October 20, 2021

මැතිසබේ කතා වුණ යොහානි දේශපාලනයටද?

යොහානි ද සිල්වා කියලා කිවුවාම මේ වනවිට අපේ රටේ මෙන්ම ලෝකයේම නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඉතාම කෙටි කාලයකින් ලංකාවේ නම ලොවක් ඉදිරියට රැගෙන ගිය ඇය ගායනා කළ මැනිකේ මගේ හිතේ ගීතය මේ වන විට ලෝකයේම ගීත දර්ශකවල ජනප්‍රියම ගීත පහ අතරටද පැමිණ හමාරයි. ඉතින් ඒ වගේම ඇයට බොලිවුඩ් චිත්‍රපටයක ගීතයක් ගායනා කිරීමටද මේ වනවිට වාසනාව හිමි වෙලා තියෙනවා. ඉතින් ඒ සමඟම ඇයට ඉන්දියානු ප්‍රසංග වේදිකාවේද දොරටු විවර වෙමින් ඉන්දියානු ප්‍රසංග දෙකක්ද පැවැත්වීමට හැකියාව ලැබුණා.

ඉන්දියාවේ රැල්ලක් බවට පත්වුණු ලංකාවේ මැණිකේ මගේ හිතේ ගීතය නිසා යොහානී ඉන්දීය රසිකයන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණා.

ඉන්දියාව තුළ ජනප්‍රිය නාලිකාවක් වන colors ටීවී නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් සල්මන් ඛාන් සමග මැනිකේ මගේ හිතේ ගීතය ගායනා කරන අපූරු වීඩියෝවක් මේ වෙද්දි අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ජාත්‍යන්තර වේදිකාව ජය ගත් යොහානි ඊයේ සිය ඉන්දීය ප්‍රසංගය නිමවා ලංකාවට පැමිණියා. එහිදී ගුවන්තොටුපොළෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වූ ඇය දැඩි ආරක්ෂාවක් යටතේ කැඳවාගෙන එනු ලැබුවා.

එහිදී ඇයගෙන් මාධ්‍යවේදීන් ජනප්‍රියත්වය හරහා දේශපාලනයට පිවිසෙනවාද යන ප්‍රශ්නයට ඇය මෙසේ පිළිතුරු ලබා දුන්නා.

"අනිවාර්යෙන් ම නෑ. මම ආටිස් කෙනෙක්. තවම සංගීත ක්ෂේත්‍රය හදාරන කෙනෙක්. ඒ මට ඇති."

යොහානිද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට ජීවිත කාලයටම වැදගත්වන මතක හිටින ත්‍යාගයක් ලබාදීම අපේක්ෂාව බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවා.

තමා මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කර ඇතැයිද හෙතෙම සඳහන් කළා.

සම්මානයකට එහා ගිය දෙයක් ඇයට ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසු රාජ්‍ය ඇමැතිවරයා එම තෑග්ග කුමක්දැයි ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවද වැඩිදුරටත් පැවසුවා.

මේ අතර යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට  වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කවියකින් සුබ පැතුම් එක් කිරීම විශේෂත්වයක් වුණා.

" මැණිකේ වදනින් ලොවක්          කැළඹු
  මිහිරි ගීයෙන් සවන්                  සැනසූ  
  සිහින කුසුමන් දෑස                  තැවරූ
  යොහානි දුවට  අපේ            සුබපැතුම් "

යනුවෙන් ගුණවර්ධන මහතා එම කවි පදය  එහිදී  තාලයට ගායනා කළා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි දියණියට තමා හදවතින්ම සුබ පතන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 15:15

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449