October 20, 2021

අහිංසක ජීවිත රැසක් මරණයේ හෙලූ ඩොනෝරාවේ ඛේදවාචකය

තාක්ෂණික සහ කාර්මික දියුණුව, මානව සංහතිය වෙත තිළිණ කර ඇති යහපත් ප්‍රතිඵල අතිමහත්. එහෙත් එම යහපත් දෑ පිටුපස පැමිණෙන අයහපත් අතුරුඵල පිළිබඳව ද විටින්විට අසන්නට ලැබෙනවා. විශේෂයෙන් කාර්මික විප්ලවයේ මුල් අවධියේ දී තාක්ෂණික දියුණුවේ අයහපත් ප්‍රතිඵල පිළිබඳව අදටත් වඩා වාර්තා වූවා. 

මීට වසර 70කටත් එහා අතීතයේ, එනම් 1948 වසරේ ඔක්තෝබර් අවසානය අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයට අසුබ දින කිහිපයක් වූයේ ද කාර්මික දියුණුවේ එවන් අයහපත් අතුරුඵලයක් නිසා යි.

1948 ඔක්තෝබර් 27 වැනි දා උදෑසන පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිහිටි ඩොනෝරා ප්‍රදේශයට හිරු පායනවිට, මේ උදාවන්නේ මිනිස් ඉතිහාසයේ දරුණුතම කාර්මික උපද්‍රවයක ඇරඹුමක් බව එහි වැසියන් කිසිවෙකු සිතුවේ නැහැ. ඒ මොහොත වන විට ඩොනෝරාවේ ජනගහනය 14,000ක් පමණ වූවා. ඔවුන් සියළු දෙනා සිය දෛනික ජීවිත අරඹමින් සිටියා. එහෙත් භූමියේ සිටි කාටත් හොරෙන් අහසෙහි යමක් සිදු වෙමින් තිබුණා. විෂ වායුවෙන් පිරි වළාවක් ඩොනෝරාවට ඉහළ අහසෙහි හෙමින් හෙමින් වර්ධනය වෙමින් පැවැතුණා.

කෙසේ වෙතත් ඔරලෝසු කටු වට කිහිපයක් යාමට පෙර එහි බලපෑම ඩොනෝරා වැසියන්ට දැනෙන්නට වුණා. එහෙත් තමන් මේ විඳින්නේ කුමක්දැ යි ඔවුන් කිසිවෙකු දැන සිටියේ නැහැ. ප්‍රථම ලක්ෂණය ලෙස ඔවුන් බොහෝ දෙනෙකු දිගින් දිගටම කහින්නට වූවා. මේ අතරතුරේ කහ පැහැති ඝණ මීදුමක් වැනි වළාවකින් ඩොනෝරා ප්‍රදේශය වැසී ගියේ අනතුරක ඉව මිනිස් සිත් අතර ඇතිකරවමින්.

ඒවන විට ඩොනෝරා වැසියන් බොහෝ දෙනෙකු හට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්නට පටන්ගෙන තිබුණු අතර ඇතැම් දෙනා මාරාන්තික රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටියා. උදෑසන තමන් සමග සිනහ වී සුබ දවසක් පැතූ සිය ආදරණීයයන්ගෙන් ඇතැමෙකු හුස්ම ගැනීමට නොහැකිව වෙවුලද්දී, කුමක් හෝ අසුබ යමක් සිදුවෙන බව ඔවුන් තේරුම් ගත්තත්, ඒවන විට බොහෝ දේ සිදුව අවසන්ව තිබුණා.

සිදුවන්නේ කුමක්දැයි සම්පූර්ණයෙන්ම වටහාගත නොහැකි වුවත්, විෂ සහිත වායු වළාවකින් සිය ප්‍රදේශය වැසී ඇති බවට ඩොනෝරා බලධාරීන් තේරුම් ගත් අතර ඒවනවිට එම ප්‍රදේශයේ 6,000ක් පමණ දෙනා දරුණු ශ්වසන ආබාධවලට ලක්ව සිටියා. ජීවිතයේ කිසි දිනෙක දරුණු රෝගයකට ලක් නොවූ බොහෝ දෙනා ඇදුම රෝගීන් බවට පත්ව සිටියා. තවත් දෙනා හුස්ම පොදක් ඇද ගැනීමට නොහැකිව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණා.

මෙම ඛේදවාචකය ඉතිහාස පොත් අතර වාර්තා වූයේ විෂ වළාව ඩොනෝරාව වසාගෙන තිබූ කාලය තුළ දිවි අහිමි වූවන්ගේ ගණන 20 ලෙස සටහන් කරවමින්. එමෙන්ම ඩොනෝරාවේ සමස්ත මිනිස් ජනගහනයෙන් තුනෙන් එකක් රෝගීන් බවට පත් කරවමින්.

මෙම දරුණු ඛේදවාචකය එසේ නිමාවූයේ නැහැ. විෂ වායු වළාව දිගින් දිගටම ඩොනෝරාව වෙළාගෙන වර්ධනය වෙමින් පැවැතුණා. කෙසේ වෙතත් ප්‍රදේශයේ වැසියන්ගේ වාසනාවකට ඔක්තෝබර් 31 වැනි දා මෙම විෂ වළාව ජල වාෂ්ප සමග ඝණීභවනය වී වර්ෂාවක් සේ පොළවට පතිත වූවා.

අනතුර අවසන් වූයේ යැයි බොහෝ දෙනෙකු සිතුවත් එම සිතුවිල්ල බොරුවක් බවට පත් වූවා. විෂ වළාව ඩොනෝරාව වෙළාගෙන තිබූ කාලය තුළ ඒ හේතුවෙන් රෝගීන් බවට පත් වූ තවත් 50කට අධික පිරිසක් ඉදිරි මාසය තුළ විෂ වළාවේ විවිධ ප්‍රතිඵල නිසා මරණය වෙත ගොස් තිබුණා.

දින 5ක් පුරා ඩොනෝරාව වසාගත් විෂ වායුව තුළ අන්තර්ගත වූයේ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වායූන් බව පර්යේෂණ කණ්ඩායම් විසින් පසුව අනාවරණය කරගත්තා. රාජ්‍ය නිලධාරීන්, විශ්ව විද්‍යාල වෘත්තීයවේදීන් සහ විද්‍යාඥයින්ගෙන් එම පර්යේෂණ කණ්ඩායම් සමන්විත වූවා. එම විෂ වායූන් ජනනය වූයේ කෙලෙසදැයි යන්න ඔවුන්ට දැඩි ගැටළුවක් බවට පත් වුණා. 

පිරිස දිගින් දිගටම පර්යේෂණ සිදු කළා. වෙහෙස වී සිදුකළ පරීක්ෂණවල දී අවසානයේ හෙළි වූයේ ප්‍රදේශයේ ඇති ලෝහ කර්මාන්ත ශාලාවකින් පිට වුණු වායූන් එක් රැස් වී මෙම විෂ වායු වළාව නිර්මාණය වූ බවට යි. විෂ වළාව වර්ෂාවක් බවට පත් වී පහව නොගියේ නම් තවත් දහසකගේ පමණ දිවි අහිමි වන්නට ඉඩ තිබූ බවට පර්යේෂණ කණ්ඩායම එළි දැක්වූ වාර්තාවෙහි ගණන් බලා තිබුණා.

මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයකින් සිදු වූ වායු දූෂණයක් හේතුකොටගෙන එදා මෙදාතුර ඉතිහාසයේ දී වාර්තා වුණු දරුණුතම ඛේදවාචක අතරින් එකක් ලෙස අදටත් මෙය හැඳින්වෙනවා. එමෙන්ම මෙම සිදුවීමෙන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය පමණක් නොව සමස්ත අමෙරිකා එක්සත් ජනපදයම සසළ වූවා. මේ නිසාම වායු දූෂණය සහ කර්මාන්ත ශාලා නියාමනය පිළිබඳව නීති රීති සම්මත කරගැනීමට මෙම ඛේදවාචකය හේතු වූවා. 

හුස්මගත නොහැකිව, පෙනහළු පුපුරා යන වේදනාවත් සමග අහිංසකයන් රැසකගේ දෑස් සදහටම පියවී වසර ගණනාවක් ගතව ඇතත්, මෙම අවාසනාවන්ත සිදුවීම කිසි දිනෙක අමතක නොවනු පිණිස "ඩොනෝරා විෂ වළා කෞතුකාගාරය" 2008 වසරේ දී විවෘත වූවා. දශක ගණනාවකට පෙර සිදු වූ ඩොනෝරා ඛේදවාචකයේ අඳුරු මතකයන්හි සාක්ෂි අදටත් එහි තැන්පත් කොට ඇත්තේ මිනිස් වර්ගයාගේ වර්තමානයට මෙන්ම අනාගතයට ද පාඩම් රැසක් උගන්වන අයුරින්.

- සහන් පද්මසංඛ පීරිස්

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 12 October 2021 12:58
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449