙදරට ඇරලවන්නත් සුනිල් ඉදිරිපත් වුණා. සුනිල් ජනප්‍රිය පුද්ගලයෙක් වුණත් ගීතා ඒ සම්බන්ධතාවයේ වැරැද්දක් දැක්කෙ නෑ. ඇයට හැම වෙලාවෙම සිතුනෙ ඔහු සහෝදරයෙක් හරි ඥාති සහෝදරයෙක් හැටියට විතරයි.

ගීතා ගොඩක්ම සුනිල්ගේ කතා විලාශයට කැමති වුණා. ඒක හින්ද මුනගැහුනු ඕනම වෙලාවක දිගු වෙලාවක් කතා කරකර ඉන්න ගීතා ප්‍රියකළා. සුනිල් ගීතාගේ ලෝකේ වීරයෙක් වුණා. ඇගේ පුද්ගලික දේවල් පවා ඇයට බෙදාහදා ගැනීමට තරම් මිතුරෙක් බවට පත්වුණා.

නමුත් මේ ඇසුර ගීතාගේ ගෙදරට ආරංචිය වෙනවා. ගීතාගේ අම්මා හරි දැඩි කෙනෙක්. ගීතා ඇගේ සහෝදරියත් එක්ක සුනිල්ගේ වාහනේට ගොඩ වෙනවා දැකපු කෙනෙක් අම්මට කේලමක් කියනවා. එකෙන් ගොඩක් කලබල වුණ ගීතාගේ අම්ම ඇයට බනිනවා. ගීතා සහ සුනිල් අතර වැරදි සම්බන්ධයක් නෑ කියලා කිව්වත් මව ඒක විශ්වාස කරන්නේ නෑ.

"ඔය සින්දු කාරයො අපේ පවුලට ගැලපෙන්නෙ නෑ. ඕක නවත්තගන්න කියලා අම්මා මට දිගටම කිව්වා. මං ඒ ගැන වැඩිය තැකීමක් කළේ නෑ. ඇය මට පහර දුන්න අවස්ථා කිහිපයකුත් තිබුණා. ඒත් ඉතිං ගැටලුවක් තියෙන කිසිවක් අපි අතර නෑ කියලා මං දැනගෙන හිටියා. ඒක හින්දා මං සුනිල්ට  දුරකථනයෙන් කතා කරන එකවත් එයාව හමුවෙන එකත් නැවැත්තුවේ නෑ."

මේ කාරනය නිසාම ගීතාගේ පාසල් ගමනත් ඇයගේ මව විසින් නතර කරනවා. මාස තුනකට පස්සේ ගීතාට නැවත පාසල් යන්න අවසර ලැබෙනවා. හැබැයි සුනිල් හමු වීමට නොහැකි බව පවසමින්. නැවතත් සුනිල්ව ගීතා හමුවෙනවා. මේ බව දැනගත් ගීතාගේ මව ගීතාගේ පාසල් ගමන සම්පූර්ණයෙන්ම නවතා දමනවා.

මේ තීරණයෙන් ගීතා තවත් මුරණ්ඩු වුණා. ගීතා මවට ලිපියක් ලියාතබා නිවෙසින් පැන ගියා. ගීතා කෙලින්ම යන්නේ ඇගේ යහලුවෙකුගේ නිවසකට. මේ අතර කලබල වන ගීතාගේ දෙමව්පියන් මේගැන පොලිසියට පැමිනිළි කරනවා. ඒ පැමිණිල්ලේ සඳහන් වූයේ සුනිල් ගීතාව පැහරගෙන ගොස් අතුරුදහන් කර ඇතිබවටයි.

ගීතාගේ වයස අඩු නිසා ඒක අපරාධ වරදක් වුණා. හෝමාගම පොලිසියෙන් සුනිල්ව අත්අඩංගුවට ගන්නවා. ගීතාටත් පොලිසියේ පෙනී සිටින්න වෙනවා. මේ සිදුවීම හරියටම සිද්දවෙන්නේ 1981 ඔක්තෝම්බර් 25 වැනිදා. ගීතා සුනිල් සමඟ ප්‍රේම සම්බන්ධයක් නැතිබව ගීතාගේ මව පිලිගත්තෙ නෑ. අන්තිමට සුනිල් ගීතාව විවාහ කරගන්නම්, මුලින් ගීතාට අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න කියලා අම්මල තාත්තලට කිව්වත් ගීතාගේ අම්මා ඒක පිළිගන්නේ නෑ. අන්තිමේදී සුනිල්ගේ දෙමව්පියෝ මොරටුවෙ ඒගොල්ලන්ගේ යාළුවෙක් ගාවට ගිහිල්ලා පාන්දර හතරට සුනිල්ගෙයි ගීතාගෙයි විවාහය ලියාපදිංචි කරනවා. ඔන්න ඔය විදිහට තමයි සුනිල් පෙරේරාගෙයි ගීතා කුලතුංගගෙයි ආදර කතාව ලියැවෙන්නෙ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 14:59