hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

ඊශ්‍රායල මෙහෙයුම් අවසානයේදී ගාසා තීරයේ පාලනය සඳහා පලස්තීන පාලන අධිකාරිය නැවත පැමිණීම පිළිබඳ මේ දිනවල සාකච්ඡා පවතිනවා.

ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර මේ පිළිබඳ අදහස් හුවමාරු වූ බව ද පසුගියදා වාර්තා වුණා. මේ අතර පලස්තීන පාලනාධිකාරියේ ප්‍රධානී මොහොමඩ් අබ්බාස් ද ඒ සඳහා කැමැත්ත පළ කර තිබුණා.

කෙසේ වෙතත් මේ අදහස පිළිබඳ බොහෝ ගාසා වැසියන් තුළ ධනාත්මක ප්‍රතිචාරයක් නැතැයි අල් ජසීරා පුවත් සේවය පවසනවා. ඔවුන් පවසන්නේ බටහිර ඉවුරේ ද පලස්තීන පාලනාධිකාරිය තුළ ඇති ප්‍රදේශවල පවා ඊශ්‍රායලය තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන බවයි.

එමෙන්ම පලස්තීන විමුක්ති සංවිධානය​, හමාස් සංවිධානය සමග වූ දේශපාලනික එදිරිවාදිකම හේතුවෙන් ගාසා වැසියන්ට එරෙහි අවහිරතාවයට සහය දුන් බව ද ඇතැමුන් මතක් කර සිටිනවා.

ඊශ්‍රායලය පවසන්නේ අනාගතයේදී ගාසා තීරයේ පාලනයට හමාස් සංවිධානය කිසිසේත්ම සම්බන්ධ වියයුතු නොවන බවයි. එම සංවිධානය විනාශ කිරීම තම අරමුණ බවත් එතැන් පටන් ගාසා හි ආරක්ෂක කටයුතු තමන් අත පවතිනු ඇති බවත් ඊශ්‍රායලය කියා සිටිනවා.