October 23, 2021

එස්.බී දිසානායකට ගුරු සංගම් වෙතින් අනතුරු ඇඟවීමක්

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තවදුරටත් ඕනෑම සාකච්ජාවකට සූදානම් හෙයින් ආණ්ඩුව විසින් මෙය විසඳීම සඳහා ප්‍රවේශයකට පැමිණෙන ලෙස ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවා.

ඒ, අද (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

මෙවැනි කාරනා වලදී කටයුතු කරන ආකාරය ගැන අත්දැකීම් තිබෙන ඇමතිවරු ආණ්ඩුව තුළ සිටින හෙයින් මෙම ප්‍රශ්නය විසඳීමට මැදිහත්වන ලෙසයි ස්ටාලින් මහතා කියා සිටියේ.

අගමැතිවරයා සමඟ පැවති සාකච්ජාවේදීද මෙම ප්‍රශ්නය විසදා ගැනීම සඳහා බාධා එල්ල වුයේ මුදල් අමාත්‍යාංශයෙන් බවයි ඔහු පැවසුවේ. 

එළඹෙන 21 පාසල විවෘත කරන්නේ නම් ඊට පෙර මේ සඳහා සාධනීය විසඳුමක් දෙන ලෙසත් එසේ නොවන්නේ නම් එදිනට ගුරුවරු පාසල් වෙත එනවාද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා. 

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙසද පවසා සිටියා,

''අදියර තුනකින් වැටුප ලබා දීම අපි ප්‍රතික්ෂේප කරනවා. අපි කියන්නේ සම්පූර්ණ මුදල දෙන්න කියල. 

ගුරු විදුහල්පති වැටුප් ගෙවීම සඳහා තවත් අතිරේකව රු. බිලියන 30යි වැඩි වෙන්නේ. 

පොදු ව්‍යාපාර  කාරක සභාවේ හෙළිවෙලා තියෙනවා මීට වඩා රජයට හිමිවිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වීම ගැන. මේ වෙද්දී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත ජන්දය ඉලක්ක කරගෙන රු. ලක්ෂ 1200ක් දෙන්න තීරණය කරලා තියෙනවා. 

ඇයි ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 30ක් වෙන කරන්නේ නැත්තේ. 

අපි යෝජනා කරලා තියෙන්නේ කරන්න පුළුවන් දෙයක්. 

අගමැතිතුමා සමඟ පැවති සකච්ජාවේදීත් ආණ්ඩුවේ යෝජනාව දිරිපත් කළේ අධ්‍යාපන ඇමතිවරයා. එච්චරයි වුණේ. ඊට පස්සේ නැගිටලා ගියා හැමෝම. එකඟවෙන්න හරි නොවෙන්න හරි දෙයක් තිබුණේ නැහැ. 

අපි 21 වැනිදා වෙනකම් ආණ්ඩුවට කල් දීලා තියෙනවා. 

එස්. බී.දිසානායක වගේ කයිවාරුකාරයින්ට අපි කියනවා තමන්ට අත්වෙලා තියෙන ඉරණම කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලාගන්න කියල. ගුරුවරු එක්ක හැප්පෙන්න එන්න එපා.''

(එන්.ඒ.ඩබ්ලිව් නිරෝෂන් - කොළඹ)

Rate this item
(1 Vote)
Last modified on Friday, 15 October 2021 19:03
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449