hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 01, ප.ව. 8:57



මහ වැසි මැද පන්ති කාමරයක් තුළ කුඩ ඉහලාගෙන විභාගයක් සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ගේ පාසල ගම්පහ තක්ෂිලා මහා විද්‍යාලය බවට අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා.

ඊට අදාළ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වුණු අතර එම වාර්තාවල දැක්වූයේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් මෙලෙස අසරණ තත්ත්වයට පත්ව විභාගයට පෙනී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ද තහවුරු කළා.

විභාග කොමසාරිස් කළේ සිසුන් මෙලෙස කුඩ ඉහළගෙන විභාගයට මුහුණ දීම ශාලාධිපතිගේ වරදින් සිදු වූ බවයි.

සිසුන් මෙලෙස අසීරුතාවයෙන් විභාගයට මුහුණ දේ නම් සිදු කළ යුත්තේ ශාලාව වෙනස් කිරීම බවද කොමසාරිස්වරයා අවධාරණය කළා.

සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මත මෙම ශාලාව, විභාග ශාලාවක් ලෙස තෝරාගැනීමත්, වැසි සහිත අවස්ථාවක ක්ෂණික පියවර ගෙන ශාලාව වෙනස් නොකිරීමත්, විභාග දෙපාර්තමේන්තුවට මේ තත්ත්වය වාර්තා කර උපදෙස් නොගැනීමත් යන කරුණු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කර නිසි පියවර ගැනීමට හා මතුවට මෙවැනි අවස්ථා ඇති නොවීමට සුදුසු පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග කොමසාරිස්වරයාට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව එහි සඳහන්.

තව ද විභාග දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධ වාර්තාවට අනුව දුෂ්කරතාවට පත් වූ විභාග අපේක්ෂකයන්ට එම අවස්ථාවේ දී ම සහනයක් ලබා දී ඇති බවට වාර්තා කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“විභාග ශාලාධිපතිගේ කාර්‍යභාරය වන්නේ ළමයි තෙමි තෙමී විභාගය ලියන කොට ෆොටෝ අරගෙන සමාජ ජාලා ගත කිරීමද? මේ ළමයිව නිසි ස්ථානයක ස්ථානගත කරලා විභාගය තියන එකද? තමන්ගේ රාජකාරි තෝරා නොගෙන කටයුතු කිරීම තමයි ප්‍රධාන ප්‍රශ්නේ. විදුහල්පතිවරු තමන්ගේ ඉස්කෝලේ තිබෙනවා නම් හොද ශාලා ටික, නොතෙමෙන ශාලා ටික හිරිකඩ නොවැදෙන ශාලා තියෙනවා නම් තමන්ගේ දරුවොනේ විභාගයට යන්නේ. තමන්ගේ දරුවන්ට විභාගය ලියන්නේ හොදම ශාලා ටික දෙන්න. මට අද ආරංචි වුණා දවස් දෙක තුනක්ම හිරිකඩ වැටුණලු. හැමදාම කුඩයක් ඉහළගෙන තමයි විභාගය ලියලා තියෙන්නේ. ඇයි කුඩ තියාගෙන විභාග ලියන්නේ? අපි එහෙම කියලා නැහැනේ එතනම ඉන්න කියලා. ඒ නිසා ස්ථාන වෙනස් කරන්න.”