2022 මැයි 08, පෙ.ව. 5:11
ලෝක මව්වරුන්ගේ දිනය අද (08) දිනට යෙදී තිබෙනවා.
එවැනි උතුම් වූ දිනයක ලොවම අම්මාවරුන් දෙස නෙත් යොමා බලා සිටිද්දී දරුවන් පස්දෙනෙකු ජීවත් කරවීම සඳහා වසර 16ක කාලයක් මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන අපූරු අම්මා කෙනෙකු ඒෂියන් මිරර් අපට හමු වුණා.
දඹුල්ල කණ්ඩලම 16 කොටස පදිංචිව සිටින මෙම අපූරු කාන්තාව අම්මා කෙනෙකු පමණක් නොව පියෙකුගේ චරිතයද පණපොවමින් දරුවන්, මුණුබුරන් රැකගැනීමේ පෝෂණය කිරීම සියලු කර්තව්‍යයන් හිස මත දරා අදටද කඳුළු වගුරවමින් සිටින අම්මා කෙනෙක්.
එල්.ජි.බී.සිරිවර්ධන හාමිනේ 53 වියේ පසුවන අයෙකි.
වයස අවුරුදු 17ක් වෙද්දි පවුලේ ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ හිතුවක්කාර වූ විවාහයකට අවතීරණ වූ සිරිවර්ධන හාමිනේ එදා සිට අද දක්වාම විවිධ දුක් කරදර දුක් දෝමනස්සයන් වලට ලක්ව සිටින්නියකි.
ඇය හැඬූ කඳුළින් කතාව ආරම්භ කළේ තම ජීවිතය දරුවන් වෙනුවෙන් කැප කළ බව පවසමින්.
කතාව ආරම්භ කොට අවසන් කළේ ඇය කණ්ඩලම වැවේ සිටින මසුන් නිවන් දකින බව ප්‍රකාශ කරමිනි.
මසුන් ද නිවන් දකින්නට හේතු වාසනා වන්නේ තම කුඩා දරු පැටවුන්ගේ කුස ගින්දර නිවන්නට තම සැමියාට වඩා සහයෝගය ලබා දුන්නේ තමා අතින් මියැදෙන මසුන් බව ප්‍රකාශ කිරීමද විශේෂත්වයකි.
කණ්ඩලම 16 කොටසේ පදිංචිව සිටින මෙම ධීවර අම්මා පළමුව දරුවා බිහිවූ දිනයේ සිට තමාට ආදරය නොමැති සැමියාගේ බේබදුකම නිසා අසරණ වූ කාන්තාවක්.
පොලිස් පොතේ පැමිණිලි කොතෙක්ද යන්න ඇයට අමතකයි.
සෑම පැමිණිල්ලකින්ම ඇයට අවවාද ලබා දී සැමියා සමග එකට ඉන්න උපදෙස් ලබා දීම නිසාවෙන් වරින් වර එම අඹුසැමි ඇසුර නිසා ඇයට සිදු වූයේ සැමියාගේ අවශ්‍යතාවයන් මත තම කුසින් දරුවන් පස් දෙනෙකු මෙලොවට බිහි කිරීම බව ඇය සඳහන් කළේ තම ජිවිත කතාව එළි කරමින්.
දරුවන් මෙළොවට බිහි කළ ද ඔවුන්ගේ කුස ගින්දර නිවන්නට සැමියා අපෝසත් වීම නිසා වසර 16කට අධික කාලයක් විවිධ කුලී වැඩ කිරීම් සහ තවත් වෘත්තින් කිහිපයකද නියැළෙමින්.
දරුවන්ගේ අධ්‍යාපනය, ආවා විවාහ කටයුතු සිදු කර දෙන්නට ඇයට හැකි වී තිබෙනවා.
ජීවත් වීමේ දැඩි අරගලයකට මුහුණ පා සිටින සිරිවර්ධන හාමිනේ පසුව තීරණය කළේ කන්ඩලම ජලාශයේ ධීවර රැකියාව සිදු කිරීමටයි.
එදා සිට අද දක්වා හුලං පිරවූ වාහන ටියුබ් එකකින් බිලි පිත්ත රැගෙන පණුවන් කොටාගෙන වැවේ හතර මායිමෙන් ඇවිදිමින් බිලි බා මසුන් මරා ඒවා අලෙවි කර දරුවන්ට කුසගිනි නිවීම ක්‍රම ක්‍රමයෙන් පිහිනීම පුරුදු වූ ඇය ඔරුවක ආධාරයෙන් දැල් එළිම සිදු කරන්නට වූ බව ඇය හැඬූ කඳුළින් අප සමග තම ජීවිතය ගැන සිහිපත් කළා.
සිරිවර්ධන හාමිනේ කුඩා නිවසක අදටත් මෙම දරුවන් සමග ජීවත් වන්නේ දිනකට වේලක් හෝ දෙකක් ආහාර ගනිමින්.
උදෑසන වැවට යන ඇය මසුන් නොමැති දිනක සිදුවන්නේ කුසගින්නේ සිටීමටයි.
කෙසේ වෙතත් විවාහ වී සිටින දරුවන් කිහිප දෙනෙකුම දරිද්‍රතාවය නිසා අපහසුතා මධ්‍යයේ ජීවත් වන බව ඇය පැවසුවා.
තමන්ගේ එක් දරුවෙකුගේ දරුවාද ජීවත් කරවීම ද ඇයට උරුම වූ තවත් වගකීමක්.
පාසල් වියේ පසුවන තවත් දරුවෙක් තමන්ට මසුන් මැරීම සඳහා උදව් කරන බව නිවස ඉදිරිපිට කුඩා වෙළඳසැලක් දමාගෙන උදේ වරුවේ එම මසුන් අලෙවි කිරීම ඇය සහ පුතාගේ උදව්වෙන් සිදුකරන බව සඳහන් කළා.
තමන්ගේ ජීවිතය අහිමි වන්නට ගිය අවස්ථාවක් මෙන්ම ඇයගේ ජීවිත කතාව පිළිබඳව ලෝක අම්මාවරුන්ගේ දිනයේ ඔරු කදක උඩ වාඩි වී කන්දලම වැවට තම කඳුළු බිඳු වගුරමින් ඇය මෙසේ ඒෂියන් මිරර් අප හා හෙළිදරව් කළා.
“මම දරුවන් පස් දෙනෙකුගේ අම්මා කෙනෙක්. හැබැයි ඊටත් වඩා මට දරුවන් ඉන්නවා. ඒ මගේ දරුවන්ගෙ දරුවන්. හැමෝටම මම ගොඩක් ආදරෙයි. මුළු ගමේම මිනිස්සුසු මට කියන්නෙ පුදුමාකාර අම්මා කෙනෙක් තමයි ඔයා කියලා. සල්ලි මිල මුදල් නැහැ හැබැයි අම්මා කියන වචනෙට මං ගොඩක් ආදරෙයි. මම කවදාවත් සතුට කියන එක දැකලා නැහැ. සැමියාගෙන් ලබන සතුට දැකලා නැහැ. එකම සතුට හැටියට මම දකින්නේ දරුවන්ගේ බඩ පිරවීම් ඔවුන් කුසගින්නේ තියන්නේ නැතුව ජීවත්කරවීම.”
“මාළු අල්ලන එක පව් කියලා මම දන්නවා. කණ්ඩලම වැව ඉස්මත්තේ තමයි මගේ ගෙදර තියෙන්නේ. රස්සා කරා ඒ දරුවන් ජීවත් කරවන්න බැහැ. ඒ නිසා පව් කිව්වත් කමක් නෑ කියලා මම මාළු අල්ලන රස්සාව තෝරාගත්තා. මොකද උදේ පාන්දර හැන්දෑවෙ දැල එළලා ගොඩදාලා මට දරුවන්ගේ වැඩ කරන්න පුළුවන් නිසා. වෙනත් වැඩකට ගියාම දවසේම එතන වැඩ කරන්න ඕන එහෙම වුනොත් මේ පැටව්න්ට ඉගෙනීම් කටයුතු සහ අනිකුත් දේවල් කරලා දෙන්න බැරි වෙනවා. දරුවන්ගේ තාත්තා දැන් වෙනම ඉන්නේ එයා කවදාවත් දරුවන්ට බත් පැකට් එකක් වත් ගෙන්ත් දීල නෑ. සමහර දවස් වලට කඩෙන් ගෙනල්ලා දරුවන්ට පේන්න කනවා දැන් අඩුම තරමේ ගෙදර දරුවන්ට පේන්න නිදාගන්න වත් එන්නේ නැහැ. ඒ තරම්ම මත්පැන් වලට ඇබ්බැහි වෙලා. උදේ පාන්දරම වැවට ගිහිල්ලා දැල දාලා බිලි බාලා වැවේ තඩි ගහලා කොහොමහරි මාළු කිලෝ දෙකක් තුනක් අල්ලගන්නවා. ඒක ගේ ඉස්සරහා තියලා කාට හරි විකුණලා තමයි හාල් බඩු ටික අරගෙන දරුවන්ගේ බඩ ගින්දර නිවන්නේ. මම බඩගින්නේ හිටපු වාර කොච්චර ද කියලවත් මම දන්නෙ නෑ. හැබැයි මම දරුවෝ බඩගින්නේ මැරෙන්නදුන්නේ නැහැ මගේ හයිය හත්තිය තියෙනකං මේ වැඩේ කරනවා.”
“දවසක් මම ඔරුව පැදගෙන යද්දි කිලෝමීටර් දෙකක් විතර වැවේ ගියා. මහ වැස්සකුත් එක්ක හුළඟක් ආවා මට ඔරුව පැද ගන්න බැරි උනා. වැව මැද ඔරුව පෙරලුනා. පෙරලුනු ඔරුවේ එල්ලිලා මම ගොඩක් මහන්සි උනා ජීවිතය ගොඩගන්න. හැබැයි මම හිතුවේ ජීවිතයේ අවසන් වෙයි කියලා. මට මගේ දරු පැටවු උන්ගේ මුහුණු එකිනෙක පේන්න ගත්තා. බලන බලන පැත්තේ වතුර හුළඟත් එක්ක ඇවිල්ලා සටන් කරනවා. ක්‍රමයෙන් ඔරුව ගිලෙන්න යනවා මම අමාරුවෙන් පිීනන්න ගත්තා කොහොම පිනුවද කියලා මම වත් දන්නේ නැහැ. කන්ඩලම වැව මැද තිබුණු දීරා ගිය ගහක මම එල්ලිලා ගොඩ වුණා. තද වැස්සේ ගහ උඩට වෙලා හයියෙන් කෑ ගැහුවා ඒත් මම දන්නවා ඇහෙන්න කෙනෙක් නෑ කියලා. ඔරුව ඈතට උඩුබැලි අතට පාවෙලා පාවෙලා ගිලෙන්න යනවා. මගේ දරුවන්ගේ වාසනාවකට හිතාගන්න බැරුව ඉද්දි ධීවර රස්සාවට ගිහිල්ලා තිබූ කෙනෙක් ඔරුවකින් යනවා මම දැක්කා. මම හයියෙන් කෑ ගහලා එයාව ගෙන්න ගත්තා. පස්සේ එයා මාව ඔරුවට ගොඩ කරගෙන හෙමින් සැරේ ඔරුව පැදල මගේ පෙරළුණු ඔරුව අනිත් පැත්තෙන් ඇදගෙන වැව් තාවුල්ලට ගොඩ වුණා. ඔරුවේ තිබුණු වතුර ටික අයින් කරලා වැස්ස පායන තුරු පැය ගණනාවක් ගොඩ ඉඳලා අරන් ගියපු දැලක් වත් මොනවත් නැතුව හිස් ඔරුවෙන් ජීවිතය බේරගෙන ගෙදරට ආවා.”
“මම ආපු ගමන් බැලුවේ දරුවො ගැන. එයාලා හිතලා තියෙන්නේ ඔරුව පෙරලිලා මමත් මැරෙන්න ඇති කියලා. ගෙදර ඔක්කොමල දරු පැටව් හඬා වැටෙනවා. මං එනකොට හොඳටම රෑ වෙලා. මේ අත්දැකීම අම්මා කෙනෙකුට කවදාවත් විඳින්න ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම අම්මා කෙනෙක් විදිහට කියන්නේ මගේ දරු පැටවුන්ගේ කුස ගින්දර නිවන්න තමන්ගේ ජීවිතය මට කැපකරපු කණ්ඩලම වැවේ මාළු හැමෝම නිවන් දකිත්වා කියලා. හිතකින් නෙවෙයි මාළුන්ගේ පණ ගන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. දරුවො වෙනුවෙන් හැබැයි දරුවන්ගෙනුත් කනගාටුදායක දේවල් මට අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා, ඒ සියල්ලම යටපත් කරගන්නේ නැවැත දරු සෙනෙහස ඉස්මතු කරගෙන මට මොනවත් අවශ්‍ය නැහැ මැරෙන්න කලින් මං ඉන්න කටුමැටි පැල අයින් කරලා යම් මට්ටමකින් හෝ ස්ථිර ගෙයක් හදාගන්න තිබුනොත් ඒ ඇති. හයිය තියෙනකං වැව තියෙනකම් මාළු නිවන් දකිනකම් මට පුළුවන් ජීවත් වෙන්න මේ රස්සාවෙන්.”
2025 පෙබරවාරි 27, ප.ව. 1:35
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:07
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:04
2025 පෙබරවාරි 26, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 25, පෙ.ව. 12:21