hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 17, පෙ.ව. 12:02



මේ දිනවල සමාජ මාධ්‍යය තුළ හුවමාරු වෙන සටහනක් නිසා අක්කා නගෝ දෙන්නෙක් ගැන වැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා.

අක්කා තමයි මුලින්ම කලාවට එන්නේ.

නමුත් අක්කා කලාවෙන් ඉක්මනින්ම සමුගෙන යද්දී නංගි කලා ක්ෂේත්‍රයට එනවා.

නංගි නම් කලාවෙන් අක්කට වඩා ලොකු දුරක් යනවා.

මේ අක්කා සහ නංගි තමයි ධනුෂිකා වීරප්පෙරුම සහ ඩිලුක්ෂි කාවින්ද්‍යා වීරප්පෙරුම.

එහෙම කිව්වට අක්කා නම් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වුණේ ෆේනු වීරප්පෙරුම නමින්.

ඇය දැන් ෆේනු රණතුංග නමින් වෙනස් වෙලා.

ඒ ඇය විවාහ වී සිටින්නේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අර්ජුන රණතුංගයන්ගේ පුතු වූ ධ්‍යාන් රණතුංග සමඟ නිසා.

අද වෙද්දී ඇ‍මරිකාවේ ජිවතවෙන ෆේනු ගැන සහ ඇගේ සොයුරිය ගැන සමාජ මාධ්‍යය තුළ කතාබහක් ඇතිවෙලා තියෙන නිසාත් ඒ ගැන දැනෙන හැඟෙන දේ දැනගන්න ඇය පුවත්පතකට මෙසේ අදහස් දක්වා තිබෙනවා.

කොහොමද ජීවිතේ,මේ කාලයේ වැඩි ඉඩක් දීලා තියෙන්නේ මොනවටද?

මේ දවස්වල වැඩි කාලයක් ගත වෙන්නේ මගේ පුතා සහස් එක්ක. සහස් ඉපදිලා එයාට අවුරුද්දක් ලැබුවා විතරයි. එයා හරිම දඟයි. එක තැනක ඉන්නත් බැහැ. ඇවිදින්න ඕනේ. එයත් එක්ක දවස තිස්සේ එහෙට මෙහෙට දුව දුව කෑම කවන එක තමයි මේ දවස්වල ජීවිතේ වැඩි හරියක්ම වෙන්නේ.

කාලෙකට පස්සෙ අක්කා නගෝ ගැන සමාජ මාධ්‍යය තුළ කතාබහක් ඇතිවෙලා. ඒ දේවල් දකිද්දි මොකද හිතුණේ?

ඔව්. කාලෙකට පස්සේ සමාජ මාධ්‍යය ඔස්සේ දැක්කම චුට්ටක් ලැජ්ජත් හිතුණා. හැබැයි හරිම ලස්සනට මුහුණුපොතට නංගියි මමයි ගැන සටහන ලියලා තිබ්බා. ඒ සටහන තබපු කෙනාටත් ස්තුතියි කියන්න ඕනේ.

අද නංගි රටේ ජනප්‍රිය චරිතයක්. එ් ගැන මොකද හිතෙන්නෙ?

නංගි නම් සෑහෙන ජනප්‍රියයි. එයා මේ තැනට එන්න සෑහෙන කාලයක් මහන්සි වෙලා වැඩ කළා. එයා ආව ගමන දිහා සහ අද එයා ඉන්න තැන ගැන හරිම ආඩම්බරයි. එයාගේ රඟපෑම ගැන වචනවලින් කියන්න දෙයක් නැහැ. හරිම තාත්වික විදිහට එයාට ලැබෙන නිර්මාණවලට එයා එයාගේ උපරිම කැපවීම කරනවා. මම හිතනවා ඉදිරියටත් තව තවත් එයා ජනප්‍රිය වෙයි. එයා කරන දේ වෙනුවෙන් මහන්සි වෙන කැපවෙන චරිතයක්.

ෆේනු තමයි කලාවට මුලින්ම එන්නෙ. අද වෙද්දී කලාවෙන් ඈත්ව ගත කරන ජීවිතේ කොහොමද?

මම තමයි මුලින්ම කලාවට ආවේ. මම ආවෙත් උදයකාන්ත වර්ණසූරිය මහතාගේ චැලෙන්ජර්ස් ෆිල්ම් එකෙන්. එතැනින් පස්සේ ගොඩක්ම මම කළේ ප්‍රවෘත්ති නිවේදනය සහ වැඩසටහන් ඉදිරිපත් කිරීම්. ඊට පස්සේ ටෙලි නාට්‍ය තුන හතරකට සහ වෙළඳ දැන්වීම් වගේම මියුසික් වීඩියෝ කළා. ඊට පස්සේ මම ගුවන් සේවිකාවක් වුණා. ඒකත් එක්ක මට රඟපාන්න කාලයක් තිබ්බේ නැහැ.

හිතෙන්නෙ නැද්ද ආයේ රඟපාන්න?

එහෙම අදහසක් නැහැ. දැන් ඉතින් නංගි ඉන්නවනේ. නංගි අපේ මුළු පවුලටම ඇති වෙන්න රඟපානවා. ආයේ අපි කවුරුත් ආසාවකටවත් රංගනයට එන්න ඕනේ නැහැ. නංගි රංගනය කියන දේ හොඳින්ම කරනවා.

අක්කටයි නංගිටයි එකම නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවද?

මම හිතන්නේ නැහැ එහෙම අපි දෙන්නටම එකම නිර්මාණයකට ආරාධනා ලැබෙයි කියලා. අපි දෙන්නා ගත්තොත් එකිනෙකාට හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. එහෙම ඇරියුමක් ලැබුණත් මම දන්නේ නැහැ මම කරයිද කියලා. මම ඇත්තටම දැන් රංගන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ගොඩක් කල්. මට ආයේ එතැනට එන්න අමාරුයි. රඟපාන එක ලේසි නැහැ. සෑහෙන අමාරු වැඩක්. මිනිස්සුන්ට ටීවී එක බලද්දී හිතෙනවා මේක හරි ලේසි දෙයක්නේ කියලා. අම්මෝ ඒක පොඩ්ඩක්වත් ලේසි දෙයක් නෙවෙයි. ඉස්සර මට චරිතයක් ලැබුණාම ඒක කියවලා කියවලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මුහුණේ ඉරියව් ගන්නේ කොහොමද වොයිස් එක ගන්නේ කොහොමද කියන එක හිතලා තමයි ඒ චරිතය භාර ගන්නේ. ඒ නිසා මම හිතන්නේ නැහැ මට ඒක ආයේ කරන්න පුළුවන් කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: