October 20, 2021

ගුරු - විදුහල්පති වර්ජනය අඛණ්ඩව : අගමැති මහින්දගේ උත්සාහයත් අසාර්ථකයි

රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ ගුරු - විදුහල්පති සන්ධානයේ වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටම කරගෙන යන බවයි.

එළැඹෙන 21 වැනිදා වන විට ගුරු - විදුහල්පති සන්ධානයේ වෘත්තීය අයිතිවාසිකම් ලබානොදුනහොත් එදින පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ලේකම්වරයා පවසා සිටියා.

මාර්ගගත අධ්‍යාපන ක්‍රමයෙන්ද ගුරුවරුන් ඉවත්ව සිටින බවත් එයද අඛණ්ඩව ඉදිරියට කරගෙන යන බවද ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියා.

දැනට දින 94ක කාලයක් මෙම ගුරු වර්ජනය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

ජෝසෆ් ස්ටාලින් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ "අපි දිගින් දිගටම සාකච්ඡාවක් ඉල්ලුවා. සාකච්ඡාවක් ලබාදීම ප්‍රමාදවීම තුළ තමයි මේක ඉස්සහට ගියේ." යනුවෙනි.

මේ අතර ඊයේ (12) දිනයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් පැවැති අතර එහිදී පැය 3කට අධික කාලයක් මෙම අර්බුදය පිළිබඳව සාකච්ඡා කර තිබුණා.

එහිදී අදියර දෙකකින් වැටුප් වැඩි කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් එකඟතාවය වෘත්තීය සමිති වෙත පළ කර තිබෙනවා.

එහිදි පළමු අදියර ලෙස 2022 වර්ෂයේ අය-වැය තුළින් ද, දෙවන අදියර ලෙස 2023 වර්ෂයේ අය වැය තුළින් ද වැටුප් වැඩි කිරීමක් ලබාදීමට තීරණය වී තිබුණා.

මෙම වැටුප් වැඩි කිරීම එකඟතාවය පළ වී තිබුණේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදිය.

කෙසේ වෙතත් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති එම යෝජනාව සම්බන්ධයෙන් සිය අවසන් තීරණය ප්‍රකාශ කර තිබුණේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 12:35

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449