hit counter

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා

2025 අප්‍රේල් 27, ප.ව. 4:10



 පසුගියදා සිදුවූ ඩෑන් ප්‍රියසාද් ගේ මෘත දේහය සමාජ මාධ්‍ය තුළින් විකාශය කරන අවස්ථාවේ අවස්ථාවේදී ඔහුගේ ආදරණීය දුවා දරුවන්ගේ මුහුණු ඒ සංවේදීත්වය ඒ ආකාරයෙන්ම විකාශය කිරීම හේතුවෙන්,ඒ මාධ්‍ය ආචාර ධර්මවලට පටහැනි බව පවසා දෙරණේ හිටපු නිවේදිකාවක් වන ඩිල්කා සමන්මලී චෝදනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඇය තමන්ගේ මුහුණු පොත හරහා තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.

ඉතින් බොහෝ දෙනෙක් ඇය කියපු කතාව පිළිගත්තු අතර දරුවන්ගේ මුහුණු පෙන්වමින් අපහසුතාවයට පත් කළා කියලා දෙරණට චෝදනා එල්ල කරා.

ඒ වගේම සමාජ මාධ්‍යවල බොහෝ දෙනා ඇය කරපු ප්‍රකාශය විවිධ ආකාරයෙන් වෙනස් කරලා සමාජ මාධ්‍යවල නැවත පල කළා. ඉතින් මේ සියලු දේවල් වෙනුවෙන් නැවත වතාවක් දිල්කා සමාජ මාධ්‍ය වෙත සටහනක් ඉදිරිපත් කර තිබුණා.ඇය ඉදිරිපත් කෙරු සටහන පහතින් උපුටා දක්වා ඇත.

හැමදාම බොරදියේ මාළු බාන අයට අපේ මත පේන්නේ එයාලගේ බිලී පිත්තේ ඉන්න පණුවෝ ගානට.එයාලට පාවිච්චි කරන්න ඕන උනහම අපේ මත එයාලා පාවිච්චි කරනවා.ඒක තමයි සාමාන්‍ය තත්වය. මම පෝස්ට් එකක් ලියන්නේ ඕව නොදැනගෙන නෙමෙයි.

තඹුත්තේගම ඉදන් ආපු ජනාධිපතිගෙ කතාවත් ඒවගේ එකක්.

පසුගිය දිනක දෙරණ වෙබ් අඩවිය හරහා පළ කෙරුණු පුවතක් සම්බන්ධ මගේ නිදහස් මතය ප්‍රකාශ කරපු එක උපුටා දක්වමින් ඩිල්කා සමන්මලී දෙරණ විවේචනය කරයි කියන ශීර්ෂ පාඨය යටතේ දැන් පෝස්ට් ෂෙයාර් වෙනවා.

මම දාන පෝස්ට් වලට මගේ අදහස් වලට තනිකරම දේශපාලනය ගාවගත්ත, උදේ හවස මට අපහාසාත්මක ප්‍රකාශ කරන සමහර අයත් මගේ මේ පෝස්ට් එක ශෙයාර් කරමින් දෙරණට මඩ ගහන්න උත්සාහ කරනව.

එනිසා මම මේ ටික පැහැදිලි කළ යුතුයි.

ඩිල්කා සමන්මලී කිසිම දිනක දෙරණ විවේචනය කරන්නෙ නෑ.දෙරණ කියන සන්නාමය ගොඩනැගුනේම මනුශ්‍යත්වය මූලික කරගෙන.දෙරණ හැමදාම හිට ගත්තේ මිනිස්සුන්ගේ පැත්තේ.දෙරණ හැමදාම කඩේ ගියේ රට වෙනුවෙන්.කිසිම අවස්තාවක දෙරණ රටට අහිතකර කිසිවක් වෙනුවෙන් පෙනී සිටි නාලිකාවක් නෙමෙයි.දෙරණ නාලිකාව ආරම්භ කරපු ,එයට ප්‍රාග්ධනය වැය කරපු මිනිස්සු සිංහල බෞද්ධ සභ්‍යත්වය මත හිඳිමින් තමයි දෙරණ ගොඩ නැගුවෙ.වැඩකරන මිනිස්සුන්ට පූර්ණ නිදහස ලැබෙන, සියයට සීයක් තමන්ගේ සේවකයව රැකබලා ගන්න.මියගිය සේවකයෙක්ගේ පවුල් පවා නඩත්තු කරල බලා කියාගන්න ලංකාවේ එකම මාධ්‍ය ආයතනය දෙරණ.එහෙම මනුස්සකමක් තියෙන දෙරණ විවේචනය කරන්න මට කිසිම උවමනාවක් නෑ.

එහෙමනම් මොකක්ද මේ මගේ ලියමනේ අරමුණ?

වසර ගාණක් දෙරණ මනුෂ්‍යත්වයේ ජීවගුණය ආරක්ෂා කර ගනිමින් සිදුකරගෙන ආපු මාධ්‍ය කාර්යභාරය ගිලිහෙන්නට නොදී තවදුරටත් රැක ගැනීමට හැමදාම මා විශ්වාස කරපු සාධනීය විවේචනයන් සිදුකිරීමට මට කාගෙන්වත් අවසර ඕනෙද?.නැත.

දෙරණ විධායක අධ්‍යක්ෂතුමාගේ සිට දෙරණට ප්‍රාග්ධනය යෙදවූ දිලිත් ජයවීර මහතා දක්වා ඉහල කළමණාකාරීත්වය වසර විස්සක් තිස්සේ දෙරණ මාධ්‍ය ආයතනය තුළ හුරු කළ,පුහුණු කල මනුෂ්‍යත්වයේ ගුණාංග ගිලිහෙන මොහොතක එය දකිමින් ඊට අත්පොළසන්දීම මට සිදුකළ නොහැක.

මාධ්‍ය ආයතන වල සේවය කරන මාධ්‍යවේදීන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමන්ගේ හිතට එකඟව වැඩ කිරීමට ඔවුන්ට නිදහස නොමැතිවීමයි..ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතනවල හිමිකරුවාගේ හෝ ප්‍රධානියාගේ දේශපාලනය එම ආයතනයේ සේවය කරන සියලු දෙනා පිළිගත යුතුය ,දෙරණ සම්ප්‍රදාය එය නොවේ.දෙරණ වෙනස් වන්නෙ ඒ නිසයි.දෙරණ මාධ්‍ය ආයතනය යනු තමන්ගේ දේශපාලන මත දැරීමේ උපරිම නිදහස හිමි ස්ථානයකි.කිසිදු අයුරකින් ආයතන ප්‍රධානීන් ඊට මැදිහත් නොවෙයි.මාධ්‍යවේදියෙක්ට වඩාත්ම වටින්නේ එම නිදහසයි.නමුත් ඒ නිදහස අපි හරි විදිහට තේරුම් ගත යුතු නැද්ද.

අද වීරයන් සේ හැසිරෙන ඇතැම් මාධ්‍ය ත්‍ර#ස්තවාදීන්ට එරෙහි යුද්ධයේදී තොරතුරු වාර්තා කළ අයුරු අපට මතකය.එදා ඔවුන්ට එසේ කරන්නට සිදු වූයේ ඔවුන්ගේ උවමනාවෙන් නොවන බවද අපි දනිමු.එම මාධ්‍ය ආයතන වල සේවකයින් මාධ්‍යවේදීන් කොතරම් අසරණව තමන්ගේ හිතට විරුද්ධව ඒ පුවත් වාර්තා කලේද යන්න ඔවුන්ගෙ හෘද සාක්ෂිය සාක්ෂි දරනු ඇත.සමහර මාධ්‍ය ආයතන අශීලාචාරලෙස දේශපාලන මතවාද ගොඩ ගොඩනගන කොට ඒවා වෙනුවෙන් අකැමැත්තෙන් හෝ කටයුතු කරන්නට එකී මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට සිදුවූ බව අපි දනිමු.නමුත් දෙරණ සම්ප්‍රදාය එය නොවේ.දෙරණ වෙනස් තැනක් වන්නේ ඒ නිසයි.

දෙරණ ආයතනය තුළ අපිට සර්ලා මැඩම්ලා බොස්ලා හිටියේ නැත .හැම කෙනෙක්ටම නම කියා කතා කළ හැකි පරිසරයක් එහි නිර්මාණය කර තිබුණි.අපේ ලොක්කන්ගෙ මේස ඉදිරියේ තනතුරු නාම නැත,අපේ ලොක්කන්ගෙ කාර්යාල කාමර ඉදිරිපිට තනතුරු නාම නැත .ඕනෑම මොහොතක අපේ ලොක්කන්ව හමුවීමට,එසේ හමුවී තමන්ගේ හිතේ තියෙන විරෝධතාවය හෝ එකඟතාවයන් ප්‍රකාශ කිරීමට නිදහස ඇත.එම අයිතිය දෙරණේ ඉතාම සුළු සේවකයාගේ සිට සෑම කෙනෙකුටම ඇති අයිතියකි. දෙරණ යනු එහෙම තැනකි.

දෙරණෙන් මාධ්‍ය ජීවිතය ආරම්භ කරන කෙනෙක් ඒ මනුෂ්‍ය ගුණාංග සමග එළියට යනවා සේම වෙනත් තැනක සංස්කෘතියකට හුරු වුණු කෙනෙක් දෙරණට ඇතුළු වුනොත් ඒ එන්නේද තමන්ගේ සංස්කෘතික හුරුවද සමඟය.ඔවුන්ට දෙරණ සංස්කෘතියට හුරු විය නොහැකිවුවහොත් ඔවුන් නිසා දෙරණ ජීවගුණය ගිලිහී යාම ද බලාපොරොත්තු විය යුත්තකි.මගේ විවේචනය එයයි.එවැනි සිදුවීම් ඕනෑ තරම් ඕනෑම තැනක සිදුවිය හැක.නමුත් එය සිදුවන තුරු නිහඬව සිටීම මගේ ක්‍රමය නොවේ.පෙනෙන දේ දැනෙන දේ ප්‍රකාශ කිරීම වරදක් යැයි මම නොසිතමි. දෙරණ නොව වෙනත් මාධ්‍ය ආයතනයක වුව මට පෙනෙන දේ මම ප්‍රකාශ කරමි.ඒ මගේ අයිතියයි.

මාධ්‍යවේදියකු බලාපොරොත්තු වන මාධ්‍යවේදියකුගේ සිහිනය වන නිදහස උපරිමයෙන් විඳිය හැකි හොඳම තැන දෙරණ බව මම දනිමි.ඒ නිදහස ලබාදී ඇති ඉහළ කළමනාකාරිත්වය තමන්ගේ සේවකයාව සියයට පන්සීයක් විශ්වාස කරන බව මම දනිමි.ඒ විශ්වාසය පලුදු නොකිරීම දෙරණ සෙවණේ හැදී වැඩෙන සියලු දෙනාගේ යුතුකමක් යැයි මම විශ්වාස කරමි.බොරදියේ මාළුබාන උදවියට නැවත අවධාරණය කරමි, ඩිල්කා සමන්මලීට කිසිදු විටෙක දෙරණ විවේචනය කරන්නට අවශ්‍යතාවයක් නැත.නමුත් පොදුවේ හුදකලා සිදුවීම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන විවේචනයන් ගැන අදහස් දැක්වීමට දෙරණෙ සේවකයෙකු නොවන කෙනෙකු හැටියට මට අයිතියක් ඇත.ඒ මගේ පුරවැස් අයිතියයි.එය අවභාවිත කරමින් දෙරණට මඩ ගසන්නට ඇතමුන් දරන උත්සාහය මම පිළිකුලෙන් හෙළා දකිමි.

ඩිල්කා සමන්මලී 2025/04/26

ප.ලි. – මුහුණුපොතේ සටහනක් තබා එය කියවන ලෙසට දන්නා කියන අයව ටැග් කිරීම මගේ ක්‍රමය නොවේ.මා ලියන දේ,පළකරන දේ කියවන නොකියවන එක මම කිසි දිනක අදාල කර නොගනිමි.නමුත් මා සමගම රැකියාව කර ඉවත් වූ සමහරු,තම අරමුණු ඉටු කරගන්නට අපොහොසත් වූ සමහරු මගේ මිතුරන් නොමග යවන නිසාම මෙම පෝස්ටුව මා විශ්වාස කරන,ගරු කරන,ආදරය කරන කිහිප දෙනෙකු අතර බෙදාගනිමි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: