July 25, 2021

දිගම්බරම්ගෙන් රනිල්ගේ මූණටම දෝස්මුරයක් - හේතුව මන්ත්‍රී හුටපටයක්

සමගි ජන බලවේගය නියෝජනය කරන පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා යළිත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කළ බව එ.ජා.ප ය ප්‍රචාරයක් යවමින් සිටිනවා.

මෙම හමුවට හේතුව ඇතුළු සියලු තොරතුරු දිගම්බරම් මහතා මේ වන විට සමගි ජන බලවේගයේ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

වික්‍රමසිංහ - දිගම්බරම් හමුවට හේතුව

සමගි ජන බලවේග ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට දිගම්බරම් මන්ත්‍රීවරයා වික්‍රමසිංහ මහතා මුණ ගැසුණු බව සත්‍යයක් මුත් හේතුව එ.ජා.ප ය ප්‍රචාරය කරන කාරණය නොවන බවයි දැනගන්නට තිබෙන්නේ.

දිගම්බරම් මහතා වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් ඔහු නායකත්වය දරන කම්කරු ජාතික සංවිධානයෙන් තේරී පත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ අනාගතය

විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක් නියෝජනය කරන එම මන්ත්‍රීවරුන් මේ වන විට සමගි ජන බලවේගයට සහයෝගය දීම මත ඔවුන්ව මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීමට එ.ජා.ප ය තීරණය කොට තිබෙනවා.

මේ වන විට සමගි ජන බලවේගය සමග සම්බන්ධ මන්ත්‍රීවරුන් 160ක් පමණ සිය මන්ත්‍රීධුර වලින් ඉවත් කිරිමටයි එ.ජා.ප ය පියවර ගෙන තිබෙන්නේ.

වික්‍රමසිංහ හා දිගම්බරම් යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවේදී මෙම සිද්ධිය මුල් කොටගෙන දිගම්බරම් මහතා වික්‍රමසිංහ මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා.

විශ්වාසය මතයි තරග කළේ

එහිදී දිගම්බරම් මහතා වික්‍රමසිංහ මහතා අමතා ප්‍රකාශ කර තිබෙන්නේ සිය පක්ෂයේ නියෝජිතයින් එ.ජා.ප ය තුළින් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමේදී කිසිඳු ගිවිසුමකට නොඑළඹුණේ වික්‍රමසිංහ මහතා පිළිබඳව තිබෙන විශ්වාසය නිසා බවත් එවන් ගිවිසුමක් නොතිබීම පදනම් කරගෙන එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමට කටයුතු නොකරන ලෙසයි.

එහෙත් ඊට වික්‍රමසිංහ මහතාගෙන් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණු බවයි වාර්තා වන්නේ.

ලිඛිත එකගතාවයක් නොතිබීම

මෙම මන්ත්‍රීවරුන් පත් වූ පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ මීට වසර 3කට පමණ පෙර 2018 පෙබරවාරි 10 වැනිදාය.

ඒ අවස්ථාවේ පැවතියේ එ.ජා.පය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව වන අතර දිගම්බරම් මහතා එම ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ඉසිලුවා.

ඒ අවස්ථාවේ දිගම්බරම් මහතා මහතාගේ පක්ෂයේ නියෝජිතයින් පලාත් පාලන මැතිවරණයට එ.ජා.ප ය තුළින් ඉදිරිපත්ව තිබෙන්නේ ලිඛිත ගිවිසුමක් නොමැතිව වාචික එකඟතාවයන් මත බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 July 2021 08:02