hit counter

2025 මැයි මස 06 වන අඟහරුවාදා

2025 මැයි 07, පෙ.ව. 12:06



ඇය දැන් කාට වුණත් සුපුරුදු චරිතයක්..

සඳ වගේ ලස්සන ඒ මූණ, ඇගේ හිනාවත් රසිකයින් අතර නොමැකෙන මතක බවට මේ වෙද්දී පත් වෙලා..

මේ කියන්නේ කවුරු ගැනද..?

රැල්ල වෙරළට ආදරෙයි කියන්නේ ප්‍රේක්ෂකයන් හැමෝම ආදරෙන් වැලඳගත්ත ජනප්‍රිය ටෙලි නිර්මානයක්.. එහි ප්‍රධාන චරිතය වන සත්‍යා හෙවත් සුදු මැණිකේගේ චරිතයට පණ දුන්නේ නවක දක්ෂ රංගන ශිල්පිනියක් වන අමන්දා ජයරත්න.. මේ දිනවල අමන්දාව දැකගන්න ලැබෙන්නේ හිරු මෙගා ස්ටාර් වේදිකාවේ.. “රැල්ල වෙරළට ආදරෙයි” නාට්‍යය අවසන් වුණත් අදටත් අමන්දා ජයරත්නට බොහෝ දෙනා කියන්නේ ‘සුදු මැණිකේ’ කියලා.. මේ අමන්දා ජයරත්න සමඟ කළ සොඳුරු කතාබහයි..

මේ දවස්වල මොකද කරන්නේ අමන්දා?

හිරු මෙගා ස්ටාර් එක්ක අලුත් ටෙලි නාට්‍යයක වැඩ පටන් ගත්තා. ඒ දේවල් එක්ක තමයි ජිවිතේ ගතවෙන්නේ. ඒ එක්කම ඉදිරියට මගේ ටෙලි නාට්‍ය තුනක් එන්න තියෙනවා. ඒ නිර්මාණ වලත් වැඩ සිදු වෙනවා. ඒ වගේම අලුත්ම සිනමා නිර්මාණයක ෂූටින් ජූනි මාසයේ පටන් ගන්න නියමිතව තියෙනවා. එහි මම කරන්නේ ප්‍රධාන චරිතය. ප්‍රධාන චරිතයක් කරන පළමු නිර්මාණය ඒක.

සුදු මැණිකෙට නම් තවම ප්‍රතිචාර ලැබෙනවා ඇතිනේද?

ඇත්තටම ඔව්. ලැබෙන ප්‍රතිචාර දවසින් දවස වැඩිවෙනවා මිසක් අඩුවක් වෙන්නේ නැහැ. ඒ ගැන හරිම සතුටුයි. කොහේ ගියත් ප්‍රේක්ෂකයින් අහන්නේ ඇයි රැල්ල වෙරළට ආදරෙයි කතාව නැවැත්තුවේ කියලා. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර අයියාව. මට තාත්තා කෙනෙක් වගේ හැමදේම කියලා දීලා දවසින් දවස මගේ චරිතය සාර්ථක කරගන්න මඟපෙන්නුවා. ඔහු මට විතරක් නෙවෙයි නිර්මාණයට දායක වුණු හැමෝගේම උපරිම හැකියාවන් මතු කර ගන්නට සමත් වුණු දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඒ තුළ තිබුණු සාර්ථකත්වය නිසාම තමයි අදටත් සුදු මැණිකේ කියන චරිතයට මේ තරම් ආදරයක් ලැබෙන්නේ.

රැල්ල වෙරළට ආදරෙයි කියන්නෙ අමන්දාගේ චරිතයේ හැරවුම් ලක්ෂ­්‍යයක් වුණු චරිතයක් නේද?

ඔව්. මගේ රංගන ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය. මම හිතුවේවත් නැහැ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා. සුදු මැණිකේ කියන නම මට බ්‍රෑන්ඩ් එකක් වුණා. ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ නිවන්ත ප්‍රසාර කියන අපේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයාට, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතාට සහ හිරු මාධ්‍ය ජාලයේ සියලුම දෙනාට.

චරිතයක් භරගන්න කලින් විශේෂයෙන්ම බලන්නෙ මොනවද?

මම බලන්නේ මට මේ ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එකයි. මම පිටපත මුල ඉඳන්ම අග වෙනකම් කියවලා බලනවා.

චරිතවලදී සීමාවන් තියෙනවද?

ඔව්. මට සීමාවන් තියෙනවා. ඒ සීමාවන් ඇතුළේ ලැබෙන ආරාධනා අනුව දරුවන් එක්ක පවුලේ අයට එකට බලන්න පුළුවන් සමාජයට යම් පණිවිඩයක් දිය හැකි නිර්මාණවලට මම අනිවාර්යයෙන්ම දායක වෙනවා.

කටකතාවලට බයද?

අයියෝ නැහැ. මම ගොසිප්වලට නම් පොඩ්ඩක්වත් බය නැහැ. මගේ හෘදය සාක්ෂිය දන්නවනේ මම කරන්නේ මොනවද කියලා. මම වැරැද්දක් කළා නම් තමා ලැජ්ජා වෙන්න ඕනේ. ඒ නිසා මම නොකරපු දේවල් ගැන කටකතා පැතිරෙනවා නම් ඒ ගැන බය නැහැ. මම කෙලින් කතා කරන කෙනෙක්. ඒ නිසා මම කාටවත් බය නැහැ. ඒ දේවල් මට වැඩකුත් නැහැ. ගොසිප් එකක් ගැහුව පලියට මනසින් වැටෙන්න තරම් මගේ මනස දුර්වල නැහැ.

මේ ගමන එන්න පහසුවුණාද?

මම මුලින්ම එන්නේ මට වයස අවුරුදු තුනහමාරේ දී වෙ‍ෙළඳ දැන්වීමකින්. ඊට පස්සේ ආයෙම මේ කලාවේ ගමන පටන්ගන්නේ අවුරුදු 17දී. එතැනදී මතක් කරන්න ඕනේ ලලිත් වසන්ත මහතා සහ සඳුන් රාජකරුණා මහතාව. මම මේ ගමන ආවේ බොහොම හෙමින්. දවසින් දවස රංගනය කියන දේ ඉගෙන ගනිමින් යන ගමනක් මට තියෙන්නේ.

කැමැතිම ජනප්‍රිය සම්මානය ලබන්න ද හොඳම නිළිය සම්මානය ලබන්න ද?

මම කැමැති හොඳම නිළිය සම්මානයට. ජනප්‍රියම කියන සම්මානය ගන්න ලෙහෙසියි. හොඳම නිළිය වෙන්න පහසු නැහැ. ඒ නිසා මම උත්සාහ කරන්නේ කවදා හරි හොඳම නිළිය ලෙසින් සම්මානිත වෙන්න.

විවේකයක් ලැබුණාම මොකද කරන්නේ?

මම කලාව එක්කම තමා ඉන්නේ. විවේක කාලයේදී මට ලැබිලා තියෙන පිටපත කියවනවා. නාට්‍ය සහ රංගනය ගැන තියෙන දේවල් සොයා බලනවා.ගෙදර ඉන්න වේලාවට උයනවා. ඒ වගේම මගේ ව්‍යයාම කටයුතු සහ සංගීතය නර්තනය වගේ දේවල් එක්ක තමා කාලය ගත වෙන්නේ.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදරින් හොඳම සහයෝගයක් මට ලැබෙනවා. අවුරුදු 9ක් තිස්සේ මා එක්කම අම්මාත් නිර්මාණවලට එනවා. ගොඩක් අය මාව දැක්කම අහන්නෙත් කෝ අම්මා කියලා. ඒ තරමට මගේ අම්මා තමයි මේ ගමනේ ලොකුම හයිය. තාත්තා ඉන්නේ රට නිසා අම්මා තමා මම පොඩි කාලේ ඉඳන්ම හැමදෙයකම පිටුපස්සේ ඉන්නේ.

අනාගත බලාපොරොත්තු මොනවද?

මේ අවුරුද්දේ මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවා. ඒ එක්කම මගේ පළමු සිනමා නිර්මාණයෙන් සහ ඉදිරියට එන්න තියෙන ටෙලි නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින් අතරට හොඳ විදියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: