hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අප්‍රේල් 18, පෙ.ව. 9:28



නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී අද (18) දිනයේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වුණා.

ඒ අනුව අද පස්වරුවේදී නව කැබිනට් මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (17) රාත්‍රියේ නව ඇමති මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වටය දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බවයි වාර්තා වනවා.

ජනපතිගේ යෝජනාවට විරෝධය

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නවක මුහුණු රාශියකින් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර එම යෝජනාව මෙම රැස්වීමේදී ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම යෝජනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු එකහෙළා විරුද්ධ වී තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා විසින් නව පත් කිරීම් සිදු කිරීම සඳහා පසුගියදා පත් කරන ලද කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසටද යෝජනා කර තිබෙන බව ද වාර්තා වනවා.

මහින්ද විපක්ෂයට

මේ මොහොතේ කැබිනට් අමාත්‍යධූරය අත්හැර දැමීමට තමන් සූදානම් නොමැති බව පවසමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය විරෝධය පළ කර තිබෙනවා.

කරුණු කාරණා මෙසේ සිදු වන්නේ නම් තමන් ඇතුළු කණ්ඩායමට විපක්ෂයේ වාඩි ගැනීම හැරෙන්නට වෙන විකල්පයක් නොමැති බව ඒ අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ හේතුවෙන් නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සඳහා අවසන් තීන්දු තීරණ ගැනීමට කැඳවා තිබූ මෙම සාකච්ඡාව අවසන් තීරණයකින් තොරව නිමා වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නව අමාත්‍ය මණ්ඩලය විසි දෙදෙනකුගෙන් පමණ සමන්විත වන බවද එම ආරංචි මාර්ග කියා සිටියා.

තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාව

ආණ්ඩුවට එරෙහිව එල්ල වූ විරෝධය හමුවේ කැබිනට් මණ්ඩලය පසුගිය 3 වැනිදා රාත්‍රියේ ඉල්ලා අස්වුණා.

පාර්ලිමේන්තුවේ සහ රජයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඇමතිවරු තිදෙනෙක් පමණක් ජනාධිපතිවරයා විසින් ඊට පසු දින පත් කළා. 

හිටපු කැබිනට් අමාත්‍යවරුන් 10දෙනකු පමණ නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇති අතර, ඉතිරි සියලු දෙනා තරුණ මන්ත්‍රීවරුන් බවද වාර්තා වනවා.

හිටපු අයටත් ඇමතිකම්

අමාත්‍ය මණ්ඩලයේ දැනට සිටින මහාචාර්ය ජී එල් පීරිස් , දිනේෂ් ගුණවර්ධන, අලි සබ්‍ර් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ට අමතරව වෛද්‍ය රමේෂ් පතිරණ, ඩග්ලස් දේවානන්ද, දිලුම් අමුණුගම ඇතුළු හිටපු ඇමතිවරුන් කිහිපදෙනකුටද කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිතයි.

මේ අතර කාංචන විජේසේකර, රොෂාන් රණසිංහ, ඩී.වී චානක, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, ජානක වක්කුඹුර, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු රාජ්‍ය ඇමතිවරුන් පිරිසකට ද කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දුන්නා.

මේ අතර හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවක්ම තමන්ට අමාත්‍යධූර අනවශ්‍ය බවට ජනාධිපතිවරයාට පෙරේදා (16) රාත්‍රියේ දැනුම් දී තිබෙනවා.

අපිට ඇමති පට්ටම් එපා

ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, එස්.එම් චන්ද්‍රසේන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී.බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ඇමතිවරුන් ගණනාවක් අමාත්‍යධූරය අනවශ්‍ය බවට ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව දැනගන්නට තිබෙනවා.

මේ අතර ඩලස් අලහප්පෙරුම, රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊයේ (17) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුර බාර නොගන්නා බවයි.

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු කැබිනට් මණ්ඩලයට පත් වීමත් සමඟ ඇතිවන පුරප්පාඩු සඳහා මහාචාර්ය චරිත හේරත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඩිලාන් පෙරේරා, එස්.ඒ.ඩී ජගත් කුමාර යන මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනකුටද රාජ්‍ය අමාත්‍යධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසඳෙන බවයි.

රටේ ජනතාව ඇමති මණ්ඩල මෙලෙස පත් කිරීම පිළිනොගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.