September 29, 2021

දඹුල්ල දැඩි අවදානමක! 700 දෙනෙක් නිසා ලොකු කලබලයක්

September 14, 2021

ඉන්දියාව සහ පකිස්ථානයේ සිට වෙනත් රටවලට ගමන් කිරීමට දින 14  නිරෝධායන කාලයක් ගත කිරීම  සඳහා පැමිණි  පුද්ගලයන් 700 ක් පමණ දෙනා දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල් හයක ලැගුම් ගෙන සිටින බවත් එම කණ්ඩායම් පිළිබඳව කිසිදු අධීක්ෂණයක් හෝ සොයා බැලීමක් දඹුල්ල මහනගර සභාවේ හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිදු නොවන බව දඹුල්ලේ සෞඛ්‍ය අංශ පවසනවා.

දඹුල්ල  සීගිරිය ආදී ග්‍රාමීය ප්‍රදේශවල පිහිටා ඇති සංචාරක හෝටල්වල ඉන්දීය සහ පාකිස්තානු  ජාතිකයන් මෙසේ ලැගුම් ගෙන සිටින අතර ඇතැම්  කණ්ඩායම් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද විවිධ අවශ්‍යතාවලට එම හෝටල් පරිශ්‍රයෙන් එළියට එන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ප්‍රදේශවාසින් නගන මෙම චෝදනාව පිළිබඳව අප දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මෙම සංචාරක හෝටල් හිමියන්ගෙන් දුරකථන හරහා තොරතුරු ලබාගෙන එම හෝටල්වලට ගොස් විමසීම් සඳහා උත්සාහ කළත් එහිදී එම හෝටල්වල ආරක්ෂක නිලධාරින් හෝටල්වලට ඇතුළත් වීමට ඉඩ ලබා නොදීම නිසා එය ව්‍යාර්ථ වුණා. 

ආරක්ෂක නිලධාරීන් ගෙන් අප විමසීමේ දී කියා සිටියේ තම සංචාරක හෝටල්වල ලැගුම් ගෙන සිටින අය එම පරිශ්‍රයෙන් පිටතට නොයන බවයි.

කෙසේ වෙතත් ඇතැම් සංචාරක හෝටල්වල ආරක්ෂක නිලධාරීන් සහ කළමනාකාරිත්වය කියා සිටියේ තම හෝටල්වල කාමරවල  ලැගුම් ගෙන සිටින ඉන්දියානු සහ පාකිස්තාන සංචාරකයන් කොපමණ ප්‍රමාණයක් සිටිනවාද යන්න තොරතුරු ලබා දීමට දින තුනක පමණ කාලයක් ගතවන බවයි.

සීගිරිය ප්‍රදේශයේ මේ ආකාරයෙන් පැමිණ ඇති සංචාරකයන් නගරයේ මෙන්ම වැව්වල අසළ ඇවිදිමින් විනෝද වන බව ප්‍රදේශවාසීන් අවස්ථා කීපයක පොලීසියට මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ මාධ්‍ය වෙතද දන්වා තිබෙනවා.

දඹුල්ල ‍ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේ හෝටල් හයක පමණ මේ ආකාරයෙන් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් වෙනත් රටවල් වලට ගමන් කිරීම සඳහා දින දාහතරක නිරෝධායන කාලයක් ගෙවීම්ට 700ක පමණ පිරිසක් දඹුල්ලේ රැඳී සිටින බවයි.

දඹුල්ල මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතාගෙන් අප මුලින්ම  එවැනි නිරෝධායනය වන විදේශික සංචාරකයන් සිටීදැයි විමසීමේ දී කියා සිටියේ එසේ සිටින බවට තොරතුරු ලැබුණද කිසිදු තොරතුරක් සම්බන්ධීකරණයක් ගැන සෞඛ්‍ය පරීක්ෂකවරයා හැටියට තමා නොදන්නා බවයි.

දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිතාර විතානගේ මහතාගෙන් මේ සම්බන්ධව අප විමසීමක් කළ අතර දුරකථනය හරහා සම්බන්ධ කර ගත් වෛද්‍යවරයා කියා සිටියේ පෞද්ගලිකව තමන් ඒ පිළිබඳව තොරතුරු දැන සිටියත් තවමත් නිත්‍යානුකූලව එවැනි තොරතුරක් තම මහා නගනගර සභාවට හෝ සෞඛ්‍යයට ලැබි නොමැති බවයි.

අවස්ථා කිහිපයකම මෙම සංචාරක හෝටල් පවත්වාගෙන යන ආයතන ප්‍රධානීන්ට මෙම කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලබාදෙන  දෙන ලෙස දැනුම් දී ඇතත් මෙතෙක් එවැනි නිත්‍යානුකූල තොරතුරක් නොලැබි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් කියා සිටියා  තමන් ඇතුළු වෛද්‍යවරුන් පෞද්ගලිකව ගොඩනඟා ගත් සබඳකම් අනුව මෙම ඉන්දියානු කණ්ඩායම් පැමිණ සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

එහෙත් සංචාරක ව්‍යාපාරයේ හෝ සෞඛ්‍ය අංශ මඟින් හෝ කිසිදු දැනුම් දීමකින් තොරව එම පිරිස් තම කලාපවල හෝටල්වල රැඳී සිටින බවද ඒ මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් නීත්‍යානුකූලව තම සෞඛ්‍ය බලප්‍රදේශයේ රැඳී සිටින ඇතැම් අය අතර වෛරසය ආසාදනය වූ  පිරිස් ද සිටින බවද වාර්තා වෙනවා. එම අයටද ප්‍රතිකාර කටයුතු සහ නිරෝධායන කටයුතු කවුරුන් විසින් සිදු කරන්නේ ද යන්න නිශ්චිත තොරතුරක් නොමැති බවයි වාර්තා වන්නේ.

(කාංචන කුමාර ආරියදාස - දඹුල්ල)

Rate this item
(6 votes)
Last modified on Tuesday, 14 September 2021 16:50