hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 30, පෙ.ව. 12:02



ෆින්ලන්තයේ ජීවත් වෙමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක නිවසේදී ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. 

හිරුණි අනුවිලි ගංගොඩවිල නම් ඇය  එරට දිගු කලක් පදිංචිව සිටි බවත් සැමියා තිලක් නමැත්තෙකු බවත් කියැවෙන අතර ඔවුනට දරුවන් තිදෙනෙකු සිටි බවද පැවසිණි.

හෙල්සින්කි නුවර වැන්ටා ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය ඝාතනය කර ඇති බව හැඳුනාගෙන ඇත්තේ අසල්වාසියෙකු විසින් මහල් නිවාස ඒකකය ආසන්නයේ විශාල ලේ පැල්ලමක් දැක ඇතිවූ සැකයට නිවස පරීක්ෂා කිරීමේදී බව පැවසිණි.

ෆින්ලන්තයේ‍ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයක වාසය කළ ඇයගේ ඝාතනය පසුගිය 19 බදාදා රාත්‍රි 8ට පමණ සිදුවී ඇති බව ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඝාතනය සිදු කර ඇත්තේ ඇගේ සැමියා බවට නිල නොවන ආරංචි පවතී.

නමුත් ෆින්ලන්ත නීතිරීති අනුව ඝාතන සැකකරුවන්ගේ අනන්‍යතාවන් වරද ඔප්පුවනතුරු ප්‍රසිද්ධ කිරීම තහනම්ය.

පුවත්පතේ සඳහන් වන්නේ ඝාතනය සිදුවන්නට පෙර කාන්තාව හා නිවසේ ජීවත්වූ ඝාතන සැකකරු අතර ඇති වූ ප්‍රචණ්ඩත්වයක ප්‍රතිඵලයක් වශයෙන් ඝාතනය සිදුව ඇති බවයි.

ආරංචිය දැනගෙන ඊට ප්‍රතිචාර දක්වමින් පොලිසිය සහ ගලවාගැනීමේ සේවා පුද්ගලයින් එම ස්ථානයට ගොස් ප්‍රථමාධාර ලබා දී ඇතත් පහරකෑමට ලක්වූ හිරුණි එම ස්ථානයේදීම මිය ගොස් සිටි බව වාර්තා කර තිබෙනවා.

පොලිසිය මියගිය කාන්තාවගේ සිරුර  රැගෙන ගොස් ඇති අතර සැකකරු මහල් නිවාසයේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, ඝාතන සැකකරුගේ අනන්‍යතාව හෙළි නොකළ පොලිසිය ඔවුන්  දෙන්නා අතර අඩදබර කාලයක සිට පැවති බවට පමණක් තොරතුරු හෙළි කර ඇත.

 මියගොස් සිටි හිරුණිගේ  ‘හිරුනීස් නොදර්න් ලයිෆ්’ නම් යූ ටියුබ් නාලිකාව වීඩියෝ කිහිපයක් පළ කර ඇති අතර ඒ නමින්ම යුත් ටික්ටොක් නාලිකාව වීඩියෝ රාශියක් පළ කර ඇත.

ඒවායේ ඇගේ සැමියා හා දරුවන්ගේ රූප රාමුද තිබෙනවා.

මෑත කාලීනව ටික් ටොක් හා යූටියුබ් ඔස්සේ ෆින්ලන්තයේ සිට විවිධ තොරතුරු සිංහලෙන් ගෙන ආ ඇයට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල රසික පිරිසක් සිටි බවද පැවසේ.

හිරුණි පින්ලන්තයේ රැකියාව ලෙස හෙදි වෘත්තියේ යෙදෙන්නියක වන අතර ඇයගේ ඝාතනය සිදුවන්නේ පිහියකට කැපී අධික රුධිර වහනයෙන් බවට නිල නොවන තොරතුරු ලැබී තිබෙනවා.

ඇය එදින රාත්‍රී සේවා මුරය සඳහා යාමට සූදානමින් කෑම ගන්නා අවස්ථාවක මෙම ඝාතනය සිදුව ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.

හිරුණි ගංගොඩවිලගේ සැමියා තිලක් මෙම ඝාතනයට සැකකරන බවට එරට වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් තොරතුරු පළ කර ඇති මුත් නිල වශයෙන් තවම එරට මාධ්‍ය ඒ ගැන සඳහන් කර නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: