hit counter

2025 අප්‍රේල් මස 28 වන සඳුදා

2025 අප්‍රේල් 28, පෙ.ව. 12:04



දිනෙන් දින ඉහළ යන වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන නිසා රටේ ජාතික ආරක්ෂාවට මේ වන විට එල්ල වී ඇත්තේ කිසියම් තර්ජනයකි. රටේ ජනතාව ජාතික ආරක්ෂාවට ගැනෙන කොටසකි. ඔවුහුද ආරක්ෂාව ලැබිය යුතු උදවිය වෙති. එහෙත් ඉකුත්දා ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයත් සමඟ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව ගැන ඇත්තේ කිසියම්  ගැටලුකාරී තත්ත්වයකි.

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා මරා දමන්නේ ඉකුත් 22 වැනිදා රාත්‍රියේය. ඒ ඔහු සිය බිරියගේ නැඟණියගේ නිවෙසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී සිටියදීය. සාදය පැවැතියේ කොළොන්නාව, සාලමුල්ලේ පිහිටි “ලක්සඳ සෙවණ” නිවාස සංකීර්ණයේ හය වැනි මහලේය.

ඩෑන් සිය බිරිය සහ දරු තිදෙනා සමඟ එම නිවෙසට පැමිණ සිටි අතර සිද්ධිය වූ අවස්ථාවේ ඔහුගේ බිරියගේ නැඟණියගේ  වැඩිමල් ඥාතීන් දෙදෙනකු සමඟ මත්පැන් පානය කරමින් සිට ඇත.

මෙලෙස මත්පැන් පානය කරන අතරතුර ඔහු ඉලක්ක කරගත් තුවක්කුකරුවන්  යතුරුපැදියකින් “ලක්සඳ සෙවණ” මහල් නිවාස සංකීර්ණයට ඇතුළු වී තිබේ. ඉන් එක් අයකු මුහුණු ආවරණයක් පැලඳ සිටි අතර අනෙකා සුදු පැහැති  හිස්වැසුමක් දමා සිටියේය.

මහල් නිවාස පඩිපෙළ නැඟගත් ඔවුන්ගෙන්  සුදු පැහැති  හිස්වැසුම් පැලඳි පුද්ගලයා තත්පර ගණනාවකින් පසු හය වැනි මහලට අවතීරණය වී  කොරිඩෝවේ මත්පැන් පානය කරමින් සිටි ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ සමඟම ඩෑන් ඇද වැටී ඇති අතර තුවක්කුකරුවන් පැමිණි පඩිපෙළ දිගේම පහළට බැස යතුරුපැදියේ නැඟ පලා ගොස් ඇත.

ඒ සමඟ ඇසුණේ මරළතෝනියකි.  නිවෙසේ සිටි අය සහ සෙසු හිතවතුන් වෙඩි වැදුණු ඩෑන් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය අතර ඔහු ඒ වන විටත් සිටියේ අසාධ්‍ය තත්ත්වයකිනි. වේලාව ඒ වන විට රාත්‍රි 9.20 පමණ වී තිබිණි. ඔහු සත්කාර ඒකකයට ඇතුළත් කළ වෛද්‍යවරුන් ඔහු සැත්කමකටද භාජන කළ අතර රාත්‍රි 11.20 ආසන්න වෙද්දී ඔහු රෝහල තුළම අවසන් හුස්ම හෙළීය. ඔහුගේ පපුවට සහ උරහිසට වෙඩි උණ්ඩ 5ක් පමණ වැදී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹන ලද්දේ වැල්ලම්පිටිය පොලිසිය විසිනි. බස්නාහිර දකුණ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන විසින් ලබාදුන් උපදෙස් මත බස්නාහිර දකුණ  අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහුද එම විමර්ශනයට එක්ව සිටියහ. ඊට අමතරව  විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටිනු අයුරු දක්නට ලැබුණේය.

සිද්ධිය සම්බන්ධයෙන්  පැති තුනක් ඔස්සේ විමර්ශන ඇරැඹිණි. ඒ දේශපාලන ආරවුලක්, පාතාල ක්‍රියාකාරකමක් හෝ පෞද්ගලික ආරවුලක්  නිසා ඩෑන් ප්‍රියසාද්  ඝාතනය කළේද යන්න නිශ්චය ලෙස දැන ගැනීම සඳහාය. ඒ සඳහා  පොලිස් කණ්ඩායම් 4ක්  එක්ව සිටි අතර ඔවුන් එක් එක් කණ්ඩායමකට එක් එක් කොටස් භාරදී තිබිණි.  මූලික විමර්ශන කණ්ඩායම සීසීටීවී කැමරා ඔස්සේ විමර්ශන ඇරැඹීය. නිවාස සංකීර්ණයේ ස්ථාපිත සීසීටීවී කැමරාවක තුවක්කුකරුවන් එම සංකීර්ණයට ඇතුළුවන ආකාරයත් වෙඩි තැබීමෙන් පසු ඔවුන් පිට වී යන ආකාරයත් සටහන් වී තිබුණේය.  වෙඩි තැබීම සිදුකරන තුවක්කුකරු නිවාස  සංකීර්ණයට ඇතුළු වෙද්දී සිය ජංගම දුරකථනය හිස්වැසුම් අතර රඳවාගෙන කිසිවකු සමඟ කතාබස් කරන ආකාරය නිරීක්ෂණය විය. ඒ අනුව නිලධාරීන් නිගමනය කළේ ඩෑන් ප්‍රියසාද්  රැඳී සිටින  ස්ථානය සම්බන්ධයෙන් කිසිවකු විසින් දුරකථනය හරහා ඔහුට ලබාදෙන තොරතුරු මත තුවක්කුකරු හය වැනි මහලට ගමන් කරන බවය. තුවක්කුකරු කවුදැයි හඳුනාගැනීම සඳහා සීසීටීවී දර්ශන ලබාගත් නිලධාරීන් එම ඡායාරූප විවිධ අපරාධකරුවන්ට හා ඔත්තුකරුවන්ට පෙන්වා ඔවුන් හඳුනා ගැනීමට උත්සාහ ගත් අතර අනෙක් කණ්ඩායම් ඩෑන්ගේ බිරියගෙන්, ඇගේ සොහොයුරියගෙන්  නිවෙසට ආගිය හා ඩෑන් සමඟ මත්පැන් පානය කළ අයගෙන්ද ප්‍රශ්න කරමින් ප්‍රකාශ ලබා ගත්හ.

ඒ අනුව හෙළි වන්නේ ඩෑන් සිද්ධිය වූ දා සිය බිරියගේ නැඟණියට  අයත් නිවෙසට ගොස් මත්පැන් සාදයට එක්වන්නේ නැඟණියට අයත් යතුරුපැදියක් විකුණා මුදල ලබා ගැනීමට ඩෑන්ගේ සහායද ලැබී තිබීම හේතුවෙන්ය.  නිවෙස් හිමි කාන්තාව  එම යතුරුපැදිය විකුණා ගැනීමට සිය වැඩිමල් සොහොයුරිය හරහා ඩෑන්ගේ සහාය ඉල්ලා තිබුණේය.  එදින එම නිවෙසට නැඟණියගේ සැමියාගේ පාර්ශ්වයත් නැඟණියගේ  පියාගේ පාර්ශ්වයත් පැමිණ සිටි අතර රාත්‍රි කාලයේ නිවෙසට පැමිණි ඩෑන්  නිවෙස ඉදිරිපිට කොරිඩෝවේ සිටි ඔවුන් සමඟ මත්පැන් පානය කර තිබුණේය. ඒ බිරියගේ නැඟණිය විසින් සකසන ලද කටගැස්මද සමඟිනි.

එම අවස්ථාවේ එකී නිවාස සංකීර්ණයේම පාදයක් අහිමි වූ පුද්ගලයකුට කෑම පිඟානක් රැගෙන යෑමට පුද්ගලයකු පැමිණ ඇති අතර කෑම පිසීම ප්‍රමාද වීම නිසා ඩෑන්ගේ කීම මත ඔහුද මත්පැන් වීදුරුවක් පානය කර පිටව ගොස් තිබුණේය. වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඒ අතරය.

සිද්ධිය මෙලෙස අනාවරණය කරගත් විමර්ශන නිලධාරීන් ඩෑන්ගේ බිරිය ඇතුළු ඥාතීන්ගෙන් වැඩිදුරටත් තොරතුරු විමසද්දී වෙඩි තැබීමට දින කිහිපයකට පෙර ඩෑන් ඥාති පාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිකර ගැනීමටද හැකි විය. ඒ ඔස්සේ කරුණු කාරණා සොයද්දී  එම ගැටුමට  හේතු වී ඇත්තේ කලකට පෙර ඩෑන්ගේ සොහොයුරකු  කපා කොටා මරා දැමීමේ සිද්ධියක් බව නිලධාරීන්ට ඒත්තු ගියේය. ඒ ඔස්සේද විමර්ශන සිදු විය.

කෙසේ වෙතත් ඩෑන් වෙඩි තබා මරා දැමූ ආකාරයට අනුව එය පාතාලයේ කොන්ත්‍රාත්තුවක් බවට සැක කළ නිලධාරීහු ඒ ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක කළහ. බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන පාතාල ක්‍රියාකාරකම් සිදුකරන පාතාල ක්‍රියාකාරීන් දෙදෙනකු ඩෑන් සමඟ පැවැති හිතවත්කමක්ද මෙහිදී අනාවරණය වූ අතර ඒ ඔස්සේ ඔහු විසින් තවත් පාතාල සාමාජිකයන් කිහිපදෙනකුට එරෙහිව කළ විවේචනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරීන්ට තොරතුරු ලැබී තිබිණි.  ඒ අනුව අනාවරණය වන්නේ පාතාල කල්ලි නායකයකු වූ කංජිපානි ඉම්රාන්ගෙන් ඔහුට කිසියම් තර්ජනයක් එල්ලව තිබූ බවය.

කංජිපානි කියන්නේ ලොකු චණ්ඩියෙක්ද? කුඩු දිලිනි,  කංජිපානි, ලොකු පැටී, පොඩි පැටී,  කුඩු අංජුල ලංකාවට ගෙන්නන්න ඕන. කංජිපානි ඉන්න තැන සී.අයි.ඩී. එකෙන් ජාත්‍යන්තර පොලිසියට කියන්න ඕනෑ. මම නම් කංජිපානිට බය නෑ. උන් චණ්ඩි නම් ලංකාවට වෙලා ඉන්න ඕනෑ. වෙන රටවල්වලට පැනලා හැංගිලා ඉන්නවා.”

ඩෑන් වරෙක ප්‍රසිද්ධියේ එලෙස කංජිපානිට බැනවැදුණු අතර ඔහු එලෙස කංජිපානිව විවේචනයට ලක්කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේය.  මේ නිසා කංජිපානිද ඩෑන් ප්‍රියසාද් සමඟ වෛරයක් ඇති කරගෙන  තිබූ බවත් එම ප්‍රකාශයෙන් පසු කංජිපානිගෙන්  ඩෑන්ට මරණ තර්ජන පවා එල්ල වී තිබූ බවත් විමර්ශන නිලධාරීහු දැන ගත්හ. මෙම පාතාල කොන්ත්‍රාත්තුව පිටුපස කංජිපානි සිටින බවට නිලධාරීන් මුලසිටම සැක මතු කළේ ඒ නිසාය.

එහෙත් ඒ බව තහවුරු කිරීමට තරම් තොරතුරු පොලිසිය සතුව තිබුණේ නැත.  එහෙත් විමර්ශන අත්නොහළ පොලිසිය සිද්ධියට දින කිහිපයකට පෙර ඩෑන් සහ වෙනත් පාර්ශ්වයක් අතර ඇති වූ  ගැටුම පසුපස යමින් තවත් තොරතුරු හෙළි කරගත්තේය. එම ගැටුමට අනුව අනාවරණය වන්නේ මෙවන් කතාවකි.

මත්ද්‍රව්‍ය ආරවුලක් මත ඩෑන්ගේ සොහොයුරකු වූ තිළිණ ප්‍රසාද් නමැත්තා ඉකුත් 2022 වසරේ ජූලි මස  25 වැනිදා ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී කපා කොටා ඝාතනය කර තිබිණි.  තිළිණ ප්‍රසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට  ගන්නා ලදී. එලෙස අත්අඩංගුවට පත්වූ පිරිස අතර  පිය පුතු දෙපළක්ද සිටි අතර එම දෙපළගේ ඥාති පුතකු හා ඔහුගේ මිතුරකු ඇතුළු තවත් අයෙක්ද ඒ අතර වූහ. අත්අඩංගුවට ගත් එම ඥාති පුතු ඩෑන්ගේ බිරියගේ නැඟණියගේ ඥාතියකු වූ අතර  ඩෑන් සහ ඔවුන් අතර ඇතිව තිබූ වෛරයක් මත ඩෑන්ගේ සොහොයුරා ඝාතනය කර ඇති බව විමර්ශනයේදී හෙළිවිණි.

තිළිණගේ ඝාතනයට අත්අඩංගුවට පත් පිය- පුතු දෙපළ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත වූ අතර මාස කිහිපයකට පසු ඔවුන් ඇප මත මුදා හරින ලදී.  එහෙත් ඔවුනට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින අතර මෙම කාලය තුළ දෙපාර්ශ්වය අතර නොයෙකුත් මතභේද සහ ආරවුල්ද ඇති විණි.  එහි ආසන්නතම සිදුවීම ඉකුත් 20 වැනිදා සිදුවිණි.

පොලිසියට ලද තොරතුරුවලට අනුව තිළිණ ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පිය-පුතු දෙපළගේ ඥාති පුතකුගේ  නිවෙසේ අලුත්වැඩියා කිහිපයක් සිදුවෙමින් පැවැති බවත් ඒ සඳහා පැමිණි පෙදරේරුවන්ට අවශ්‍ය ආහාර ගෙන ඒම සඳහා සිය ත්‍රිරෝද රථය එම ඥාති පුත්‍රයා විසින් හිතවතකුට ලබා දී එය මීතොටමුල්ල ප්‍රදේශයට යවා තිබිණි. 

මීතොටමුල්ලේදී එම රථය හදිසියේම ඩෑන් ප්‍රියසාද්ගේ නෙත ගැටී ඇත්තේ ඔය අතරය. ඒ අනුව එම රථය වෙත ගිය ඩෑන් රථයේ රියැදුරා ලෙස සිටි පුද්ගලයාට බැන වැදී රථයටද මන්නා ප්‍රහාරයක් එල්ල කර ඇති බව කියයි. 

ඉන් අනතුරුව රථය පැද වු පුද්ගලයා මේ බව රථයේ හිමිකරු වූ ඥාති පුතාට  පවසා ඇතැයිද කියති. ත්‍රිරෝද රියේ හිමිකරු වූ ඥාති පුත්‍රයාගේ රියැදුරා  සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියට යවා පැමිණිල්ලක්ද යොදා ඇති අතර එහිදී පොලිසිය ඩෑන් අමතා පවසා ඇත්තේ එම පැමිණිල්ල විභාග කිරීම සඳහා 22 වැනි දින පොලිසියට පැමිණෙන ලෙසය. එහෙත් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ ඩෑන් 22 වැනිදා  පොලිසිය අමතා පවසා ඇත්තේ තමාට එදින පැමිණිල්ල විභාග කිරීමට පැමිණිය නොහැකි බවත් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත්ය.

නිලධාරීන් මෙලෙස තොරතුරු අනාවරණය කරගත් අතර එම තොරතුරු ගැනද නිලධාරීන්ට කිසියම් සැකයක් ඇති විය.  ඒ එම සිද්ධියෙන් පසු තිළිණ ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වූ පිය -පුතු දෙපළ ඩෑන්ට එල්ල කළ මරණ තර්ජනයක් නිසාය.

“උඹෙත් බෙල්ල කපලා අරන් යනවා දැන ගනින්”

ඒ අනුව නිලධාරීන්ගේ සැකය එම පිය -පුතු දෙපළ වෙතත් තිළිණගේ ඝාතනයට චෝදනා ලැබූ ත්‍රීවීලර් හිමිකාර ඥාති පුතා වෙතත් එල්ල විය. ඒ අනුව පිය-පුතු දෙපළ සොයා නිලධාරීන් ඔවුන් පදිංචි කඩවත කිරිල්ලවල නිවෙසට ගියද ඔවුන් නිවෙසේ නොසිටීම නිලධාරීන් තුළ තිබූ සැකය  තවත් තහවුරු කරවන්නට සමත් වූයේය.

ඔවුන් ගැන තවදුරටත් කරුණු සෙවීමේදී  ඔවුන් රටින් පලායෑමට  ඉඩ ඇති බව දත් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර එම පිය – පුතු දෙපළට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට හා ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක්ද ලබා ගැනීමටද කටයුතු කළේය. ඉන් අනතුරුව එම පිය – පුතු දෙදෙනා සොයා වැටලීම් සිදුකළද ඔවුන් සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැත. එහෙත් ඔවුන්ගේ සමීපතම ත්‍රිරෝද රථ හිමිකරු අයිස් මත්කුඩු ග්‍රෑම් 6ක් සමඟ අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු සමත් වූහ. ඒ මීතොටමුල්ල බස් ඩිපෝව අසලදීය. පැති කිහිපයක් ඔස්සේ විමර්ශන පැවැත්වූ නිළධාරීන්ට ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකි වූයේ ඉන් පසුවය. ඒ අනුව හෙළි වන්නේ මෙවන් කතාවක්ය. 

ඩෑන් ප්‍රියසාද්ගෙන් එල්ලව ඇති ගැටලුකාරී තත්ත්වයත් ඔහුගෙන් තම ත්‍රිරෝද රියට ප්‍රහාරයක් එල්ලවීම ගැනත් උරණව සිටි ඥාති පුතා මේ බව  සැකකාර පිය-පුතු දෙපළගේ මාර්ගයෙන් වැල්ලම්පිටියේ ලක්ෂාන් නමැත්තකුට මේ බව  පවසා ඇතැයි වර්තා විය. ලක්ෂාන් මේ වන විට සිටින්නේ ඩුබායි රාජ්‍යයේය.

ඒ අනුව ලක්ෂාන් සිය මිතුරන්ව විදේශගතව සිටින කංජිපානි ඉම්රාන්ව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර දී  ඇතැයි කියයි. ඩෑන් ප්‍රියසාද්  සමඟ දැඩි වෛරයකින් සිටි කංජිපානි ඩෑන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට කැමැත්ත පළකර ඇති අතර ඒ අනුව ඉකුත් 20 වැනිදාම ඩෑන් ඝාතනයට සැලසුම සකස් වී ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත

“උඹ ගිහින් ත්‍රීවීලර් එකට ගැහුවා කියලා පොලිසියේ පැමිණිල්ලක් දාපන්. පැමිණිල්ල විභාග කරන දාට ඩෑන්  පොලිසියට ඒවි.  එදාට ඩෑන්ට ගහමු. ”

ඒ අනුව ඩෑන් ඝාතනය කිරීම ඉකුත් 22 වැනිදා යොදාගෙන තිබිණි. එහෙත් ඩෑන් පොලිසියට කතා කොට එදින පැමිණිලි  විභාගයට තමාට  පැමිණීමට නොහැකි බව දැන්වීමත් සමඟ ප්‍රහාරය ව්‍යාර්ථ වී ඇත.

“කමක් නැහැ ඌ ඉන්න තැන හරි, ඌ සෙට් වෙන තැනක් හරි  හොයලා කියපන්. 

ඩෑන් ගැන තොරතුරු සොයමින් සිටි පිරිසට ඩෑන් 22 වැනිදා රාත්‍රි සිය බිරියගේ නැඟණියගේ නිවෙසේ මත්පැන් සාදයට එක්වි සිටින බවට තොරතුරු ලැබී ඇත. එම තොරතුරු වහා අදාළ පාර්ශ්වයට දැනුම්දීමත් සමඟ සූදානම් කෙරුණු තුවක්කුකරුවන් පිස්තෝල ගිනි අවියක්ද රැගෙන ලක්සඳ සෙවණ තට්ටු නිවාස සංකීර්ණයට පැමිණ 6 වැනි  මහලේ මත්පැන් බොමින් සිටි ඩෑන් ඉලක්ක කොට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි කියයි.

මෙහිදී ඩෑන් එම නිවෙසට පැමිණ සිටින බව ලක්සද සෙවණේම පදිංචි අයකු විසින් පාතාල කෙරුමන්ට දන්වා ඇති බවත් ඒ අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් විමර්ශන නිලධාරීහු මේ වන විට සැක පළ කරති. 

සිද්ධියෙන් පැය විසි හතරක් යන්නටද මත්තෙන් ඩෑන් ඝාතනයට අදාළ මෙම තොරතුරු  සොයා ගැනීමට  බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයට හැකි වී ඇත.  ඒ අනුව  විමර්ශන නිලධාරීන් පවසන්නේ කංජිපානි ඉම්රාන් තුළ තිබූ වෛරය මත ඔහු විසින් ලබාදුන් වෙඩික්කරුවන් විසින් ඩෑන්ව වෙඩි තබා මරා දමා ඇති බවය. ඩෑන්ගේ ඝාතනයට දැනට අතුරුදන්ව සිටින පිය – පුතු දෙපළගේද සම්බන්ධයක්  ඇති බව සැක කරන නිලධාරීහු  ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඩෑන් ඝාතනයේ තවත් තොරුතුරු හෙළි කරගත හැකි වන බවක් සඳහන් කරති. ඩෑන්ට වෙඩි තැබූ තුවක්කුකරු සහ ඔහුගේ සගයා සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබී ඇතත් ඔවුන් සිකුරාදා රාත්‍රිය වනතුරු අත්අඩංගුවට ගෙන තිබුණේ නැත. කෙසේ වෙතත් සැකකාර ත්‍රිරෝද රථයේ හිමිකරු වූ පිය-පුතුගේ ඥාති පුත්‍රයා ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් අතරින් එක් අයකු බවත් ඩෑන් ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලිසිය කියයි. දැනට පොලිසිය මඟහැර සිටින පිය පුතු දෙපළ සහ තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ වන විට පුද්ගලයන් 30කට ආසන්න සංඛ්‍යාවකගෙන් ප්‍රශ්නකොට ප්‍රකාශ ලබා ගෙන ඇත. සැකකාරයන් සහ සැකකරුවන් කිහිපදෙනකුද අත්අඩංගුවේ පසුවෙති.

මේ අතර 2025 ජනවාරි මාසයේ සිට මේ දක්වා වෙඩි තැබීම් 36ක් සිදුව ඇති බවත් එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 26 දෙනකු මරණයට පත්ව ඇති බවත් පොලිස් මූලස්ථානය සඳහන් කළේය. දිගින් දිගටම සිදුකරන මෙම වෙඩි තැබීම්වල නැවතීමක් දක්නට නොමැති අතර නිරායුධ සාමාන්‍ය පුද්ගලයන් ඝාතනය කරමින් ගිනි අවි අතැතිව සැරිසරන තුවක්කුකරුවන් කොටුකර ගැනීමට කෙතරම් විමර්ශන කණ්ඩායම් යෙදුවද පාතාල ක්‍රියාකාරිකයන්  ඒ පිළිබඳ  කිසිදු තැකීමක් නොකරන බව මෙම වෙඩි තැබීම්වලින් මනාව පැහැදිලිය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, බස්නාහිර දකුණ  නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජයපත්ම, සහකාර පොලිස් අධිකාරි ජානක කුමාර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ යන නිලධාරීන්ගේ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර ඇතුළු කණ්ඩායමක්ද නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණියගේ උපදෙස් මත වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම් ඇතුළු කණ්ඩායමක්ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

කවුද මේ ඩෑන්…

ඩෑන් ප්‍රියසාද් ඝාතනය කොට හමාරය. ඔහුගේ ඝාතනයත් සමඟ ඔහුගේම යටගියාව පිළිබඳව විවිධ පුවත් මේ වන විට මාධ්‍ය හරහා සංසරණය වේ.

ඩෑන් උපත ලබන්නේ 1986 වසරේදීය. ඔහුව ඝාතනය කරන විට තම දිවියේ 39 වැනි කඩඉම පසු කරමින් සිටියේය. ඔහු තිදරු පියෙකි. ඩෑන් ප්‍රියසාද් නම් පුද්ගලයෙක් පිළිබඳව සමාජය දැන හඳුනාගන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව පැවැති මුල් භාගයේදීය. එවකට සිංහලේ නම් ජාතිකවාදී සංවිධානාත්මක ක්‍රියාකාරිකයෙක් වූ ඔහු අත්අඩංගුවට පවා පත්විය. ඉන් පසුව සමාජ ක්‍රියාකාරිකයකු ලෙසද වරින්වර ක්‍රියාත්මක වූ අවස්ථා රැසක්ද විය. ඒ සමයේම මියන්මාරයේ සිට පැමිණි බෞද්ධ භික්ෂුන් වහන්සේ පවා ඝාතනය කරනු ලදැයි චෝදනා ලද රෝහින්ග්‍යා පිරිස් රඳවා සිටි ගල්කිස්සේ රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරියේ කළ උද්ඝෝෂණයද එකල බොහෝ පිරිසකගේ අවධානය යොමුවිය. ඔහුගේ බොහෝ ක්‍රියාකාරකම්ද මුස්ලිම් අන්තවාදයට එරෙහිව සිදුවිය. එමෙන්ම ඔහුගේ බොහෝ ක්‍රියාකාරකම්ද රාජපක්ෂ කඳවුරට සමපාත විය. ඩෑන් වරක් එක්තරා ටෙලි නාට්‍යයක් මඟින් භික්ෂුන් වහන්සේට අගෞරවයක් සිදුවනු බවට චෝදනා කරමින් එයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. මේ ආකාරයට වරින් වර තරමක ආන්දෝලනාත්මක සිදුවීම්වලට දායක වූ ඩෑන් 2022 ගාලුමුවදොර ජන අරගලය නමින් හැඳින්වූ උද්ඝෝෂණයට පහර දීමට දායක වීම සම්බන්ධව බොහෝ දෙනාගේ විවේචනවලටද ඔහු ලක්විය.

ඔහුගේ සමාජ ක්‍රියාකාරකම් දෙස නිරීක්ෂණය කිරීමේදී අති ධාවනකාරී අයකු බව පැහැදිලිය. මේ ආකාරයට අති ධාවනගතවී හැසිරීමක් තිබූ ඩෑන්ට එකී හැසිරීම නිසාම තම මතවාදය සමාජගත කිරීමේදී ගැටලුවලට මුහුණපෑමටද සිදුවිය. එපමණක් නොව ඔහු පාතාලයට පවා එරෙහි විය. 

කෙසේ වුවද සමහර පාර්ශ්වවලට ඩෑන් නිර්භීත පුද්ගලයකු ලෙස පෙනිණි.

මෙසේ ගලා ආ ඔහුගේ සමාජ දේශපාලන දිවියේ එක්තරා තීරණාත්මක ප්‍රවේශයකටද ඔහු මුහුණ දීමට සූදානමින් සිටියේය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව නගර සභාවට තරග කිරීමය. මේ කුමක් වුවද මේ වන විට ඩෑන්ව අමානුෂික ලෙස ඝාතනය කර හමාරය. කිසිවකුගේ මතයකට එරෙහි වූ පමණින් ඔහුව ඝාතනය කිරීමට කිසිවකුට අයිතියක් නැත. ඒ නිසා ඩෑන්ට සාධාරණයක් ඉටු කිරීම මේ අවස්ථාවේ තම වගකීමක් බව ආණ්ඩුව සිහිතබාගත යුතුය.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: