hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 31, ප.ව. 1:08



රටේ සිදු වූ දරුණු ආර්ථික කඩා වැටීම පිළිබඳ ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (31) හෙළිදරව් කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

ආර්ථික ස්ථායිතාවය සඳහා ආදායම් ඉහළ නැංවීම සඳහා අගමැතිවරයා විසින් යෝජනාවක් ගෙන ආ බවත් ඊට කැබිනට් අනුමැතියද හිමි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඉතිහාසයේ නොවූ විරූ ලෙස රාජ්‍ය ආදායම පහළ ගොස් ඇති බවත් එනිසා දරාගත නොහැකි අයවැය පරතරයක් ඇති වන බවත් එය දීර්ඝ කාලීන තත්වයක් බවත් බන්දුල අමාත්‍යවරයා කියා සිටියා.

දවසට ණය වූ හැටි

ඒ පිළිබඳ පැහැදිලි කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළ අතර ඔහු ඒ පිළිබඳ මෙසේ සඳහන් කළා.

2014 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවසන් කරන විට දිනකට රටේ ආදායම බිලියන 3.2ක් ලෙස සඳහන්. එවකට දිනකට වියදම 4.9ක්. එනිසා දිනකට බිලියන 1.7ක් රජයට ණයට ගැනීමට සිදුවී තිබෙනවා.

2019 වර්ෂයේදී දිනක ආදායම වැඩිවී ඇති අතර එය සඳහන් වන්නේ බිලියන 5ක් ලෙසයි. ඒ වර්ෂයේ දිනක වියදම 9.1ක්. ඒ අනුව දිනකට බිලියන 4.1ක් ණයට ගෙන තිබෙනවා.

පසුගිය 2021 වර්ෂයේ මහ බැංකුව ඉදිරිපත් කළ වාර්තා අනුව රජයේ ආදායම අඩුවී ඇති අතර ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොවිඩ් වසංගත තත්වයේ බලපෑමත් බදු කපා හැරීම ඇතුළු කරුණු රාශියක බලපෑමත් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව 2021 වර්ෂයේ දිනක ආදායම බිලියන 4ක්. දිනක වියදම බිලියන 9.6ක්. බිලියන 5.6ක් දිනකට ණය ලබා ගෙන තිබෙනවා.

2022 තත්වය දරුණු වූ හැටි

2022 දළ වශයෙන් ඊට වඩා වැඩි විය හැකි බවට අනුමාන කළ හැකි අතර රජයට දිනකට කෝටි 400ක ආදායමක් ඇති බවත් කෝටි 1000ක් වියදම් කරන බවත් සෑම දිනකටම කෝටි 600ක් ණයට ගන්නා බවත් බන්දුල අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එලෙස දීර්ඝ කාලයක් ණය ලබා ගැනීමේ ප්‍රතිඵලය හේතුවෙන් වර්තමානයේ විදේශ ණය වාරික පොලී ගෙවීමට බැරි තත්වයකට රට පත් ව තිබෙනවා.

කවුරු ආණ්ඩු කලත්, ආණ්ඩු වෙනස් වී වෙනත් රජයක් පැමිණියත් ඇතැම් වියදම් කිසිසේත් කපා හැරිය නොහැකි වියදම් ලෙස තිබෙන බවත් එම වියදම් වල ප්‍රධාන වියදම් දෙක වන්නේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ රාජ්‍ය ණය සඳහා ගෙවන පොලිය බවත් ඔහු පෙන්වා දෙනවා.

රජයේ වැඩිම වියදම

2020 වර්ෂයේදී මුළු රජයේ ආදායමෙන් සියයට 86ක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වැය කර තිබෙනවා.

මේ ක්‍රමයට තවදුරටත් ගමන් කළ නොහැකි නිසා දේශීය අදායම් බදු පනත, එකතු කළ අගය මත බදු පනත, විදුලි සංදේශ බදු පනත, ඔට්ටු හා සුරාබදු පනත සහ මූල්‍ය කළමනාකරණ සංශෝධනය කර 2019 බදු කපා හැරීමට පෙර පැවැති තත්වයට බදු ගැලපුම් සිදු කිරීමට අමාත්‍ය අනුමැතිය ලබා දී තිබෙනවා.

රාජ්‍ය අදායම ඉහළ නැංවීමේ අරමුණින් අදාළ පනත් සංශෝධනය කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

2019 වසර අගභාගයේදී ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල අදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීමටත්, එකතු කළ අගය මත බද්දෙහි සහ පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීමටත් රජය විසින් ගනු ලැබ ඇති තීරණය හේතුවන් රාජ්‍ය අදායම් අඩු වී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: