September 29, 2021

75 වසරක එක්සත් ජාතික පක්ෂය අද කොතනද?

September 11, 2021

- ඉම්තියාස් බාකීර් මාකාර් ලියයි

ශ්‍රී  ලංකාවට නිදහස ලද අවධියේ පටන් මේ දසකය දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක බලවේගයක්ව සිටි එක්සත් ජාතික පක්ෂයට වසර 75 ක් සපිරෙන වාතාවරණය තුළ එහි භූමිකාව වෙනුවෙන් මේ සතියේ තීරුව කැපකරන්නට මම කල්පනා කළෙමි.

1946 වසරේ නිදහසේ අරුණළු දකිමින් සිටි රටට දේශපාලන නිදහස උදා කරගැන්ම සහ සිංහල, දෙමළ, මුස්ලිම් යන සෑම ජන කොටසකගේම “ එක්සත් ජාතික සිහිනය ” යථාර්තයක් බවට පත්කර ගැන්ම අරමුණු කොට ගෙන එක්සත් ජාතික පක්ෂය හෙවත් අයික්කිය තේෂිය කට්චි නම් වූ දේශපාලන පක්ෂය ආරම්භ විණ.

මම මගේ දේශපාලන පන්නරය ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂයෙනී. ඒ ශිෂ්‍යයෙකු ලෙස එහි ශිෂ්‍ය ව්‍යාපාරයෙනී. අනතුරුව එහි තරුණ ව්‍යාපාරයෙනී. කෙටිකලක් එහි වෘත්තීය සමිත ව්‍යාපාරය හා සම්බන්ධව කටයුතු කළෙමි.

එදා යුගයේ පක්ෂය තුළ පැවැති අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තුලින් මම ශිෂ්‍ය පෙරමුණේ ජාතික සභාපතීත්වයට පත් වූයෙමි. අනතුරුව පක්ෂයේ තරුණ ව්‍යාපාරයේ ප්‍රධානතම තනතුර වන ප්‍රධාන ලේකම් ධූරයට පත්වූයෙමි. අනතුරුව ජාතික සේවක සංගමයේ නියෝජ්‍ය සභාපතිධූරයටද පත්වූයෙමි. එක්සත් ජාතික පක්ෂය තුළ මේ තෝරා ගැනීම් සිදුවීමේ දී මා මෙරට බහුතර ජන කොටසට අයත් නොවන කෙනෙකු වීම කිසිවිටෙකත් ප්‍රශ්නයකට ලක් නොකෙරුණු අතර, ඒ බහුතරය තම චන්දයෙන් මා ඒ තනතුරුවලට පත්කර ගත්තේ එක්සත් ජාතික පාක්ෂිකයන් තුළ පවතින බෙදුම්වාදී සිතීම්වලින් බැහැර වූ පුළුල් දැක්ම හේතුවෙනී.

එක්සත් ජාතික පක්ෂය සමග මට ඇත්තේ සුවිශේෂී බැදීමකි. ඒ බැදීම එක්සත් ජාතික පක්ෂයේ උදාර අරමුණු, දැක්ම සහ ප්‍රතිපත්ති සමග මිසෙක, පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල සමග හෝ වෙනත් එවැනි කිසිදු බාහිර ආටෝපයක් සමග නොවේ.

අමද්‍යප සභාව, ලංකා ජාතික සංගමය වැනි නිදහස් සටනට ජීවය දුන් සංවිධානවල දිගුවක් ලෙසින් නිර්මාණය වූ එක්සත් ජාතික පක්ෂය ආරම්භයේදී මුහුණ දුන් ප්‍රථම අභියෝගය වූයේ, 1947 මැතිවරණය ජයගැන්මයී. එදා ඒ ආරම්භක අවස්ථාවේදී, “ පංචවිධ නිදහස ” මුල් කරගත් වැඩපිළිවෙලක් මෙම දේශපාලන ව්‍යාපාරය විසින් ජනතාවට ඉදිරිපත් කරන ලදි.

1.දේශපාලන නිදහස

2.අගහිගකම්වලින් නිදහස

3.ලෙඩදුක්වලින් නිදහස

4.නොදැනුවත්කමින් නිදහස

5.ආගමක් ඇදහීමේ නිදහස

මහාමාන්‍ය ඩී.ඇස් සේනානායකයන්ගේ නායකත්වයේ සිට රණසිංහ ප්‍රේමදාසයන්ගේ නායකත්වය දක්වා මැතිවරණ බිමේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහනය කරමින්, පක්ෂ නායකයන් රටේ රාජ්‍ය නායකත්වයට පත්වූයේ පක්ෂයේ උතුම් ප්‍රතිපත්ති සහ දැක්ම නිසාය. එය මෙලෙස සංක්ෂිප්තව දැක්වීම නිවැරදි යයී සිතමි.

  1. ප්‍රජාතන්ත්‍රවාදය
  2. සමාජ සාධාරණත්වය
  3. ජාතික එකමුතුව

මෙම මූලික මූලධර්මයන් ත්‍රිත්වය මත පිහිටා, ජනතාවට සංවේදී වෙමින් කටයුතු කිරීම හේතුවෙන් දේශපාලනික ජයග්‍රහන ලබද්දී, එක්සත් ජාතික පක්ෂය මේ රටේ ජනතාවට ලබාදුන් දෑ බොහෝය. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ නිර්මාතෘවරුන් මෙන්ම, පසු කාලයේ පක්ෂයට නායකත්වය දුන් නායකයන් රටට ලබාදුන් ඒ ජයග්‍රහනයන් මගේ මතකයට නැගේ. ඉන් කිහිපයක් පහත දක්වන්නෙමි.

*දේශපාලන නිදහස

*නිදහස් අධ්‍යාපනය

*නිදහස් සෞඛ්‍ය සේවය

*ජනපද ව්‍යාපාර ඇතුළු වාරි වැඩපිලිවෙල

*ගල්ඔය සංවර්ධනය

*මහවැලි සංවර්ධනය

*නිවාස වැඩපිලිවෙල

*ජනසවිය

*සංචාරක ව්‍යාපාරය ඇරඹීම

*නිදහස් වෙළද කළාප

*සැමට සම අවස්ථා සලසන නිදහස් තරගකාරී ආර්ථික පිලිවෙත හදුන්වාදීම

*ග්‍රාමීය ඇගළුම් කර්මාන්ත දෙසීය වැඩපිලිවෙල

*සරසවි සිසුන්ට මහපොල ශිෂ්‍යත්ව ලබාදීම

*පාසල් දරුවන්ට නොමිලේ පෙළ පොත් ලබාදීමේ වැඩපිලිවෙල

*පාසල් දරුවන්ට නිල ඇදුම් ලබාදීමේ වැඩපිලිවෙල

*පරිපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුරය බවට පත්කරමින් ඒ හා අවට උප නගර සංවර්ධන වැඩපිලිවෙල.

මේ අයුරින් ඩී.ඇස් සේනානායකයන්ගේ පටන් රණසිංහ ප්‍රේමදාසයන් දක්වා රාජ්‍ය නායකත්වය ලබාගනිමින් රටට ලබාදුන් යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් මේ අයුරින් පෙළ ගැස්විය හැක. එහෙත් 1988 න් පසු එක්සත් ජාතික පක්ෂයට මේ රටේ රාජ්‍ය නායකත්වය හිමිකරගත නොහැකි විය.

මේ දීර්ගකාලීන පසුබෑම තුළ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද ගැටළු, පක්ෂයේ උරුම ගමනින් බැහැරවීම, ජනතාවට සංවේදී නොවීම, ලොව අන්ත දක්ෂිනාංශික බලකදවුරුවල  න්‍යාය පත්‍රයනට නතුවීම වැනි විවිධ කරුණු කාරණා මත පක්ෂය තුළ ඇති වූ විවිධ ගැටුම් හේතුවෙන් පක්ෂයේ සිටි පළමු පෙලේ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ම පක්ෂය හැරයාම දැකිය හැකි විය.

අවසානයේ දී පක්ෂ ක්‍රියාකාරිකයන්ගෙන්, පලාත් පාලන මහජන නියෝජිතයන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආ බලපෑම් හේතුවෙන්, නව නායකත්වයකින් යුතු දේශපාලන ව්‍යාපාරයක් ලෙස 2020 පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දුවක් ගනු ලැබිණ. ඒකමතිකව ගනු ලැබූ මේ තීරණයට ඇතැම් කොටසක් පිටුපෑම හේතුවෙන් කදවුරු බෙදීමකට ලක්විණ. මේ හේතුවෙන් ඒ වාසිය ප්‍රතිවාදී කදවුරට හිමිවිණ. කෙසේ වෙතත් මහජන චන්දයෙන් පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා එවීමේදී ජනතාවගේ තීන්දුව කුමක්ද යන්න පැහැදිලිව දක්නට ලැබිණ.

දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඇතිවන ගැටළු කාරණා කොටගෙන සිදුවන බෙදීම් හේතුවෙන් වෙනත් බලවේග නිර්මාණය වීම, අපේ රටේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ වෙනත් රටවල ද සිදුව තිබේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක මේ පරිවර්තනයන් සිදුව ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් බිහිවී ඇත. ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව ගොස් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය වන්නේද එලෙසිනී. එදා ජාතික සංගමයේ දිගුවක් ලෙසින් එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වූ ලෙසින්, මෙදා එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන දිගුව ලෙසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුළ මහජන මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගෙන් යුක්ත දේශපාලන ව්‍යාපාරයක් ලෙස මතුවී ඇත.

දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවන කළ වෙනත් බලවේග නිර්මාණය වීම ස්වභාවිකය. දේශපාලන පක්ෂ තුළ නායකත්වය ඉදිරියේ සියල්ලට “ එහෙයී ” , “ එහෙමයී ” කියමින් වැඩවසම් මානසිකත්වයකින් වන්දනාමාන කරනවාට වඩා සාකච්ඡාවෙන් සහ වාද විවාදයන් තුළින් සම්මුතියකට, එකගතාවයකට එන මං ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් තුළ තිබිය යුතු වේ.

තමිල්නාඩුවේ ජයලලිතා ප්‍රධාන අමාත්‍යවරිය ඉදිරියේ මැති ඇමැති තනතුරු සහ උසස්වීම් උදෙසා මහජන නියෝජිතයන් බිම වැතිරී වැද වැටෙන හැසිරීම් අප මාධ්‍ය තුළ දැක ඇත්තෙමු. තමන් මහජන නියෝජිතයන් බවට පත්කළ මහජනතාවගේ ගෞරවය ආරක්ෂාකර ගනිමින්, කුමන තනතුරු දැරුවද අනෙක් මහජන නියෝජිතයන් ඉදිරිපිට සමාන තත්වයෙන් ඉදිමින් හැසිරෙන අයුරු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ අපට දකින්නට තිබුණී. 60 දසකයේ සිට ඩඩ්ලි සේනානයක, ජේ.ආර් ජයවර්ධන, පිලිප් ගුණවර්ධන, එන්.ඇම්. පෙරේරා, බර්නාඩ් සොයිසා, එම්.ඩී බණ්ඩා, සී.පී ද සිල්වා, එස් ඒ වික්‍රමසිංහ, මෛත්‍රීපාල සේනානායක වැනි විවිධ පක්ෂවල සිටි මහජන නියෝජිතයන් මගේ සිහියට නැගේ.

සජීවී ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම උදෙසා ජන සමාජයේද ආකල්පමය වෙනසක් නිසැක වශයෙන්ම අවශ්‍යය. වැඩවසම් සිතීම්වලින් මිදීමද අවශ්‍යය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 September 2021 17:04