hit counter

2025 සැප්‍තැම්‍බර් මස 15 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:15



පාලි භාෂාව ශාස්ත්‍රානුකූලව ඉගෙන ගැනීම උදෙසා සම්පාදනය කරන ලද සියවස් පැරණි බාලාවතාරො පෙළ සහ බාලාවතාරය ගඩලාදෙණිය සන්නය කෘති නැවත මුද්‍රණය කෙරේ. කෘති දෙකම එක සංස්කරණයක් වශයෙන් පළ කර ඇති අතර එය මහනුවර දී එළිදැක්විණි.

පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් එහි පළමු පිටපත් මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මල්වතු මහානායක සහ ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වෙත පිරිනමනු ලැබීය.

ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂිණී තොම්ප්සන් මහත්මිය ද සහභාගී වූවාය.

පාලි භාෂා සංරක්ෂණ හා පාලි භාෂාව ව්‍යවහාරය ප්‍රචලිත කරන අරමුණ ඇතිව පාත්ෆයින්ඩර් පදනම ආරම්භ කරන ලද ව්‍යාපෘතියට අනුව පළ කරන ලද මෙම කෘතිය පසුව දළදා මාලිගාව ශ්‍රවණාගාරයේ දී මල්වත්ත හා අස්ගිරිය උත්තරීතර කාරක සංඝ සභා වෙත පිරිනමන ලදී.

මල්වතු පාර්ශවයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධර්ම, අනුනායක නියංගොඩ විජිත, අස්ගිරිය පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි අනුනායක හිමිපාණන් ඇතුළු මහා සංඝයා වහන්සේලා සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාන්ඩේ, පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහත්වරු ඇතුළු ගිහි පැවැදි පිරිසක් සහභාගී විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ සහය කතිකාචාර්ය වැලිවිට සංරණංකර හිමිපාණෝ කෘතිය එළිදක්වන අවස්ථාවේ දී පාලි භාෂා භාවිතය ගැන විශේෂ දේශණයක් ද පවත්වනු ලැබීය —බාලාවතාරො පෙළ පාලි භාෂාව ශාස්ත්‍රානුකූලව ඉගෙන ගැනීම උදෙසා මහනුවර ගඩලාදෙනි රජමහ විහාරස්ථානයේ වැඩ වාසය කල ද්විතීය ධම්මකිත්ති නායක හිමිපාණන් වහන්සේ විසින් ක්‍රි.ව. 1300 දී පමණ ග්‍රන්ථකරණය කරන ලද බව ඉතිහාසය දක්වයි.

ඉනික්බිතිව තුන්වන ධම්මකිත්ති නායක හිමිපාණන් වහන්සේ විසින් —ගඩලාදෙණි සන්නය˜ සකස්කොට ආධුනිකයින්ගේ පහසුව උදෙසා මෙහි භාෂා විලාශය තවත් ලිහිල් කොට තිබේ. මුල් ආකෘතිය වෙනස් නොවන පරිදි පර්යේෂණාත්මකව මෙම කෘති සංස්කරණය කර ඇත.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මුද්‍රණය සදහා අනුග්‍රහය දක්වන ලද පොත විහාරස්ථාන, පිරිවෙන්, විශ්ව විද්‍යාල පාලි අධ්‍යයන අංශ සහ පුස්තකාලවලට නොමිලේ පිරිනැමේ. 94114529952-3 අංකවලට කතා කිරීමෙන් හෝ [email protected] ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් තොරතුරු ලබාගත හැකිවේ.