hit counter

2025 මැයි මස 28 වන බදාදා

2025 මැයි 28, පෙ.ව. 12:04



72 වන ලෝක රූ රැජින තරගාවලියේ, Beauty with a Purpose Gala රාත්‍රී භෝජන සංග්‍රහය වෙනුවෙන්, ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර අපූරු විලාසිතාවක් තෝරාගෙන තිබුණා.

එහි සේයා රූ බෙදාගනිමින් ඈ සඳහන් කර තිබුණේ, Beauty With a Purpose තරග වටයේදී ‘සහේලි’ ව්‍යාපෘතිය ගැන තමන් කළ ඉදිරිපත් කිරීම පිළිබඳව ආඩම්බර වන බවයි.

එමෙන්ම Beauty with a Purpose Gala රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ද ඈ තෝරාගෙන තිබුණේ සිය ව්‍යාපෘතිය ඉස්මතු කෙරෙන රතු පැහැයෙන් යුත් විලාසිතාවක් වීම විශේෂයි.

”Beauty With a Purpose (BWAP) Gala රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වීමට,

මම රතු පැහැයෙන් සැරසීමට තෝරා ගත්තේ එය මගේ කාර්යයේ සාරය සංකේතවත් කරන බැවිනි ; ඔසප් වීම…

එය තද වර්ණයක්, රුධිරයේ පැහැය, ජීවිතයේ වර්ණය, ඔසප් වීමේ ජීව විද්‍යාත්මක යථාර්ථය පමණක් නොව, බොහෝ ගැහැණු ළමයින් සහ කාන්තාවන් තවමත් විඳදරාගන්නා නිහඬතාවය, අපකීර්තිය සහ අරගලය ද පිළිබිඹු කරයි.

රතු යනු රුධිරයේ වර්ණයයි, නමුත් එය බලාපොරොත්තුවේ වර්ණය ද වේ.

මෙය තම ඔසප් වීම නිසා ‘කුඩා’ යැයි හැඟුණු සෑම ගැහැණු ළමයෙකුටම ය.

මෙතරම් ස්වාභාවික දෙයක් සඳහා ලැජ්ජාවට පත් වූ සෑම කාන්තාවකටම ය…”

මේ අතර අනුදි ‘ඔසප් දරිද්‍රතාව’ ගැන හඬ අවදි කරන ‘සහේලි’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද අවදානය යොමුව තිබෙනවා.

ඒ පිළිබඳව අනුදි සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, ‘සහේලි’ යනු තමන්ට හුදෙක් ව්‍යාපෘතියකට වඩා වැඩි යමක් වන බවයි.

එමෙන්ම ‘ඔසප් දරිද්‍රතාව’ වෙනුවෙන් ඉදිරියටත් තමන් හඬ අවදි කරන බවත් ඈ සඳහන් කර තිබුණා.

සිය ව්‍යාපෘතිය යටතේ සනීපාරක්ෂක තුවා බෙදා දීම, සංවාද ගොඩනැඟීම, දැනුවත් කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, රජයේ නිලධාරීන් සමඟ සම්බන්ධව ක්‍රියාත්මක වීම වැනි විශාල වැඩ කොටසක් සිදුකළ බවත් ඇය සිය සටහනින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: