2025 ජූනි 02, පෙ.ව. 12:02
මරණයේ වේදනාව දැනෙන්නේ මාරයා හා නික්ම ගිය අයට නොව ජීවත් වන්නන්ටය.
එය සදාතනික වේදනාවක් වන්නේ ගැඹුරු බැඳීමකින් හදවත්වලින් බැඳී උන් අයටය. හෙළ සිනමා රාජිනිය මාලිනී ෆොන්සේකාගේ වියෝව නමින් උපන් කඳුළු බිඳු තවමත් බොහෝ හදවත්වල තැවරී ඇත්තේ එනිසාය.
මාධ්‍ය ඉදිරියේත් කැමරා කාච ඉදිරියේත් කඳුළු වගුරවමින් මාලිනියගේ වියෝවෙන් තැවුණු, හඬා වැටුණු බොහෝ දෙනකු අතර ඇයගේ අහිමි වීමේ අව්‍යාජ වේදනාව නිහඬවම දරාගත් පිරිසක්ද වෙති. ඔවුහු මාලිනිය සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත; ප්‍රසිද්ධියේ ඇයගේ ගුණ වැයුවේ නැත; එහෙත් අවැසි සෑම තැනකදීම මාලිනිය හදවතින්ම වැලඳගෙන ඇය අත්නොහැරම සිටියහ.
ඒ අතරින් නිලූකා ශ්‍යාමලි පෙරේරා (50) වසර 18ක් මුළුල්ලේ මාලිනියගේ සෙවණැල්ල මෙන් ඇය සමඟ සිටියාය. මාලිනිය සමඟ බැඳුණු මතක විමසන්නට අප නිලූකා අමතද්දීත් ඇය සිටියේ ඒ මතක අතර වේදනාවෙන් සැරිසරමිනි.
“මගේ ගම තඹුත්තේගම. මම රැකියාවක් හොයමින් ඉන්න කාලෙක මාලිනී මිස් දන්න කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි මිස් ළඟට ආවේ. ඒ 2007 අප්‍රේල් මාසයේ. එතකොට මිස් හිටියේ මාලඹේ ගෙදරක. එදා මාලනී මිස් මාව ආදරෙන් පිළිගත්තා. මාලිනී මිස් හරිම කරුණාවන්ත කෙනෙක්. මම හිත රිද්දන, උඹ බං කියලා කතා කරන අය ළඟ ඉන්න කැමති නැහැ. ඒත් මාලිනී මිස් කවදාවත් මට එහෙම කතා කරලා නැහැ. එදා පළවෙනි දවසේ මිස් මාව පිළිගත්ත. ඒ ආදරේ එන්න එන්නම වැඩි වුණා මිසක් මේ ගත වුණු අවුරුදු 18න් එකම දවසකවත් මිස් මගේ හිත රිදවලා නැහැ. ඒ නිසාමයි මිස් නැති වේදනාව මේ තරම්ම හිතට දැනෙන්නේ.
“අපේ මිස් එක එක ජාතියේ කෑම කන්න ආසයි. මට ඒ හැම දේම හදන්න පුළුවන් නිසා මිස් කියන්නේ මොනවද, මම ඒක එයාට හදලා දෙනවා. ඒත් කොහේ හරි ගිහින් රස කෑම වේලක් කාලා ආවත්, කවුරුහරි කෑම වේලක් ගෙනාවත් මිස් කියන්නේ නිලූකාගේ කෑම වගේ රහ නෑ කියලයි. මිස් වැඩිපුරම කැමති ගමේ කෑමබීමවලටයි. අසනීපෙන් හිටිය අන්තිම දවස්වල මිස්ට බත් කන්න දුන්නේ නැහැ. ඒත් මම ළඟට ගියාම මට බත් උයල දෙන්න කිවුවා. මට හරිම දුකයි, වෛද්‍ය උපදෙස් නිසා මට ඒක කරන්න බැරි වුණා නේ මගෙ මිස් වෙනුවෙන්. මිස් අසනීප වුණාට පස්සේ එයා වෙනුවෙන් කෑමබීම හදද්දී මම වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැද්දා. එහෙම කළේ මිස්ට ආදරේ නිසා, එයාව ඉක්මනින්ම සනීප කරගන්නයි. ඒත් අපි නොහිතපු වෙලාවක අපේ මිස් අපිව දාලා ගියා.”
නිලූකාට නොහඬා ඒ මතක සිහි කළ නොහැකිය…
“මම ආව මුල් කාලෙත් මිස් අසනීප වුණා. ටික දවසක් හොස්පිට්ල් ඉඳලයි සනීප වුණේ. ඊට පස්සේ මිස් හදවත් සැත්කමට ඉන්දියාවේ ගියා. මිස් ඒ ගමන ගියේ එයාගේ යාළුවා රේඛා මිස් එක්කයි. වරින්වර මිස්ගේ අසනීප තත්ත්වය මතු වුණත් ප්‍රතිකාර අරන් සනීපෙන් හිටියා. 2012 අවුරුද්දේ වගේ තමයි අපි මාදිවෙල මේ ගෙදරට ආවේ.
“මිස් ආස වුණේ ගාර්ඩ්න් එක කොළ පාටට තියෙනවා දකින්නයි. ඒ නිසාම කොළ පාට තියෙන ගස් වර්ග ගොඩක් හිටෙව්වා. ඒ වගේම මිස් මල්වලටත් ගොඩක් ආසයි. මේ ගෙදරට ආව මුල් කාලේම අපි ගෙදරට ඕනෑ එළවළු ටික වත්තෙම වවාගත්තා. අපේ මිස් මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් හරිම ආදරෙයි; කරුණාවන්තයි. මම ආව මුල් කාලේ බළල්ලු පස් දෙනෙක් හිටියා, බල්ලෝ දෙන්නෙක් හිටියා. මිස් එයාලට පුදුම ආදරයක්, කරුණාවක් තිබුණේ. මම මෙහෙදි තමයි දැක්කේ වැඩිම කාලයක් ජීවත් වුණ බළල්ලු. ඒ හැමෝම අවුරුදු 16, 18 වගේ ලොකු කාලයක් ජීවත් වෙලයි මැරිලා ගියේ. දැන් ඉන්න බළලට වයස අවුරුදු 19ක්. හැමෝටම ආදරය, කරුණාව දක්වපු මාලිනී මිස් පිනට දහමටත් ගොඩක් නැඹුරු වුණු කෙනෙක්. කුල දරුවෙක් පැවිදි කරලා උන් වහන්සේගේ අධ්‍යාපනයට අවශ්‍ය වියදම් දිගටම මිස්ගේ බැංකු ගිණුමෙන් යන විදිහට ඒ කටයුතු සලසා තියෙනවා. ඒ කිසිවක් මිස් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් කළ දේවල් නෙවෙයි.”
රටම ආදරය කළ සිනමා රාජිනිය වුවද මාලිනිය ගත කළේ සරල, සැහැල්ලු දිවිපෙවෙතක් බව නිලූකා කියන්නීය. විවිධාකාර අභියෝග හමුවේ නොසැලුණු දිරිය ගැහැනියක වූ මාලිනිය දුර්වල කරන්නට යම් තරමකට හෝ සමත් වූයේ ඇයගේ ගත පෙළූ රෝග පීඩා පමණක්ම වන්නට ඇත.
“ඇය ලෙඩ-දුක් ගැන කම්පා වුණු කෙනෙක් නෙවෙයි. හැම දේකටම උපේක්ෂාවෙන් මුහුණ දෙන ශක්තිමත් හිතක් එයාට තිබුණා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 20 මිස්ට ගොඩක් අසනීප වුණා. එදා රෝහලට ගිය මිස් ආයෙ ගෙදර ආවේ මාර්තු 20 වැනිදා. ඒ වෙද්දි මිස් හිටියෙ ගොඩක් දුර්වල වෙලා. ඇවිදින්නත් අමාරු වුණා. ඒත් මිස් ටික ටික සුව වුණාට පස්සේ ඇවිදින්න පුළුවන් වුණා.”
නිලූකාගේ මුව ආයෙමත් ගොළු වූයේ මාලිනියගේ අවසන් මොහොත ගැන මතකය අවදි කරන්නට හිතට වාරු නැතිවය. වදන්වලට පෙර ඇයගේ මුවින් පිට වූයේ ඉකිබිඳුමකි.
“මේ පාර අසනීප වෙලා මිස් රෝහලේ දවස් පහක්-හයක් හිටියා. අන්තිම දවස වෙද්දි මිස් කතා කළේ අමාරුවෙන්. ඒත් මූණ දිහා හොඳට බලාගෙන කතා කළා. එදා 23 වැනිදා උදේ රෝහලට ගිය මම එදා රෑ හත විතර වෙනකම්ම මිස් ළඟ ඉඳලයි ගෙදර ආවේ. එදා රෑ 12-1 අතර තමයි අපට ආරංචි වුණේ අපේ මිස් සදහටම අපව දාලා ගියා කියලා. ඒක තමයි මම මෙතෙක් ජීවිතේ අහපු මට දරාගන්න ගොඩක්ම අමාරු වුණ දේ. එදා හිතට දැනුණු වේදනාවම අදත් මට දැනෙනවා අපේ මිස් අපි ළඟ නෑ කියලා මතක් වෙන වාරයක් ගානේ.”
“මිස් ගොඩක් ගුණයහපත් කෙනෙක්. ලස්සන මූණක් වගේම එයාට ලස්සන හදවතක් තිබුණා. එයා මට අම්මා කෙනෙක්, සහෝදරියක් වුණා. මගේ ප්‍රශ්න, මගේ දරුවන්ගේ ප්‍රශ්න ඒ හැමදේකදිම මිස් මට ගොඩක් උදව් කරලා තියෙනවා. මගේ පෞද්ගලික ජීවිතේ හැම දේම මිස් දන්නවා. උදවු ඕන වුණු හැම තැනකදිම මිස් මට උදවු කළා. ඒ වගේම අවවාද, උපදෙස් දීලා මගේ හිත ශක්තිමක් කළා. කවදාවත් මාව තනි කළේ නැහැ. ඒ වගේම මමත් මිස් වෙනුවෙන් කළේ රැකියාවකට වැඩි දෙයක්. මගේ අම්මට වැඩියෙන් මම මිස්ට ආදරේ කළා. මට පුළුවන් උපරිමයෙන් මම මිස්ව බලාගත්තා කියන සතුට විතරයි අද මට තියෙන්නෙ. මම එයාට කැව්වා, පෙවුවා. ඒ කිසිම දෙයක් වධයක්, කරදරයක්, මහන්සියක් විදිහට කොයිම වෙලාවකදිවත් මට දැනුණේ නැහැ. අසාධ්‍ය වුණු වෙලාවල මිස්ගේ කැත-කුණු අතගෑවත් මට ඒ කිසිම දෙයක් අප්‍රසන්න වුණේ නැහැ. ඒ තරමටම මම අපේ මිස්ට ආදරේ කළා. ඒ නිසාම මිස්ට අසාධ්‍ය වුණ වෙලාවක වුණත් එයා අපිව දාලා යයි කියලා නිකමටවත් හිතුණේ නැහැ. මම හිතනවා මිස්වත් එහෙම හිතුවේ නැහැ. එයා මරණය ගැන කතා කළේ නැහැ. මමත් බලාගෙන හිටියේ අපේ මිස් මේ පාරත් සනීප වෙලා ගෙදර එයි කියලා. ගියපාර මිස් රෝහලේ ඉඳලා ගෙදර ආව දවසේ මගෙ උපන්දිනය. ඒ නිසා එදා මට ගොඩක් සතුටු දවසක් වුණා. මිස් එක්ක බැඳුණු ලස්සන මතක ගොඩක් මගේ ජීවිතේ තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් මම අද මෙහෙම ඉන්නේ එයා නිසයි. මිස් මගෙ ජීවිතේ වගේම මගෙ දරුවන්ගේ ජීවිත ගොඩනඟාගන්න උදව් කළා. ඒ හැමදේටම මම මිස්ට පින් දෙනවා.”
තමා මෙන්ම මාලිනියගේ ජීවිතය සමඟ බැඳී සිටි කිහිප දෙනෙක්ම සිටි බව නිලූකා කීවේ ඔවුන් සියලු දෙනාටම කෘතඥ වෙමිනි. චන්දික නානායක්කාර, නිල්හාන් සෙනෙවිරත්න මෙන්ම මාලිනියගේ සොහොයුරාගේ පුත් නිලංග (මංජු) සහ ඔහුගේ බිරිය පවිත්‍රා සහ සෙනාලි ෆොන්සේකා මාලිනියගේ ජීවිතයේ අසීරු අවස්ථාවල ඇය අත්නොහැරිය ආදරණීයන්ය. එහෙත් අද ඒ සියලු දෙනාගේ හිත් මත විප්‍රයෝගයේ ගිනි දැල් අවුළුවා මාලිනිය සදාතනික සුව නින්දේය. අයස්කාන්ත රුවින්, කිංකිණි සිනා හඬින්, ලයාන්විත කටහඬින් රටක් වසඟ කළ දෙව්දුව නැති වේදනාව බරපතළ ලෙස දැනෙන්නේ සෙවණැල්ල සේ මාලනිය ළඟම සිටි නිලූකා ඇතුළු ළබැඳියන්ටය.
“හැමදාම උදේට නින්දෙන් අවදි වෙද්දිම මට අපේ මිස් මතක් වෙනවා; ඒ කටහඬ ඇහෙනවා. උදේට අවදි වුණු ගමන්ම මිස්ට තේ එක ඕනේ. අසනීප වෙලා හිටියත් ඒක වෙනස් වුණේ නැහැ. වෛද්‍ය උපදෙස් විදිහට මම මිස්ගේ තේ එක හදලා දුන්නා. අන්තිම දවස්වල මිස් කන්න බොන්න ආස දේවල් ඒ විදිහටම දෙන්න මට බැරි වුණා. එහෙම මිස්ව ගොඩක් පරිස්සම් කළේ එයාගෙම හොඳටයි. ඒත් අන්තිමට අපි පැරදුණා. අපේ මිස් අපිව දාලා ඉරණම් ගමන ගියා. ඒත් ඒ වේදනාව, මිස් නැති අඩුව මගේ හිතේ හැමදාටම තියෙයි.”
නිලූකාගේ හැඬුම්බර වදන් පසක් කරන්නේ විප්‍රයෝගයේ රුදුරු බව වුවද ජීවිතයේ යථාර්ථය එය නොවේද? ‘ලොවැ ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය.’ මළගිය ඇත්තෝ පොතේ එහෙම ලියවී ඇත්තේ ඒ නිසාය.
උපුටා ගැනීම – සිළුමිණ
2025 ජූනි 03, ප.ව. 1:27
2025 ජූනි 03, පෙ.ව. 12:05
2025 ජූනි 03, පෙ.ව. 12:04
2025 ජූනි 03, පෙ.ව. 12:02
2025 ජූනි 02, ප.ව. 3:32
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25