hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 18, පෙ.ව. 9:52



රජය විසින් 2020 වර්ෂයේදී සීනි ආනයනය කිරීමේදී සීනි කිලෝවකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමට ගත් තීරණය හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුවී ඇතැයි විගණන වාර්තාවෙන් හෙළි වී තිබෙනවා.

ඒ හේතුවෙන් පෞද්ගලික සමාගමක් විසින් සතොසට රුපියල් මිලියන 102 ක් හා රජයට බදු වශයෙන් රුපියල් මිලියන 16,763 ක් අහිමි කර ඇති බව එම විගණන වාර්තාවෙන් හෙළිදරව් වී තිබෙනවා.

2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී හිතවතුන්ට වාසි සැලසීම සඳහා බදු අඩුකර ඇති බවත් ඉන් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු වී ඇති බවත් රජයට චෝදනා එල්ල වුණා.

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමෙන් පසු මෙරටට ආනයනය කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 2,77,715 ක් ඇතුළත් සීනි තොගයෙන් සියයට 45 ක් පමණ ආනයනය කර ඇත්තේ පිරමිඩ් විල්මා සමාගම විසින් බවට හඳුනාගෙන තිබුණා.

සීනි මෙට්‍රික් ටොන් 125,207 ක් විල්මා ආයතනය විසින් ආනයනය කර ඇති බවත් එමගින් සමාගමේ සීනි ආනයනය සියයට 1222 කින් වැඩි වී ඇති බවත් විගණනයේදී හෙළි වී තිබෙනවා.

සීනි ආනයන බද්ද අඩුකර තිබියදී සතොස ආයතනය විසින් සීනි ආනයනික සමාගම්වලින් සීනි කිලෝවක් රුපියල් 125.41 ක මිලකට ලබාගෙන පාලන මිල යටතේ කිලෝවක් රුපියල් 85 බැගින් අලෙවි කර රුපියල් කෝටි ගණනක අලාභයක් රජයට සිදුකර ඇති බව ද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබී නැති බවත් බදු වාසිය පාරිභෝගිකයාට ලැබෙන ලෙස ඉදිරියේදී හෝ කටයුතු කරන ලෙසත් විගණන වාර්තාව විසින් පෙන්වා දී තිබෙනවා.