hit counter

2025 සැප්‍තැම්‍බර් මස 21 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:11



ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් අත්වන ජය පරාජය හේතුවෙන් ඇති වන දුක සතුට හොඳට හුරු පුරුදුය. එහෙත් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ආසියානු කුසලානය සඳහා අබුඩාබි ක්‍රීඩාංගණයේ දී ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති තීරණාත්මක තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුවත් එම ජය සමරන්නට අපේ ක්‍රිකට් කණ්ඩායමට හා ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට පමණක් නොව මුළු මහත් ලෝකවාසී ක්‍රිකට් ප්‍රේමීන්ට හැකියාව නොලැබුණේ හදවත් කම්පා කළ පුවතක් හේතුවෙනි. ඒ, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කෝඩුකාරයා ලෙස හැඳින්විය හැකි 22 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ ගේ පියා වන සුරංග වෙල්ලාලගේ ගේ හදිසි අභාවය සැලවීමත් සමඟිනි.

51 හැවිරිදි සුරංග නිරෝෂන් වෙල්ලාලගේ මොරටුව, ෆ්‍රැන්සිස්කු පෙදෙසේ පිහිටි සිය නිවෙසේ සිට තම පුතු ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කළ පළමු තරගය වූ ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැති තරගය රූපවාහිනියෙන් නරඹමින් සිට ඇත. ඒ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේ යෙදෙන්නට ආසන්නයේදී රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටි සුරංග ජලය පානයට නැඟිට යාමේදී හදිසියේම පපුව අල්ලාගෙන බිම වාඩි වී ඇති අතර එසැණින් ඔහුගේ බිරිය සහ පුතකු එක්ව සුරංග පාණදුර මූලික රෝහලට ඇතුළත් කළත් ඒ වන විටද සුරංග මෙලොව හැරගොස් සිටියේය. ඔහුගේ මරණයට හේතුව ලෙස පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ දීර්ඝකාලීන රෝගී තත්ත්වයක් සහ හදිසියේ ඇතිවූ හෘදයාබාධයකි.

ශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගයේ අවසන් පන්දු වාරය යැවීමට කැඳවූ දුනිත්ගේ පන්දුවාරයේදී ඇෆ්ගන් ක්‍රීඩක මොහොමඩ් නබි පිට පිට පන්දු පහකදී එල්ල කළ හයේ පහර පහෙන් දුනිත් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ද ප්‍රේක්ෂකයන්ද තිගැස්සී සිටි ආකාරයක් දිස් විය.

වයස අවුරුදු 19ක් වැනි කුඩා වයසකදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නට තරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ‘‘වෙල්ලා‘ නමින් ප්‍රකට දුනිත් වෙල්ලාලගේ මෙරට ක්‍රීඩාවට දායාද කිරීමේ තිරය පිටුපස සිටි යෝධ ශක්තිය ඔහුගේ ආදරණීය පියාණන් වූ සුරංග වෙල්ලාලගේ බව මොරටුවේ පමණක් නොව ක්‍රිකට්වලට හිතැති සැවොම දන්නා කරුණකි.

සිය පුතු එලෙස ජාතික කණ්ඩායමට ඔසවා තැබීමට තරම් අපමණ වූ කැපවීම් කළ සුරංග වෙල්ලාලගේද අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මොරටුව වේල්ස් කුමර විදුහලෙන් ක්‍රිකට් අත්පොත් තබා ඇති සුරංග මැදපෙළ පිතිකරුවකු ලෙස දස්කම් පාමින් 1992 වසරේ වේල්ස් කුමර විදුහලේ 19න් පහළ පළමු පෙළ කණ්ඩායමේ නායකත්වය දරා පසුව මොරටුව ක්‍රීඩා සමාජය, මොරටුව සෙබස්තියන් නයිට්ස් සහ කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය ඇතුළු මෙරට පළමු පෙළ අන්තර් සමාජ තරගවලටද ක්‍රීඩා කර ඇත. සුරංගගේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ සිහිනය බොඳව ගොස් තිබුණේ ඔහුගේ පියා ද හදිසියේ මියයාම හේතුවෙනි. සිය පුතු ජාතික කණ්ඩායම නියෝජනය කළ මුල් අවස්ථාව ගැන සුරංග ද වරක් මාධ්‍යයට මෙලෙස අදහස් දක්වා තිබුණි.

“පුතාට අවුරුදු 19දී වගේ ජාතික කණ්ඩායමේ ස්ථානයක් ලැබෙයි කියා බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒ අවස්ථාව පුතාට අවුරුදු 21ක් 22ක් ගියාම ලැබෙයි කියලයි හිතුණේ. එදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පුතා තරග කළ පළමු තරගයේම පළමු ඕවර් දෙකට ලකුණු 21ක් ගැහුවම මට උණ වගේ ආවා… හැබැයි ඉන්පසුව පැවැති තරගවලදී පුතා දැක්වූ දස්කම් ගැන නම් මට පුදුම සතුටක් තියෙන්නේ.“ඒ සුරංග සිය පුතුගේ ක්‍රිකට් දිවිය ගැන මොන තරම් සිතන්නට ඇද්ද යන්න සක්සුදක් සේ පැහැදිලි වන වදන්ය.

දුනිත් මොරටුව සෙබස්තියන් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සමයේ මෙන්ම පසුව මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලීය කණ්ඩායම නියෝජනය කරමින් ඔහු මුහුණ දුන් සෑම පාසල් ක්‍රිකට් තරගයක්ම ක්‍රීඩා පිටියේ ඈත කොනක ගසක් යටට වී කිසිදු හාහූවක් නැතිව නැරඹීම සුරංගගේ සිරිතක් වී තිබිණි.

සිය වැඩිමහල් පුතුගේ ක්‍රිකට් දිවිය ඔපවත් කළ සුරංග වෙල්ලාලගේ දුනිත්ගේ මෙන්ම සෙසු දරුවන් දෙදෙනාගේද ක්‍රීඩා දිවිය ආලෝකවත් කරන්නට කැපවී තිබිණි. ඒ අනුව දුනිත්ගේ එක් සහෝදරයෙක් 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමටද සෙසු සහෝදරයා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉහළටම ඔසවා තැබීමට ද සුරංග මහත් සේ කැපවීමක් කළ පියෙකි.

සුරංග වෙල්ලාලගේ සමඟ මොරටුව වේල්ස් කුමාර විදුහලේ සමකාලීන තවත් දක්ෂ ක්‍රීඩකයකු වූ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ දොරටුව අබියසට ගිය සුරංග විජේනායකගේ අභාවය ද මීට මාස කීපයකට කලින් මෙවැනිම වූ හෘදයාබාධයකින් සිදුවීම දෛවෝපගත ඛේදනීය තත්ත්වයකි.

අමිල මලවිසූරිය (සිළුමිණ)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: