October 20, 2021

"මාව මෙච්චර වාසනාවන්ත ගැහැණියෙක් කලේ ඔයා" - චතූ මුණසිංහ මෙලොව හැර යන්න පෙර සැමියා ගැන කියූ කතාව

දරුණු පිළිකාවකට ගොදුරු වෙලා අප අතරින් සදහටම සමු ගත්ත සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චතූ මුණසිංහ සිය ආදරණීය සැමියා ගැන පැවසුවේ ඉතාමත්ම ගෞරවාන්විත අදහස් . අමාරුම හැම මොහොතකදිම ඇයව අත් නොහැර ඇය ළඟින්ම සිටි ඔහු ගැන ඇය මිය යන්න කලින් මුහුණු පොතේ අපූරු සටහනක් තබා තිබුණා .මෙන්න මේ විදිහට.

ඔයයි මායි 

අවුරුද්ද 2003, “අයියේ ඔයාගේ අම්මා ඔයාට පනිවිඩයක් කියන්න කිව්වා” ඔයාට මුලින්ම මම call කලේ ඔයාගේ අම්මා ඔයාගේ number එක දීලා මට මේ message එක ඔයාට දෙන්න කිව්ව නිසා. ඉතින් ඒ තමයි ඔයාට මම මුලින්ම කිව්ව වචන ටික. ඒ මීට අවුරුදු 18 ට කලින්.

දවසක් දා මාව බලන්න නුවන් අයියා එක්ක කොහුවල සක්‍යා එක ලග bus stop එකට ඔයා ආවේ ලස්සන printed shirt එකක් ඇදලා. ඒකේ උඩින් buttons තුනක් විතර unbutton කරලා හිටියේ. මට ඒ දවස අද වගෙ මතකයි.

ජීවිතේ පලවෙනිම වතාවට ආදරය කියන්නේ මොකද්ද කියලා මට පෙන්නුවේ ඔයා. මං දන්නවා ඔයා කිලෝමීටර් දහය පහලොව දුර ඇවිදින්න ඇති මාව දුරින් හරි විනාඩියකට බලලා යන්න. මොනම දෙයක් උනත් ඔයා ආවා හැමදාම මාව ඉස්කෝලෙන් පස්සේ ගෙදරට ඇරලන්න.

අපි දෙන්නගෙ කතාවේ මුල ඒක. මට මතකයි මං දවසක් ඔයාට මගෙ ජීවිතේ ප්‍රතිපත්ති කිව්වා. මගෙ ජීවිතේ අංක එක ආදරේ. මං ආදරේ කරන කෙනා කොහේ, කවුරු හිටියත් මට kiss එකක් දෙන්න දෙපාරක් නොහිතන කෙනෙක් වෙන්න ඕනේ. අවුරුදු දහ අටක් ගිහිල්ලත් අදටත් ඔයා super market එකේ හිටියත් ඇවිත් ආදරෙන් ඉබලා යන්න දෙපාරක් තියා එක පාරක්වත් හිතලා නෑ. ඒ කාලේ බෝම්බ ගහනකොට ඔයාගේ ගෙදර තාත්තලා එක්ක tv එකේ news බල බලහිටපු ඔයාට දවසක් මං කෝල් එකක් අරන් කියනවා ඉක්මනට TNL එක දාලා බලන්න කියලා. ඔයා තාත්තලටත් කියලා අන්න තවත් බෝම්බයක් ගහලා කියලා TNL දානකොට “තව එකසැරයක් ඔබ හමුවන්නට ඇත්නම්” කියලා රොශාන් ප්‍රනාන්දු සිංදුව කියනකොට ඔයාට එවෙලේ ගෙදර හැමෝගෙම ඉස්සරහා මොනවා උනාද කියලා හිතනකොට මට අදත් හිනා යනවා. ඔයාගේ ගෙදරට කෝල් කරලා ඔයා කියලා හිතලා තාත්තා එක්ක කොච්චර කතා කරලා ඇත්ද මං. ඔයා එක්ක තරහා උනාම ඉස්කෝලේ ඇරිලා යන ගමන් ඔයාගේ ගෙදර letter box එකට චිත්‍ර ඇදලා දාලා දුවනවා මං.

අවුරුදු 18 ට කලින් පටන් ගත්ත අපේ ආදරේ එහෙම් පිටින්ම roller coaster එකක්. Relationship එකක් ඇතුලේ, families එක්ක ඔයයි මායි නොසෑහෙන්න තැලුනු වාර අනන්තයි. අපේ ජීවිත වල ඔයයි මමයි එකතු වෙන්න කලින් ඉදලම ups and downs තිබුනා.අපි මුහුන නොදුන්න ප්‍රශ්නයක් නැතිම තරම්. හැම විදියකම, හැම පාටකම ප්‍රශ්න වලට අපිට මූන දෙන්න උනා. චන්දිම අයියා, ලහිරු අයියා මේ අකුරක් අකුරක් නෑර සාක්ශි දරාවි.

2008 දි මං ලංකාවට ඇවිත් ඔයා මාව බලන්න ආවේ චන්දිම අයියලා එක්ක . මං හිතන්නේ එදා ඒ දවස චන්දිම අයියට උනත් මතක ඇති. පැලවත්තේ හන්දියෙන් ඔයා මාව අරන් අපි party කරන්න ගියා. මට මතක හැටියට අපි dinner ගන්න ගියේ Station එකට. එදා චන්දිම අයියගේ, ඔයාගේ අනිත් යාලුවන් බිබී හිටපු glasses වලට මං වැලි පුරවනකොට ඔයා මං දිහා පොඩි ලමයෙක් දිහා බලන් ඉන්නවා වගේ වචනයක්වත් නොකිය බලන් හිටියේ. ඒ දවස මට ජීවිතේ අමතක නොවන දවසක් උනා.

Relationship එකක් තිබුනත් නැතත් ඔයාගෙයි මගෙයි ඒ තිබුන බැදීම ඒ විදියටම තිබුනා. හැම වෙලාවකම ඔයා මාව රැක්කා. මං අඩනකොට මගෙ කදුලු පිහිදාන්න ඔයා හැමදාම මං ලග හිටියා. තරහ උනත් අපි අපිට ආදරේ කලා. ඔයාගෙයි මගෙයි තිබ්බා මහ අමුතුම බැදිමක්.

Discipline, attitude, principles කියන දේවල් ඔයාලග පිලිවෙලටම තිබුනා. ඔයා අනිත් අයගෙන් වෙනස් උනේ එහෙම. ඒ නිසාම වෙන්න ඇති ගෑනු ලමයිගේ ආකර්ශනය ඕන වෙලාවක ඔයාට පිහිටලා තියෙන්නේ.

මහ යුද්දයක් අවසානෙදි අපි දෙන්නා මාර්තු එකොලහා වගෙ ලස්සන දවසක අපිටම අයිති උනා.

මගෙ ජීවිතේ ඔයා නැතුව මට යන්න උන පාරවල් වලත් ඔයා හරි ඉවසිල්ලෙන් බලන් හිටියා මං යන හැටි. අවශ්‍ය තැනදි අවසරයක් නැතුව උනත් මගෙ ලගින් ඉන්න ඔයා අමතක කලේ නෑ.මට ප්‍රශ්නයක් උනාම,මට අඩන්න ඕන උනාම, කාත් එක්ක කොහේ හිටියත් ඔයා එවෙලෙට මං ලගට ආවා. මාව නිවෙනකල් ඔයා මං ලගටම වෙලා හිටියා. මට ඔයාව ඕන උන , මතක් උන හැම වෙලාවකම ඔයා මං වෙනුවෙන් මට හිටියා.

මං ආසම ඔයා අර ඇරපු ජීප් එකේ මාව දාන් කොහේ හරි යනකොට හැමදාම play උන සිංදුවක් තිබුනා. – Just the way you are -. ඔයා සිංදුවේ රිදම් එකට ජීප් එක ඩ්‍රයිව් කරන්නේ මගෙ මූන අත ගගා. වචනයක් ගානේ මට කිය කිය. මට අද හිතෙනවා මේ හැමදේම මගෙ දෛවය. එදාට වඩා මේ සිංදුව ගැලපෙන්නේ අපිට අද. අපි දෙන්නගේ ඉරනම මෙහෙමම විසදෙන්න තිබුන එකක්.

ඔයාව මාව දන්න ගොඩක් දෙනෙක් අපේ කතාව දන්නවා. ඒ හැම කෙනෙක්ම අපේ කතාව දකින්නේ film එකක story එකක් වගේ. කොටින්ම ඔයාටවත් මටවත් බැරි උනා අපිව අපෙන් ඈත් කරන්න. අපි දෙන්නා අදටත් ආදරේ කරන්නේ එදා අවුරුදු දාසයේදි ආදරේ කරපු විදියටමයි.

“අර්ජුන් මුණසිංහ”

ගෑනියෙක් හැම ආත්මෙකම පතන්නම ඕනේ පිරිමියෙක්.

ගෑනු හිත් හරි පෙරේතයි. තමන්ගේ boyfriend / husband මෙහෙම වෙන්න ඕන කියලා හිතන අය අතරේ මට එහෙම්පිටිම්ම full package එකක් වෙලා ඔයා ආවා. ඔයා වගෙ පිරිමියෙක්ව පතන්නේ ගෑනියෙක් හීනෙන් විතරමයි බබා. මාව මෙච්චර වාසනාවන්ත ගෑනියෙක් කලේ ඔයා. මාව සම්පූර්ණ කලේ ඔයා.

මට මං වෙලා ඉන්න, මගෙ එකම එක දෙයක්වත් වෙනස් නොකර, මට එහෙම්පිටිම්ම කිසිම ලෝබ කමක් නැතුව ඔයා ඔයාගේ ඔක්කොම ආදරේ දෙනවා. කිසිම කෙනෙක් එක්ක ඊරිසියාවක් නැති මගේ මේ ජීවිතේ ඔයාගේ දිහා කවුරුහරි බැලුවත් ඇති වෙන්නේ පපුව පැලෙන්න ඊරිසියාවක්. ඔයා මට සීයට සීයක් මානසික නිදහස දුන්නත් ඔයාගේ ඒ නිදහස මම හැමදාම ඔයාට සීයට 99ක් දීලා ඉතුරු එක ඊරිසියාවෙන් පැලෙන්නේ ඔයාව මටම විතරක් ඕන නිසා. ගොඩක් දේවල් නැති උන මගෙ ජීවිතේ ඔයාව මට ලැබුන එකට මම කරපු පින මොකද්ද කියලා මම අදටත් හිතනවා. මගේ දෛවය මටම ශුවර් නැති නිසා ගෑනියෙක් ගෑවුන තැන මට රිදෙන්න ගන්නේ ඔයාට තියන ලෝබ කමට මිසක් මගේ තුන් හිතකවත් සැකය කියන දේ කවදාවත් අපි අතරට ඇවිත් නෑ. ඔයාට මං එච්චරම ආදරෙයි, එච්චරම පෙරේතයි.

කසාද බදින්න ඕනේ හැමදේම ගලපගෙන නෙවෙයි, ඒ දවස් වල හදහන් බලපු මෝඩ මට කිව්වේ කවදාවත් මේ දෙන්නට එකට ඉන්න බෑ කියලා. යෝගට් පුඩිම ඇරෙන්න ඔයගෙයි මගෙයි ගැලපෙන කිසිම දෙයක් නෑ. කොටින්ම ඔයා කැමති කිසිම කෑමක් මං කන්න ආස නෑ, මං කන කිසිම කෑමක් ඔයා කන්න ආස නෑ. අපි දෙන්නගෙ hobbies හාත්පසින්ම වෙනස්. අපි හිතන පතන විදියේ ඉදලා හැමදේම එකිනෙකට වෙනස්. ඒත් ඔයාගේ ආසම යෝගට් පුඩිම හදන්නේ මම, ඔයා ආසම mutton curry එක හදන්නේ මම. උයන්න දන්නේ නැති මම ඔයා වෙනුවෙන් අවුරුද්දකට වතාවක් දෙකක් ඔයා ආස දෙයක් හදලා දෙද්දි මං ආස ඕනම කෑමක් youtube එකෙන් බලලා හැමදාම ඔයා මට හදලා දුන්නා. හැමදාමත්, අදටත් මගෙ favorite cheff ඔයා. ඔයාගේ කෑම රසම කෑම උනේ මට විතරක් නෙවෙයි. කාපු හැමෝටම.බිස්නස් වලදි ඔයයි මායි හිතුවේ වෙනස් විදියකට. මට ඕන විදිය වරදිනවා කියලා දැන දැනත් ඔයා මට හැමදාම මට ඕන දේ කරන්න දුන්නා. පස්සේ සතුටින් ඒක හරි ගස්සන හැකියාවක් ඔයාට තියෙන්නේ. ඔයා කියන්නේ වරදින්නද බලන්න කරන්නම ඕනෙනේ බබා කියලා. මම අනපු තැන් ඔයා හරි ගැස්සුවේ එහෙම.කිසිම දෙයක් නොගැලපෙන අපි දෙන්නගේ ජීවිතේ මෙච්චර ගැලපෙන්නෙත් ඒ නොගැලපීම නිසාම වෙන්න ඇති බබා.

උයන්න දන්නේ නැති මට කවදාවත් ඔයා ගෙදර කෑම ගැන වද උනේ නෑ. මට උයන්න ඉගෙන ගන්න කියලවත් අද වෙනකල් කිසිම දවසක කියලත් නෑ. රෑ දහයට එකොලහට මට ෆැක්ට්‍රි යන්න උනත් ඔයා කවදාවත් මගෙ නිදහස සීමා කලේ නෑ. මං depressed වෙලා ඉන්නකොට කවී එක්ක night out එකකට යන්න කියලා මගෙ ඇදුම තෝරලා, කාර් එක හෝදවලා දීලා, සල්ලි ඔක්කොම මගෙ පර්ස් එකට දාලා “අනිත් හැමදේම අමතක කරලා ඔයා අද ඉස්සර වගේ සතුටින් ඉදලා එන්න” කියලා ඔයා මාව යැව්වේ රෑ අටත් පහු වෙලා. මමම කෝල් කලොත් මිසක් රෑ 12 ත් පැනලා මම ගෙදර එනකල් ඔයා මට එකම එක කෝල් එකක්වත් දීලා ඩිස්ටර්බ් නොකලේ ඔයාගේ තියන ඒ discipline නිසාම වෙන්න ඇති.එහෙම කෙනෙක් ඔයා. ගෑනියෙක්ට කසාද ජීවිතේදි මුලින්ම නැති වෙන්නේ එයාවමයි. ඒත් ඔයා මට හැමවෙලේම මාව මතක් කරලා දුන්නා. අපි දෙන්නගෙ ජීවිතේ එකම තැනකවත් මට ඔයාට බයෙන් කිසිම දෙයක් කරන්න සිද්ද වෙලා නැත්තෙත් ඔයා මට ඒ දුන්න මානසික නිදහස නිසාමයි. මං හොදටම දන්නවා මම මොනවා කලත් ඒක වැරදුනත් අන්තිම තැනදි හරි මට ඔයා ඉන්නවා. My Man is a Gentlemen, im proud to say that in here.

මං කිව්වේ, මං හැමදාම ඔයාව දැක්කේ complete package එකක් විදියට. මට මං ආසම කෑම හදලා දෙන්න, මට ඇදුම් සපත්තු තෝරන්න ඔයාට වඩා මමවත් දන්නේ නෑ.surprises දෙන්න, මල් දෙන්න තරම් ඔයා romantic නෑ කියලා ඔයාට මං හැමදාම කම්ප්ලේන් කලාට අමතක නොකර උදේ ඇදේදි ඇස් ඇරපු ගමන් මට දෙන කිස් එක, මම ආසයි කියලා හිතුවත් ඒ තප්පරේම මට ඒ දේ අරන් දෙන කොට, පාන්දර 2ට උනත් මගෙ මූනෙන් බඩගින්න කියවලා රසම රස කෑම එකක් හදලා දෙනකොට, ජීප් එකේ යනකොට හුලගට මට සිතල උනාම ඩ්‍රයිව් කරන ඔයා ඒ ගමන්ම මහ පාරේ මට ඔයාගේ ටී ශර්ට් එක ගලවලා දෙනකොට, දකින දකින පාර මට ආදරෙන් කිස් එකක් දෙන එක මේ හැමදේමත් මට රොමෑන්ටික් තමයි බබා.

ඔයා Marine Engineer කෙනෙක්. ඒක ගොඩක් අය නොදන්න දෙයක්. ඔයා නැතුව මට ඉන්න බෑ දවසක්. ඒ නිසාම ඔයා ඔයාගේ දැනුම දක්ශකම හැකියාව මේ හැමදේම මං හින්දා අත ඇරලා දැම්මා. ඒ වෙනුවට මගෙ ලගින්ම ඉන්න පුලුවන් විදියට බිස්නස් එකක් හැදුවා. කොහේ ගියත් ඔයා මාව හැමතැනම එක්කන් ගියේ හරි ආඩම්බරෙන්.මේ අවුරුදු ගානකටම අද වෙනකල් මං නැතුව ඔයා එලියට ගිහින් තියන වාර ගාන එක අතක ඇගිලි ගානටත් අඩු ඇති. අපි ඒ හැම මොහොතකම ආදරේ වින්දා. ජීවිතේ වින්දා.

මට අසනීපයි කියලා මුල ඉදලම ඔයා මට මගෙ ලෙඩේ හංගනකොට ඔයාගේ හිතේ කොච්චර දුකක් තියෙන්න ඇත්ද කියලා දැන් හිතෙද්දිත් ඇස් දෙකට කදුලු උනනවා. මට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන ඔයාටම, අසාමාන්‍ය තරම් ආදරේ දෙන ඔයාටම ඒක කිව්වම ඔයාගෙ පපුව තප්පරගානකට නවතින්න ඇති. කිසිම දෙයක් නැති ගානට මාව හැම චෙක් අප් එකකටම එක්කන් ගිය හැටි ඔයා. අන්තිමට ඩොක්ට ශෆ්රාස් මට ආදරෙන් තේරුම් කරලා මගෙ තත්වේ ගැන ඔයාගේ ඉස්සරහම කියද්දි ඔයාට බය හිතෙන්න ඇති. ඒත් එදා මට බය හිතුනේ නෑ. මට ඒ වෙද්දිත් මේක ගැන හරියටම නොතේරුන නිසා.

ඒත් පස්සේ පස්සේ google එකෙන් youtube එකෙ මේ වගේ කේසස් බලලා මං panic උනාම ඔයා තප්පරේකටවත් මාව තනි කලේ නෑ. ඩොක්ට මං ගැන බලාපොරොත්තු අත ඇරගන්න කියලා ඔයාටම කිව්වම යන්න වෙන මට දරාගන්න බැරි උනේ ඉන්න ඔයා ගැන හිතලා. ඔයාගේ අවුරුදු තිස් පහටම ඔයා ජේසුගෙන් මුකුත්ම ඉල්ලලා නෑ. ඒත් එදා කොච්චිකඩේ පල්ලියේදි සිය ගානක් මිනිස්සු අතරේ ඔයා දනින් වැටිලා ඇඩුවේ මාව ගන්න එපා කියලා. ඔයාගේ ලගින් හිටන් හිටපු මං එදා එතනම මැරුනා. මට හිතුනේ එහෙම. දරා ගන්න බැරි තරම් දුකක් මගෙ ඇගේම දිව්වේ. එදා හිතට හයිය ගත්තට ආයේ ආයේ කැඩුන වාර අනන්තයි. මගේ කියලා මං ආසම මගෙ කොන්ඩෙට. මං හරි ආදරේ කලා පුංචි කාලේ ඉදලම. කවදාවත් පිටෙන් උඩට එයාව කපලා නෑ මං. තනියම මගෙ කොන්ඩේ එක්ක මං කතා කරපු දවස් ඕන තරම්. මහ ලොකු දෙයක් නැති උනත් මං මගෙ කොන්ඩෙට පුදුම තරම් ආදරේ කලා. Cancer එක නිසා මට මුලින්ම දෙයක් නැති උනා නම් ඒ මගෙ කොන්ඩේ. අවුල් වෙලා තිබ්බ කොන්ඩේ අතින් කොන්ඩ ගස් වල අවුල ලිහන්න යද්දියි අහුරු පිටින් එයා ගැලවිලා මගෙ අතට ආවේ. ඔයා විතරයි මගෙ ලග හිටියේ එතන. කොන්ඩේ ගැලවෙනකොට මං කෑ ගැහුවේ ඇත්තටම මගෙ කෙනෙක් මැරුනා වගේ. ඒ හැගීමම මට ආවේ. මං අඩද්දි ඔයත් මාත් එක්කම ඇඩුවේ මං දන්නවා බබා මං තරමටම මගේ ඒ කොන්ඩෙට ඔයත් ආදරේ කලා. අර ඉස්සරම ඔයා මට කියන සිංදුව අපිට ගැලපෙන්නේ දැන් කියලා මං ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි. මාව ලස්සනම ඔයාට. මොන විදියට හිටියත්. මට විග් දාන්න ආස නෑ, එතකොට මම මං නෙවෙයිනේ, මෙහෙම මට හොදයි කියලා මං ඔයාට කියද්දි “ශෝක්නේ බබා ඔයා ඔය වගේ තව එක්කෙනෙක් දෙන්නෙක්ගෙ හිත හරි හයිය කරන්න පුලුවන්නම් ඒක කරන්න බබා” කියලා ඔයා කිව්වේ. ඔයා එහෙම කෙනෙක්. අසනීප උන මොහොතේ ඉදලා කොයි වැඩේ තිබ්බත් තප්පරයක් මාව තනි කලේ නෑ. මගෙම ගෙදර මට කාමරෙන් එලියට එන්න ඕන උනේ හොස්පිට්ල් යන්න විතරයි. අනිත් හැමදේම ඔයා ඔයාගෙම අත් දෙකෙන් කලා.සුදු අම්මා ගෙදර හිටියත් මගෙ කෑම, දවස පුරාම එක එක ජාතියේ පලතුරු ගෙනත් මට හදන ජූසස්, කවන පොවන නාවන එකේ ඉදලා ඔයා ඔයාගේ අතින්ම කලා. ගොඩක් ආදරෙන්. මම අමාරුවෙන් හිටියට ඒ හැම දෙයක්ම වින්දා.

මං මේ ලියන්නේ මං යන්න ඉන්න නිසා නෙවෙයි. කොහොමත් කවදා හරි මං යනවා. නොගිහින් ඉන්න පුලුවන් ගමනක් නෙවෙයි මං ආවේ. යන්නම ඕන ගමනක්. මං ඇඩුවා නම් දුක් උනා නම් ඒ යන්න බැරි නිසා නෙවෙයි. ඔයා ගැන, අපේ දුවලා දෙන්නා ගැන මම දකින්න ආස හැබෑ කර ගන්න ඕන උන හීන තිබ්බා. සමහරක් තාමත් අසම්පූර්ණයි. ඒ අසම්පූර්ණ තැන් වලට මම බයයි. මට දුකයි. ඔයා දන්න මම කවදාවත් පසු තැවෙන්න ඉඩක් තියන්නේ නැති කෙනෙක්. හැමදාම මගෙ ජීවිතේ plan A, plan B කියලා දෙකක් තිබ්බා. මගේ ජීවිතේ ජේසු මට ඔයාව දුන්නා. අපේ දරුවෝ දුන්නා. මං මගෙ ජේසුව විස්වාස කරන්නේ කිසිම සැකයක් නැතුව. මට හොදම දේ සුදුසුම දේ ඒ වෙලාවට ජේසු දෙයි. ජීවිතය මරනය දෙකම මගෙ අයිති ජේසුට. ඉතින් පුරුද්දට වගේ මගේ life theory පුරුද්ද ඉස්මතු වෙනවා. මට ඕන නෑ පසුතැවිල්ලක් ඉතුරු කරන්න. මට දැනෙන හිතෙන දේවල් මං ලියනවා. ඔයා වෙනුවෙන්, මගෙ කෙල්ලෝ දෙන්නා වෙනුවෙන්. මගෙ හිතට එතකොට හරි සැහැල්ලුයි. අපේ චූටි දුව කවදම හරි ලොකු උනාම තාත්තියි අම්මියි මෙහෙමයි ආදරෙන් හිටියේ කියලා මේක කියවද්දි මතක් වෙයි. මගෙ කෙල්ලෝ දෙන්නට කවදහරි දවසක එයාලගෙ husband එයාලගේ තාත්තා වගේ කෙනෙක් වෙන්න ඕන කියලා මේක කියවන අකුරක් අකුරක් ගානේ හිතයි.

ගෑනියෙක් ආත්ම ගානක් පතන්න ඕන ජාතියේ පිරිමියෙක් ඔයා. කසාද ජීවිතේ කියන්නේ වෙනමම දෙන්නෙක් මැරෙනකල් එකට ජීවත් වීමක්. ඒ ගොඩක් ජීවිත එලියෙන් අපි දකින තරම් සුන්දර නෑ. විදවිල්ලක් ඒ ජීවිත ඇතුලේ තියනවමයි. ගොඩක් ගෑනු අද සමාජේ පිරිමින්ගෙන් තැලෙන්නේ සුලුවට පලුවට නෙවෙයි. තමන්ගේ ගෑනි ලගම විතරක් රැදෙන්නේ එහෙමත් පිරිමි විතරයි. එහෙම අයට වඩා ඉන්නේ ෆෝන් එක අතට ගත්තොත් බය වෙන ජාතියේ පිරිමි. ගෑනු අය හුගක්ම තැලෙන්නේ මෙතනදි. සැමියව විස්වාස කරන්න බැරි කම, පිරිමියා ඒ විස්වාසේ ගෑනිට දීලා නැති කම. ගෑනියෙක්ව තමන්ගෙ ජීවිතේ කොටසක් වෙනුවට උදේ දවල් රෑ තමන්ට උයලා දෙන ගෑනියෙක්, රෙදි හෝදලා අයන් කරලා දෙන ගෑනියෙක්, ලමයි බලා ගන්න ගෑනියෙක් කොටින්ම ගෙදරට බිරිදක් වෙනුවට සර්වන්ට්ස්ලා ගේන පිරිමි අතරේ ඔයා හොල්ලන්න බැරි මහ කන්දක්. ඔයාගේ තුරුලේ මේ හිටපු අවුරුදු හත, තවත් කෙනෙක්ට හීනයක්ම විතරයි බබා. ඉතින් මේ කාලේ පිටින් බලන කෙනෙක්ට පොඩි කාලයක් උනත් මට මහ ලොකු කාලයක්. කිසිම පසුතැවිල්ලක් නැතුව යනවා නම් යන්නේ ඔයා නිසා විතරමයි. මගෙම කියලා මට ඉන්නේ ඔයයි අපේ දුවලා දෙන්නයි විතරයි. මාව අයිති ඔයාලට විතරමයි.

ඔයා හැමදාම මාව රැජිනක් වගේ කියලා ඒත්තු ගැන්නුවා. මගෙ හුස්මක් හුස්මක් ගානේ ඔයා ඉන්නේ බබා. ඔයා නැතුව මමවත් මං නැතුව ඔයාවත් සම්පූර්ණ නෑ. ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්. ඔයාව හොල්ලන්න අමාරු චරිතයක්. ඔයාට කොතනකදිම හරි වැටෙන්න උනොත් ඒ මගෙ ජීවිතේ අන්තිම වෙන තැන කියලා මම නොදන්නවා නෙවෙයි. දුක සතුට කියන් දේට අපි හැමදාම මූන දුන්නේ එකට. ඔයාට ඒකට තනියම මූන දෙන්න වෙන දවසක් ආවොත් මේ ලියන දේවල් ඔයාට හයියක් වේවි. ඔයයි දරුවොයි ඇරෙන්න දාලා යන්න බැරි දෙයක් මේ මහ පොලවේ මට නෑ. මට ඔයා එක්ක ඊරිසියයි බබා. යන්න උනොත් මට යන්න වෙන්නේ අපේ දුවල දෙන්නගෙ ලස්සනම දවස් වලට කලින්. ඒ හැම දෙයක්ම ඔයා දකීවි. ඉතින් මට ඊරිසියයි ඔයා එක්ක.

ඔයාගේ නමින් ඔයාව දන්න අය ඔයා ගැන දන්නවා බබා. මම අමුතුවෙන් ඔයා ගැන කියන්න ඕන නෑ. ඔයා මට ඊයේ ලස්සන දෙයක් කිව්වා. අර්ජුන් හොද චතූට විතරමයි බබා කියලා. ඔයාගේ ජීවිතේ කොටසක් වෙන්න මොනතරම් අය පෙරුම් පිරුවත් ඔයාගේ චතූ ඔයාව පතාගෙන ඇවිත් ඉන්නේ බබා. ඉතින් කොහේ ගියත් ඔයා මගේ උනේ එහෙම.

මෙතනින් එහාටත් ඉපදෙන ඉපදෙන හැම ආත්මෙකමත් ඔයා මගේ. මං ඒ එකම අර්ජුන් මුනසිංහ ගේ ජීවිතේ.

චතූ

Rate this item
(10 votes)
Last modified on Wednesday, 13 October 2021 22:43

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449