October 20, 2021

මල්ලවපොර උප සභාපතිගේ මල්ල පිරෙයි - අපරාධ පිළිබඳ පරීක්ෂණයක්

මල්ලවපොර සම්මේලනයේ උප සභාපති හා කණ්ඩායමේ කළමනාකරු ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබෙනවා.

ඒ මල්ලවපොර ලෝක ශූරතාවලියට සහභාගී වීම උදෙසා ඔස්ලෝ නුවරට ගොස් ක්‍රීඩකයන් සතු මුදල් සොරකම් කොට අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති චෝදනා වලටයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත, අන්තර්ජාතික මල්ලවපොර සම්මේලනයට හා නෝර්වේ මල්ලවපොර සම්මේලනයට මේ බව දැනුම්දීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා කටයුතු කර තිබෙනවා.

පසුගිය දෙවැනිදා සිට දහවැනි දින දක්වා ඔස්ලෝ නුවර පැවැති ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරඟාවලියට සහභාගීවීම සඳහා කණ්ඩායම පිටත්ව ගිය අතර, ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර දින (7 දා) කණ්ඩායමේ කළමනාකරු ඔස්ලෝ නුවරින් අතුරුදන් වී තිබෙනබවටයි වාර්තා වන්නේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් විදේශගත වීමේ දී රුපියල් ලක්ෂ 10ක ඇප බැඳුම්කරයක් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ගිවිසුම්ගත වන බැවින් එම ඇප බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය සම්බන්ධයෙන් නඩු පැවරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.

මෙම මුදල් අතරට සිය කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ දී ගත යුතු පී.සී.ආර් පරීක්ෂණවලට අවශ්‍ය මුදල් ද රැගෙන ගොස් ඇති බවට සඳහන් වෙනවා.

මේ තරඟ සංචාරය සම්බන්ධව මල්ලවපොර සම්මේලනයේ අදහස් පමණක් සැලකිල්ලට ගනිමින් මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු සමාජගත වීම පිළිබඳ කනගාටු වන බවත්, මල්ලවපොර සම්මේලනයෙන් ද ඒ පිළිබඳ කරුණු විමසීමක් සිදුකිරීමට නියමිත බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

 

Rate this item
(0 votes)

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449