2025 මැයි 16, පෙ.ව. 12:05
පසුගියදා මුළු රටම සංවේදී සිදුවීමක් සිදු වුණා….
ඒ අවාසනාවන්ත ගැරඬිඇල්ල ඛේදවාචකයේ අසරණ ජිවිත බේරා ගන්න දිවා රෑ නොබලා වෙහස වුණු හුඟාක් අය හිටියා… රෝහල්වල… ඉතිං මේ සංවේදී සටහන නුවර එළිය මහ රෝහලේ ජීවකයෙකු වූ විකලාංග විශේෂඥ වෛද්‍ය කැලුම් චතුරංග විදාන ගමගේ තැබූ සටහනක්…
එම සිදුවීමේ කවුරුත් නොදන්නා කතාවක් එතුමා සිය මුහුණු පොතෙහි අකුරු කරලා තිබුණා…
ඒ කතාව ඔබේ දෙනෙත්වල කදුළු අලුත් කාරාවී… තව මනුස්සයෙක්ගේ ජීවිතේ බේර ගන්න වෙහෙස වෙන නිහඩ විරුවන් වූ සෞඛ්‍යය අංශවල මනුස්සකමේ සුවඳ පිරුණු ඔවුන්ගේ කතාවයි මේ…
වෛද්‍ය ජීවිතයේ අපහසුම සතියක් ගත විය……
ඔබත් මාත් ඇතුළු අප සියලු දෙනා යම් වෘත්තියක නියැලෙන්නේ ජීවිතය ජීවත් කරවන්නට වැටුපක් ඉපයීමේ ප්‍රධාන අරමුණෙන්මය…….
මාසයක අවසානයට මුදලක් අතට ලැබෙන එක සතුටට කාරණාවක්මය….. දුවා දරුවන්ට දෙමාපියන්ට සැමියාට බිරිඳට සහෝදරයන්ට බතක් වතක් අරන් දී ලබන සතුට රස්සාවක් කරන්නට උත්තේජනයක් ලබා දෙන උත්ප්රේරණයය…..
සෞඛ්‍යයේ අප සැමට වෙහෙසකර දවස්වල ජීවිතේ මග වියදම් ගෙවා ගන්නට අත්‍යවශ්‍යම වැටුප අප වෙතට පැමිණෙන දුබල දුර්වල රෝගියෙක් සවි බල ගන්වා ගෙදර යවන සතුටමය……
මේ සතිය අපි පටන් ගත්තේ ත්‍රීරෝද රථ අනතුරකින් බෙල්ලක් කැඩී අත පය හතරම අවලංගු වූ දරුවෙක් සදහටම රෝද පුටුවකට ගන්නට අවැසි වන ශල්‍යකර්මයක් කිරීමෙන්ය…. ඊළඟට කොඳු කැඩී ගිය මේ දරුවාගේම මලයා කොන්දට දැමූ ඇණ සහිතව යහතින් ගෙදර යන්නට සූදානම්ය… බදාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා ශල්‍යකර්ම කළ බොහොමයක් රෝගීන් ගෙදර ගොස් අවසන්ය…..
නුවරඑළියේ විකලාංග බර බෙදා ගන්නට මේ සතියේම ආ මා ආදරණීය තිළිණ මල්ලි මහා හයියක්මය……
ඉරිදා උදෑසන අපිව ඇහැරෙව්වේ රෝහලේ දුරකථන ක්රියාකරුය… ඒ රම්බොඩ මාරක බස් අනතුර ගැන කියමින්ය….. අසූවක් පමණ වූ මගීන්ගෙන් විස්සක් රැගෙන ආවේ නුවරඑළිය රෝහලටය…. ඊට අමතරව ප්‍රාණය නිරුද්ධ වූ දහයක් පමණ මෙහෙට ආවා මතකය….
පෙරලුණු බසයේ යකඩ බර දරාගෙන මව් සෙනෙහසට යකඩටත් පදිරි කළ අම්මා අවසන් සුසුම් හෙලුවේ නුවරඑළියේ රෝහලේදීය…… හදවත නැවතුණු සිරුරට පණ දෙන්නට උත්සාහ කළ හැමගේ උත්සාහයන් ව්‍යාර්ථ වූ කල දෑස් කඳුළින් පිරවුණු සෞඛ්‍යයේ මිනිසුන් දැක්කේ හදිසි අනතුරු ඒකකය පුරාමය …. කඳුළු අපහසුවෙන්ම හංගන් එදා රෑ එකොළහත් පහුවෙනකම් බාගෙට මැරුණු අත් පා වලට පණ දෙන්නට වෙහෙසකර උත්සාහයක් ගත්තේ අපි ඔක්කොමල්ලාය …..
බස් එකේ බරට කොන්දක් කැඩී ගිය විශේෂ කාර්ය බලකායේ කොල්ලෙක්ගේ කොන්දක් ඇණ දමා සවිකලේ වෙසක් පෝය දාය…. ගත වූ පසුගිය මාස නමයටම කිසිදු නිවාඩු දිනයක නිවාඩුවක් නොතිබුණු විකලාංග ශල්‍යාගාරය වෙසක් පෝය දාත් රෑ වෙනකම්ම වැඩ කළේය….
කිසිදු මැසිවිල්ලක් නොමැතිව කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින්, හෙද හෙදියන් නිර්වින්දන වෛද්‍යවරුන්, විකලාංග, ශල්‍ය කායික රෝග ඇතුළු සියලු අංශවල වෛද්‍යවරුන් උපරිම ගටකින් වැඩ කළේ අතක් කකුලක් ජීවිතයක් බේරා ගන්නය….
වෙසක් පෝයට පහු දින සියලුම උත්සාහ දරා බේරගන්නත් බැරි උන පාද දෙකක් දණහිසින් උඩින් කපන ශල්‍යකර්මයක් කෙරුවේ ඉතාමත් අපහසුවෙන්මය…. දරුවන් තිදෙනකුගේ පියෙකු වූ ඔහුගේ බිරින්දෑ අනතුරින් මිය ගොස්ය. දෙපයින් ලෙඩ්ඩු ඇවිදවන විකලාංග වෛද්‍යවරුන් වන අප හට කකුලක් කැපීම මානසික වේදනාවක්මය….. වෙනදා කකුලක් කපන්නට ගන්නා තීරණයක බර මෙන් දහස් ගුණයක බරක් මේ කකුල් කපන්නට ගත් තීරණයේ තිබුණු බව කියන්නට උවමනා නැත…….
අසීරු තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේදී තිබුණු ශාරීරික වෙහෙසට වඩා මානසික වෙහෙස සිය ගුණයක්ය……. මේ වේදනා සම සම සමව බෙදාගන්නට මොහොතක් පාසාම සිටියේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මා මිතුරු ලක්මාල් මලයාය…. ඔහුත් අප සමග නොවන්නට මේ වෙහෙස අපමණව තවත් වැඩි වනු ඇත……
ඉල ඇට කැඩී ගිය වකුගඩු අකර්මණ්‍ය වූ ජීවිත අවිනිශ්චිත වූ රෝගීන්ගේ ජීවිතය වෙනුවෙන් නොනිදා සටන් කළේ මා මිත්‍ර නිමංගී මිත්‍රරත්න ප්රමුඛ දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලයය…..
ඇතැම් දිනවල දිවා ආහාරය අමතකව දවල්ටත් රෑටත් අපි කෑවේ රෑ එකොළහට පමණය….. ගිය බදාදා පටන්ගෙන මේ ලියන බ්‍රහස්පතින්දා වෙනකොට නුවරඑළියේ අපි දින අටක් විකලාංග ශල්‍යකර්ම කර අවසන්ය…….
දුකත් සතුටත් සම සමව මුහු උන ජීවිතයේ අවිනිශ්චිත භාවය ඇස් පනාපිට පසක් කළ තවත් සතියක් එසේ ගතවිය……..
සදා සැරදේවා ලක් මව සහ ඇයගේ දරුකැල…..
විකලාංග විශේෂඥ වෛද්‍ය කැලුම් චතුරංග විදාන ගමගේ….
නුවර එළිය මහ රෝහලේ සීත බංගලාවේ සිට නුවරඑළියේ අපි ඔක්කොමල්ලා වෙනුවෙන් ලියන්නෙමි
2025 මැයි 16, පෙ.ව. 12:03
2025 මැයි 16, පෙ.ව. 12:02
2025 මැයි 15, ප.ව. 1:35
2025 මැයි 15, පෙ.ව. 10:30
2025 මැයි 15, පෙ.ව. 9:38
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25