hit counter

2025 සැප්‍තැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:11



මෑත කාලීනව වඩාත් කතාබහට ලක්වූ සිනමා නිර්මාණයකි ”සූර්යා”.

චිත්‍රපටය තිරගත වීමට කල්තියාම ඒ පිළිබඳව සිනමා රසවතුන් අතර පැවතියේ මහත් උනන්දුවක් බව නොරහසක්.

බොහෝදෙනා තුළ පැවති අසීමිත කුතුහලයම, චිත්‍රපටය තිරගත වීමට පෙර සිටම ප්‍රතිචාර ලැබීමට තරම් හේතු කාරණා වුණා කිවහොත් නිවැරදියි.

සූර්යා මේ වන විට දින 75 සම්පූර්ණ කර අවසන්.

එවන් පසුබිමක ඕනෑම කලා නිර්මාණයකට පොදු වූ විවේචන, සූර්යා කෙරෙහිද එල්ල වෙමින් පවතිනවා.

ඉන් එකකි, චිත්‍රපටය අසාර්ථක බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්.

එයාකාර සටහනකට චිත්‍රපටයේ නිෂ්පාදක, ජනප්‍රිය දේශක දිනේෂ් මුතුගල පිළිතුරු සටහනක් තබා තිබුණා.

එම සම්පූර්ණ සටහන පහතින්,

”ආදායම මිලියන 100 පසුකරමින් සිටින “සූර්යා” අසාර්ථකයැයි කියා ඇති පෝස්ටුවක් දුටුවෙමු..!

සූර්යාට දින 75 සම්පූර්ණ වන්නේ අද ය. දින 75ක් සිනමා නිර්මාණයක් පැවතීම කෙබඳුදැයි දන්නේ සිනමාවට සම්බන්ධ අයෙක් ම ය.
මේ වන විට දර්ශන වාර 120 කට ආසන්න ප්‍රමාණයක් Housefull ය.

මෑත භාගයේ ආසන්න වසර ගණනාවක් තුළ Housefull වී නොමැති සිනමා ශාලා කිහිපයක්ම ඒ අතර ය. විශේෂයෙන්ම කුරුණෑගල, සඳලංකාව වැනි පැරණිම සිනමා ශාලා ද ඒ අතර වේ.

මිනුවන්ගොඩ විජය සිනමා ශාලාව වැනි සිනමා ශාලා කිහිපයක්ම විවෘත වූ පසුව පළමුවෙන්ම Housefull වූ⁣යේ සූර්යාගෙනි.

“සූර්යා” ඉකුත් දින කිහිපය ඇතුළත ප්‍රේක්ෂකයන් එක්ලක්ෂ අනූපන්දහස ඉක්මවූ දැවැන්ත ප්‍රේක්ෂක ජන ගඟක් එක් වූ මෑත කාලයේ වේගවත්ම ප්‍රේක්ෂක වැළඳගැනීමක් පෙන් වූ නිර්මාණයයි.

මේ අමුණා ඇති “අසාර්ථක” කතාව සින⁣මාවේ මාෆියාවයි. මේ මාෆියාව විසින් ලාංකේය සිනමාවම වෙලාගෙන ඇති බව කිව යුතුම ය. ⁣

මේ මාෆියාවේ අරමුණ, තමන් යැපෙන කණ්ඩායම් කිහිපයක් අතර පමණක් නිර්මාණ රඳවා ගැනීමත්, නව පිරිස් වලට එකී අවස්ථාව ඇසිරීමත් වේ.

මේ මාෆියාව සිනමාවේ පමණක් නොවේ. ටියුෂන් වල ද එසේ ම ය. එහෙයින් අපට මේවා හොඳින් හුරු පුරුදු ය.

සිනමා නිර්මාණය පිළිබඳ පැසසුම් මෙන්ම ව්වේචන තිබිය හැක. එය සාමාන්‍ය දෙයකි. එය අප ද සමසිතින් බාරගන්නා දෙයකි.

නමුත් ආදායම් අතින් සහ ප්‍රේක්ෂක සංඛ්‍යාව අතින් අතිශය සාර්ථකත්වයට පත් නිර්මාණයක් මෙසේ හෑල්ලු කරන්නට උත්සාහ දැරීම අතිශය කුහක මානසිකත්වයක යටි අරමුණක් බැව් කිව මනා ය.

සිනමාවෙන් නිශ්පාදකවරු ඉවත් වන්නේ ද, නිශ්පාදකවරුන්ගේ ඉහළ හිගයක් ඇත්තේ ද, මෙවන් මඩ ප්‍රචාර පතුරුවන “Fake profile” වලින් පෙනී සිටින, සිනමාවේ සැඟවුනු මාෆියාවේ ගෝඩ් ෆාදර්ලා නිසා ය.

සිනමාවට නිශ්පාදකවරු අවැසි කාළයේ, එකී සිනමාවට, සිනමාවාර 120 ට ආසන්න ගණනක් Housefull කළ නිර්මාණයක් දායාද කළ නිශ්පාදකවරයෙක්ව රැකගන්නවා විනා මෙවන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිනමාවම මළ බැඳීමට ලක් කරවීම අතිශයින් කණගාටුදායක ය.

අවසානයේ කියන්නට ඇත්තේ මෙය ය.

“සූර්යා” අපගේ පළමු නිශ්පාදනයයි. තරුණ පරපුර වල්මත් නොවන, මව්වරුන්ට පුතුන් සමගත් පියවරුන්ට දියණියන් සමගත් එක්ව නරඹන්නට හැකි, සුජාත නිර්මාණ ඉදිරියේදීත් අප සැලසුම් කර ඇත්තෙමු.

ඒවාටද මෙම ගල් මුල්ම එල්ලවිය හැක. අපේ ශක්තිය අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවයි. ඔබේ ආදරය අපේ ශක්තියයි.

මෙවන් පිළිකුල් සහගත මඩ ප්‍රචාර සහ කුමන්ත්‍රණ පරදා සිංහල සිනමාවේත් රටේ උන්නතිය උදෙසාත් ඔබේ ආදරය සහ සහයෝගය අප සෙනෙහසින් බලාපොරොත්තු වන්නෙමු. ඔබට ජය. සිංහල සිනමාවට ජය..!

දිනේෂ් මුතුගල
සූර්යා නිශ්පාදක…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: