hit counter

2025 මැයි මස 05 වන සඳුදා

2025 මැයි 06, පෙ.ව. 12:08



කාලයක් තිස්සේ පැවැති පවුල් ආරවුලක් නිසා කංජිපානි ඉම්රාන් සහ ඩුබායි ධනුෂ්කගේ සහාය ලබාගෙන ඩෑන් ප්‍රියසාද්ව වෙඩි තබා ඝාතනය කළ බව එම ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන කට් බන්දු නමැත්තා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

කංජිපානි ඉම්රාන් සහ ඩුබායි ධනුෂ්ක ප්‍රසිද්ධියේ දැඩි විවේචනයට ලක්කිරීම නිසා ඔවුන් ද ඩෑන් ප්‍රියසාද් සමග දැඩි වෛරයකින් පසුවූ අතර ඔහුගෙන් පළිගැනීමට මෙම ඝාතනය සඳහා ඔවුන් සම්පූර්ණ සහාය ලබාදුන් බවද අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු වන කට් බන්දු ප්‍රකාශ කර ඇත.

ඩෑන්ගේ බාල සොහොයුරු ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන කට් බන්ධු එම ඝාතනය ක්‍රියාත්මක කර තිබුණේ ඔහුගේ පුත්‍රයා ඇතුළු කණ්ඩායමක සහාය ලබාගෙන බවද විමර්ශනවලින් හෙළිවී තිබේ. ඩෑන්ගේ සොහොයුරා ඝාතනයට ද හේතු වී තිබුණේ මෙම පවුල් ආරවුල බව පොලිසිය පවසයි.

ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන සැකකරු කට් බන්ධු ඇතුළු තිදෙනකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කට් බන්දු මෙම ඝාතනය සිදුකරන්නේ කංජිපානි ලබාදුන් පිස්තෝලයක් යොදාගෙනය. කට් බන්ධුගේ සහායකයා ලෙස පැමිණ සිටියේ ද කංජිපානි ඉම්රාන්ගේ පාතාල කල්ලියේ සමීපතමයකු වන අතර ඔහු මේ වනතුරු අත්අඩංගුවට ගෙන නොමැත.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට ඔත්තු බැලූ කංජිපානිගේ සමීපතමයකු වන අහමඩ් නමැත්තා සහ මේ ඝාතනය සඳහා සම්පූර්ණ සහාය දුන් දුලාන් නමැති ත්‍රිරෝද රථ රියදුරු ද මේ වනවිට අත්අඩංගුවේ පසුවෙති.

ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන කට් බන්ධු සහ දුලාන් ඩෑන්ගේ බිරිඳගේ පාර්ශ්වයේ ළඟම ඥාතීන් බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය සඳහා යොදාගත් යතුරු පැදිය, හිස් වැසුම සහ ජංගම දුරකථන 2 ක් පොලිසිය මේ වනවිට සොයාගෙන තිබේ.

පොලිස් වාහනයක් අනතුරට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලිසිය භාරයේ සිටි කට් බන්ධු පොලිස් ඇප මත මුදා හැරීමෙන් පසු පිටතට එද්දී එහි රැක සිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

කට් බන්ධුගේ එක් පාදයක් අඟලක පමණ ප්‍රමාණයක් කොටවීම නිසා ඔහු ඇවිදින විට කොර ගසන බව පොලිසිය පවසයි. ඩෑන් ඝාතනයට පැමිණ වෙඩික්කරුගේ එක් පාදයක් කොර ගසමින් යන ආකාරය සීසීටීවී දර්ශනවල පවා සටහන් වී තිබිණ.

රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන කට් බන්ධුගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: