hit counter

2023 දෙසැම්‍බර් මස 07 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 11:14



පසුගිය සතියේ අසර්බයිජාන හමුදා විසින් නගර්නෝ-කරබාක් ප්‍රදේශය වෙත එල්ල කළ සාර්ථක ප්‍රහාරයෙන් අනතුරුව ආර්මේනියානු ජනවාර්ගිකයන් එම ප්‍රදේශය හැර යන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

සිය ගණනක් ආර්මේනියානුවන් මෙසේ ප්‍රදේශය හැරගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබුණි.

ආර්මේනියානු අගමැති නිකොල් පශින් යාන් සඳහන් කර තිබුණේ අසර්බයිජාන පාලනයක් යටතේ ආර්මේනියානුවන්ට සාධාරණ ලෙස සැලකීමක් බලාපොරොත්තු නොවිය හැකි බවයි. ප්‍රදේශය හැර යන ආර්මේනියානු වාර්ගිකයන් තම රටට සාදරයෙන් පිළිගන්නා බව ද ඔහු සඳහන් කළා.

බදාදා දිනයේ දියත් කරන ලද මිලිටරි මෙහෙයුම මගින් පැය 24 ක් ඇතුලත නගර්නෝ-කරබාක් හි ආර්මේනියානු වාර්ගික සන්නද්ධ කණ්ඩායම් පරාජය කිරීමට අසර්බයිජාන හමුදා සමත් වුණා. ඉන් අනතුරුව එම ප්‍රදේශයේ බෙදුම්වාදයට එරෙහි ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට අසර්බයිජාන ජනාධිපති ඉල් හාම් අලියෙව් කටයුතු කළා.

නගර්නෝ-කරබාක් හි ආර්මේනියානු ජනතාවගේ අයිතීන් සුරකින බවට අසර්බයිජානය පැවසූව ද ඒ පිළිබඳ කිසිදු විශ්වාසයක් ආර්මේනියානු ජනවාර්ගිකයන්ට නොමැති හෙයින් ප්‍රදේශය අතැර යාම පිළිබඳ ඔවුන් ගේ අවධානය යොමුව ඇති බව පෙනී යනවා.