hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 06, පෙ.ව. 9:59



ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ වත්මන් සභාපතිවරයා පිළිබඳ ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ ජාතික සේවක සංගමය අනාවරණයක් සිදු කර තිබෙනවා.

එම සංගමය පවසන්නේ සභාපතිවරයා රජයේ චක්‍රලේඛණ හා ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින්, සම්මුඛ පරීක්ෂණයන්ද සහයක නිළධාරීන්ට 30 දෙනෙකු සඳහා උසස්වීම් ලබා දීම මගින් ආයතනයේ නිෂ්පාදන කටයුතු අඩාල වී ආයතනය වැසී යාමේ තර්ජනයකට ලක්වන බවයි.

එම සංගමය ඊයේ (05) එප්පාවලදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති එච්.එම්.කේ ගුණතිලක මහතා කියා සිටියේ ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ වත්මන් සභාපති සුජීව ඉන්ද්‍රජිත් කුමාරසිංහ මහතාගේ අවිධිමත් පරිපාලනය නිසා, ආයතනය වැසී යාමේ තත්වයකට පත්ව ඇති බවයි.

දේශපාලන කටයුතු සඳහා නිෂ්පාදන සහයකවරුන්ට දේශපාලන හේතූන් මත විවිධ තනතුරු ලබා දෙමින් අභ්‍යන්තර ස්ථාන මාරුවීම් ලබා දීම නිසා නිෂ්පාදන කටයුතු අඩාල වෙලා ආයතනය වැසී යාමේ තත්වයකට පත් වී ඇති බවත් සම්මුඛ පරීක්ෂණ නොතබා මේ තනතුරු ලබා දෙන්නේ දේශපාලන හේතූන් මත බවත් ඔහු පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍යංශය 2022-04-26 වැනිදා රජයේ චක්‍රලේඛණයක් අනුව රජයේ සේවයට බඳවා ගැනීම්, උසස් වීම් ලබා දීම හා සුභසාධන කටයුතු සිදු නොකරන්නැයි රජයෙන් දැනුම් දී තිබෙනවා.

එවන් පසුබිමක එම චක්‍රලේඛණ උල්ලංඝණය කරමින් සභාපතිවරයා උසස් වීම් 30 ක් පමණ නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නව අගමැතිවරයකු හා විෂය භාර අමාත්‍යයවරයකු පත්වීමත් සමඟ අධ්‍යක්ෂ මණ්ඩලය පවා අහෝසි වෙලා තිබියදී, අමාත්‍යයවරයාගේ හෝ අනුමැතියකින් තොරව මෙම පත්වීම් ලබා දීම නීතී විරෝධී බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

“ඒ නිසා මේ තනතුරු සම්මුඛ පරීක්ෂණයකින් සුදුස්සන්ට ලබා දෙන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ. මේ අයුරින් තනතුරු ලබා දී මේ ආයතනය විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුවම දායක වෙන්නේ දෛනික පදනම මත සේවයේ නියතු සේවක මහතුන් 37 දෙනෙක් පමණයි. ඒ සේවක මහතුන්ට සාධාරණයක් නොකර දේශපාලන හේතූන් මත උසස් වීම් ලබා දීමට අපි තරයේ විරුද්ධයි.” යැයි එච්.එම්.කේ ගුණතිලක මහතා ප්‍රකාශ කළා.

“අපි මේ සම්බන්ධයෙන් අගමැතිතුමන්ට, කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මැතිතුමන්ට මේ සම්බන්ධයෙන් සොයා බලා මෙම දේශපාලන හිතවත්කම් මත කරන උසස් වීම් නවතා දමන ලෙසත් ඉල්ලා සිටිනවා.” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.