hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 19, පෙ.ව. 2:16



පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දන ඖෂධයක් ලබා දීමෙන් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් කාන්තාවක් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති ඊයේ (18) අනාවරණ කළා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා.

“ඖෂධ සංකූලතාවය නිසා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටපු විදුහල්පතිනියක් මිය ගිහිල්ලා තියෙනවා පහුගිය 16 වෙනිදා. මේ වාර්තාවෙන්නේ ඒ ඖෂධය නිසා මිය ගිය දෙවනි මියයාම. ඉතින් පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරනවා ඒක ඖෂධ සංකූලතාවයක් කියලා. හැබැයි අපි කියන්නේ මේ ඖෂධය ගෙන්නලා තියෙන්නේ මේ ඖෂධයෙන් ප්‍රතිකාර කරන්න කියලා වෛද්‍යවරුන්ට ලබාදීලා තියෙන්නේ ඒ ඖෂධය භාවිතයට සුදුසුයි කියන නීත්‍යානුකූලභාවය ලබා දුන්න ඖෂධ නියාමන අධිකාරිය.”

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“ඖෂධ නියාමන අධිකාරිය තුළ නිසි විශේෂඥ පුහුණුව තියෙන තාක්ෂණික උපදේශක කමිටුවක් ක්‍රියාත්මක නොවීම නිසා අද වන විට අපේ රට ගෙන්වන ඖෂධ වල පරික්ෂා කිරීම සම්බන්ධ වන විද්‍යාත්මක අධ්‍යනයන් ගැන අද ගැටළු මතුවෙලා තියෙනවා. සුදුසුකම් නැති, පළපුරුද්ද නැති නිලධාරීන්, සමහර ඖෂධවේදීන්, සමහර කණ්ඩායම් මේක ඇතුලේ පවත්වාගෙන යන මාෆියාවේ ප්‍රතිඵලයක් විදිහට අද මහජනතාවට තමා බොන බෙහෙත් පෙත්ත තමා ලබා ගන්නා එන්නත ගැන වගකියන්නැති තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.”

කෙසේ වෙතත් මෙලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා මෙසේ සඳහන් කළා.

“ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය වගකීමක් ගන්නේ නැහැ. ඒකට සෞඛ්‍ය අමාත්‍යංශය වෙනම ආයතන තියෙනවා. ඒගොල්ලො ගේන්න ඕන ඖෂධ ලියාපදිංචි තියෙන ඖෂධ. නමුත් විනිමය ප්‍රශ්නය නිසා ලියාපදිංචි සැපයුම්කරුවෙක්ගෙන්ම ඖෂධයක් ගන්න විශේෂයෙන්ම පහුගිය කාලේ බැරි වුණා. ඉතින් ඊට අමතරව අපි අර විශේෂ වැඩසටහනුත් ක්‍රියාත්මක කරානේ ඉන්දියානු ණය ආධාර ක්‍රමය වගේ. ඒ වගේ ක්‍රමවේද මගින් ඖෂධ ගෙන්වීමේදීත්, අපේ ලියාපදිංචි ඖෂධම ගේන්න බැරි වුණා. අන්න එහෙම ගෙනාපු ඖෂධයක් තමයි මේ පේරාදෙණිය සම්බන්ධයෙන් තියෙන්නේ. ඒක ලියාපදිංචි නෑ. නමුත් අර විශේෂ විදි විධාන යටතේ ගෙන්වපු එකක්.”