September 29, 2021

අගමැතිගේ බලය පෙන්වා සෞඛ්‍ය පරික්ෂකට පහර දුන් හිමිනමට වැඩ වරදී

September 15, 2021

කැකිරාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඊයේ (14) පස්වරු 1.15 ට  පමණ තවත් හිමිවරුන් දෙනමක් සමඟ බලහත්කාරයෙන් ඇතුල්වී එහි අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට බැණ තර්ජනය කර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදුන් හිමිනමක් අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසනවා.

පහරදීම සිදුකළ හිමිනම, අනෙක් හිමිවරුන් දෙනම සමඟ ත්‍රීරෝද රථයක නැගී පිටව ගොස් ඇති අතර, පහරකෑමට ලක්වූ කැකිරාව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත ප්‍රියදර්ශන කරුණාතිලක මහතා සහ තර්ජනයට ලක්වූ කැකිරාව අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. අරුණ කුමාර මහතා මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීම මත වහා ක්‍රියාත්මකවූ කැකිරාව පොලිසිය මඩාටුගම පොලිස් මාර්ග බාධකයේදී ත්‍රීරෝද රථය නවත්වා පහරදීම සිදුකළ හිමිනම ඇතුළු හිමිවරුන් තුන් නම හා රියදුරා අත්අඩංගුවට ගෙන කැකිරාව පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබුණා.

පහරකෑමට ලක්වූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කරුණාතිලක මහතා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් වී තිබෙනවා.

එම රෝහලේ වෛද්‍යවරයෙක් පැවසුවේ, හිමිනම කරුණාතිලක මහතාට පයින් පහරදී අනතුරුව කම්මුලටද දෙවතාවක් පහරදී තිබෙන බවයි. මේ නිසා ඔහු තැලුම් තුවාල ලබා සිටින බවද එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය අරුණ කුමාර මහතා, කැකිරාව පොලිසියට කළ ප්‍රකාශයෙන් පසු කියා සිටියේ ඊයේ (14) පස්වරු 1.15 ට පමණ මේ හිමිනම තවත් හිමිවරුන් දෙනමක් සමඟ බලහත්කාරයෙන් සිය කාර්යාල පරිශ්‍රයට ඇතුළුවී තමන් හමුවට පැමිණ, අගමැතිවරයා සමඟ කිට්ටු ඇසුරක් පවත්වන තමන්ට කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට අවශ්‍ය බව පවසා තිබෙනවා.

වෛද්‍ය අරුණ කුමාර මහතා එහිදී පවසා තිබුණේ ඊයේ (14) දිනට නියමිත එන්නත්කරණ කටයුතු අවසන්කර එන්නත් මාත්‍රා ශීතකරණයේ බහා ඇති බැවින් හා ඊයේ ට නියමිත පි.සී.ආර්. පරීක්ෂණ ආරම්භ කිරීමට තිබෙන නිසා, අද (15) දිනයේ එන්නත ලබාගැනීමට පැමිණෙන්නැයි තමන් හිමි නමට දැනුම් දුන් බවයි.

ඉන් කෝපයට පත්වූ එම හිමි නම අගමැතිවරයා සමඟ පවතින සම්බන්ධතාවයක් ගැන නැවත ප්‍රකාශ කරමින් ඒ අවස්ථාවේ උන්වහන්සේට සහ තවත් හිමි නමකට එන්නත් ලබාගැනීමට අවශ්‍ය බව පවසා තමන්ට බැන තර්ජනය කරමින් ඊට තමන් පිළිතුරු සපයද්දී ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කිරීමට පටන් ගෙන තිබෙනවා. 

ඒ අවස්ථාවේ උන්වහන්සේගේ හැසිරීම පසෙක සිටි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ගතකරද්දී උන්වහන්සේ ඔහුට පහර දුන් බවත් වෛද්‍ය අරුණ කුමාර මහතා වැඩිදුරටත් පැවසිය.

පොලීසිය අත්අඩංගුවට ගත් සැකකාර හිමි නම අනුරාධපුර කුරුන්දන්කුලමේ ආවාසයක වැඩවසන  බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මේ හිමි නම අද (15) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කැකිරාව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ මෙහෙය වීමෙන් පරික්ෂණයක් සිදු කරනවා.

(අතුල බණ්ඩාර - අනුරාධපුර)

Rate this item
(4 votes)
Last modified on Wednesday, 15 September 2021 09:14