October 20, 2021

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට සහභාගි වූ ජාතික පිලේ ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ 96ක්

“මා දැකපු දෙයක් තමයි ජාතික පාපන්දු කණ්ඩායමේ මුලික දේවල් වලට පහුගිය කාලයේ විසඳුම් දී නැති බව. දකුණු ආසියා ශූරතාවලියට ආවේ හිටපු කණ්ඩායමයි. ඒ කණ්ඩායම මාස එකහමාරකින් වෙනසක් කළා.

එහෙම වුණේ කණ්ඩායම ඇතුලට ගිහින් බැලුවා මොකක්ද ප්‍රශ්නය කියලා. ප්‍රශ්න හඳුනාගෙන ඒවාට අප උත්තර දුන්නා. ඒ වගේම ක්‍රීඩකයන්ට ඉලක්කයක් දුන්නා. තරඟයෙන් තරඟයට ළඟට ගිහින් කතා කළා.

ඔවුන් සමඟ කතා කරද්දී හඳුනාගත් අඩුපාඩු වලට විසඳුම් දුන්නා”.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසා තිබුණා.

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට සහභාගී වූ ජාතික පිලේ ක්‍රීඩකයන් 27කට පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා රුපියල් ලක්ෂ 96ක මුදල් දීමනා ගෙවා ඇතැයි ද ජස්වර් මහතා වැඩිදුරටත් පවසා තිබුණා.

ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කලට වේලාවට අවධානය යොමු කරමින් කටයුතු කළ නිසා ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන් වෙනදාට වඩා තෘප්තියකින් දකුණු ආසියා පාපන්දු තරඟාවලියේදී රට වෙනුවෙන් කැප වු බව ඒ මහතා පැවසූවා.

ලබන මාසයේ කොළඹදී පැවැත්වෙන සී ෂෙල්ස්, මාලදිවයින, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සහභාගී වන සිව්කොන් අන්තර්ජාතික පාපන්දු ශූරතාවලියේදී මෙහි ප්‍රතිඵල දැකගැනීමට හැකිවනු ඇතැයි ජස්වර් මහතා විශ්වාසය පළ කළා.

ඒ මහතා මෙලෙස අදහස් පළකර තිබුණේ දකුණු ආසියා පාපන්දු ශුරතාවලිය අතරතුර මාලේ නුවරදී මාධ්‍ය හමුවක් අමතමිනි. 

“දැන් ජාතික කණ්ඩායමේ සිටින හැම ක්‍රීඩකයකුටම ඉදිරියේදි කොපමණ ක්‍රීඩා කළ හැකිද කියා අප තක්සේරුවක ඉන්නවා. ක්‍රීඩකයෙක් ක්‍රීඩාවට සමුදුන් පසු ඔහුගේ අනාගතය වෙනුවෙන් යම් වැඩ පිළිවෙලක් සකස් කරනවා.

ඔහු පුහුණුකරුවකු වෙනවාද නැත්නම් පාපන්දු ක්‍රීඩාවේ වෙනත් අංශයකට යොමු කරනවාද යන්න කල් ඇතිව හඳුනා ගත යුතුයි. ඒ වෙනුවෙන් අප සැලැස්මක් හදනවා. ඉදිරියේදී පාපන්දු ක්‍රීඩාවට එන දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ඇති බව අප තහවුරු කරනවා. එහෙම වුණාම මව්පියන් ක්‍රිකට් වගේම පාපන්දුව ගැනත් හිතයි” ජස්වර් මහතා සඳහන් කර තිබුණා. කො

රෝනා වසංගතයෙන් පීඩාවට පත්වු ලීග් වල සාමාජිකයන්ට, නිලධාරීන්ට හා විනිසුරුවන් ඇතුලු සියලු දෙනාට ලබන මස 12 දා සිට වියළි ආහාර මලු 5070ක් ප්‍රදානය කිරිමේ සහන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ද ඒ මහතා මාධ්‍ය හමුවේදි හෙළි කළා.

Rate this item
(0 votes)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449