hit counter

2025 මැයි මස 03 වන සෙනසුරාදා

2025 මැයි 02, ප.ව. 6:40



නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙකි. 

පසුගිය අප්‍රේල් 27 වැනි දින විශ්වවිද්‍යාලයේ පැවැති අවුරුදු උත්සවයකින් පසුව ඊට පසුදින එනම් 28 වැනි දින ඔහු ගම්පොල ඉහළගම පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණි.

එලෙස පැමිණි ඔහු අප්‍රේල් 29 වැනිදා සවස සිය නිවස පසුපස ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබුණි.

මේ අතර සබරගමුව සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළව ඇති එක් සටහනක් තුළ අංජලී බංඩාර නම් තරුණියටද චෝදනා නගා තිබුණා.

අරගල භුමියේ ද කැපී පෙනෙන චරිතයක් වූ අංජලී බංඩාරතමන්ට එදිරි චෝදනා වලට සමාජ මාධ්‍ය හරහා පිළිතුරු ලබා දී තිබුණා.

මේ ඇය එක් කළ ඒ සටහනයි.

-උපුටා ගැනීම-

මා සම්බන්ධයෙන් පැතිරී යන අසත්‍ය තොරතුරු සම්බන්ධවයි.

ඊයෙ දිනයේ සබරගමු විශ්වවිද්‍යාලයයේ විද්‍යාර්ථයෙකු සි#දිවි නසාගැනීම සම්බන්ධයෙන් Facebook ගිණුමකින් දමා ඇති Post එකකට මාගේ නම සඳහන් වී ඇති බැවින් ඒ පිළිබඳ මා සොයා බැලීම ඇරඹූවා. මම නවක වදය සම්බන්ධයෙන් දැඩිව විරුද්ධ වන කෙනෙක් වෙමි. ඕනේම පුද්ගලයෙකුට මානසික හෝ කායික බලපෑමක් සිදු කිරීම “එතිකල්” නොවන දෙයක් බව දැඩිව පිලිගන්නා පුද්ගලයෙකු වෙමි.

කෙසේ නමුත් මේ අදාල Post එකෙහි සඳහන් පරිදි මම 2021 වර්ෂයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමේ ලේකම්වරිය ලෙස කටයුතු කරන අවධියේ මා හට ලැබුණු දුරකතන ඇමතුමට එවකට මම දැක් වූ ප්‍රතිචාර සම්බන්ධව වැරදි මතයක් සමාජ ගත කිරීමට දැඩිව උත්සාහ කර ඇත. සැබවින්ම එම ඇමතුමේදී මගෙන් අහන්නේ “කැම්පස් එකේ රැග් තියෙනවද? නැද්ද?” යන්නයි. එයට මම පැහැදිලි පිලිතුරු ලබා දුන්නේ “නැහැ එහෙම තත්වයකට විශ්වවිද්‍යාලයෙන් ඉඩක් නැහැ” යනුවෙනුයි. අදාල පාර්ශවය විසින් එම Post එකේ සඳහන් කරන පරිදි මා “නහයෙන් ඇඩූ” බවක් තියෙනවාද නැද්ද යැයි මම ම යලිත් ඒ ඔවුන් ඒ පවසන Record කර, Facebook Live දමන ලද Video එක මා ලඟද සුරැකිව තිබෙන හෙයින් යලිත් එය අසා පරීක්ෂා කලෙමි.

මෙම සිදුවීම සිදු වූයේ 2021 වසරේදී වුවත් ඒ කතා බහම වෙනස් කර ඊයේ දිනයේ මම Junior Batch වල ලමයින්ට තග දැමූ බවත් රැග් කල බවත් අගවන පරිදි Post එක දමා ඇත්තේ අප විශ්වවිද්‍යාලයේද නොවන අයකු විසිනි. ගැටලුව සිදු වී ඇත්තේද වෙනත් විශ්වවිද්‍යාලයකය. කුමන විශ්වවිද්‍යාලයක සිදු වූවත් එවැනි දේ සිදු නොවිය යුතු ය.

මා පිළිබඳව පළ වූ ඒ post එක සහ comments තුළ ප්‍රධාන වශයෙන්ම උපුටා දක්වන්නේ මා 2021 මහජන අරගලයට සහභාගි වීම සහ ඒ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස කටයුතු කිරීම ය. එම කරුණු දෙක විවිධාකාරයෙන් ගලපමින් මා අතින් සිසුන්ට අකටයුතුකම් වූ බවක් පෙන්වීමට, මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් ගතවී තිබියදිත් උත්සහ කිරීම මා සමග ඇති පෞද්ගලික තරහක් නිසා බවද මට හොඳින් වැටහේ.

මේ අයුරින් අපහාසාත්මක ලෙස ප්‍රචාරයන් එල්ල කිරීම 2023 වර්ෂයේදීත් සිදු වූ අතර ඒ මොහොතේ නිහඩව සිටියේ එම අදාල පාර්ශවයන්ට ඒ මොහොතේ අවශ්‍ය වූ Engagement එක දීමට මා හට අවශ්‍ය නොවූ හෙයිනි.

කෙසේ නමුත් මේ අදාල Post එකේ පරිදි මා විසින් රැග් වී ඇති කෙනෙක් වේ නම් කරුණාකර මට විරුද්ධව නඩුවක් ගොනු කරන ලෙස ඉල්ලා සිටිමි. මා අතින් රැග් වූවානම් එයට විරුද්ධ වී මට එරෙහිව නඩුමගට යෑමට ඒ අදාල පුද්ගලයාට හැකි බව ඔබත් මමත් දන්නා දෙයකි. මා එසේ කලානම් නඩු මගට නොයන්නේ ඇයි? එය මට ගැටලුවකි. එසේ නොමැතිව මේ ආකාරයට මාගේ නම භාවිතා කරමින් කරන අපහාසාත්මක තොරතුරු ප්‍රචාරයන් වලට මේ වන විටත් මා නීති මාර්ගයට ගොස් ඒ උපදෙස් පිළිපදිමින් සිටිමි.

එකල විශ්වවිද්‍යාලයේ මාගේ ජූනියර් විද්‍යාර්ථයින් සහ මා සමඟ සිටි සමකාලීන මිත්‍රයන් මා සැබැවින්ම කවරෙකුද යන්න හොදින් දනී.

අවසානයේ කීමට ඇත්තේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් මෙවැනි මානසික හෝ කායිකව සිදුවන බලපෑම් නැවැත්වීම සහ ඒ දරුවන් වෙනුවෙන් පෙනී සිටීම මහජනතාවගේ වගකීමකි. එය වෙනුවෙන් මම ද තවමත් මේ මොහොතේත් කොන්දේසි විරහිතව පෙනී සිටිමි.

අංජලී බංඩාර

-උපුටා ගැනීම අවසන්-





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: