2025 නොවැම්‍බර් 13, පෙ.ව. 12:08
උදේම නැඟිටලා මට වැඳලා ගිහින් එන්නම් අම්මේ කියලා ගියේ ආයේ ගෙදර නොඑන්නද මගේ පුතේ යැයි කියමින් තලාව මාරක බස් රථ අනතුරින් මියගිය පසිඳු දිල්ෂාන් සිසුවාගේ මව නඟන අඳෝනා කිසිවකුටත් අසා සිටිය නොහැකි තරම්ය.
පෙරේදා (10) තලාව ජයගඟ ආසන්නයේදී සිදු වූ රිය අනතුරින් පසිඳු මියගොස් තවත් 48 දෙනකු තුවාල ලබා ඇත. බස් රථයේ රියැදුරු සහ රිය සහායක තඹුත්තේගම පොලිස් අත්අඩංගුවේ පසු වූ අතර, පසුව රිය සහායක පොලිස් ඇප මත මුදා හැරිණි. මියගිය පසිඳුගේ දේහය අනුරාධපුර රෝහල් මෘත ශරීරාගාරයේ 11 පෙරවරුව වන විටත් තැන්පත් කර තිබිණි.
පසිඳු මේ වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවකු වන අතර, ඔහු තලාව ජාතික පාසලේ අධ්‍යාපනය ලැබීය. එම පාසලේ උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සාමාන්‍ය පෙළට අදාළ සම්මන්ත්‍රණයක් තලාව ප්‍රාථමික විද්‍යාලයේ පවත්වා ඇත. පසිඳු ඊට සහභාගී වීමට ගොස් නැවත පැමිණෙන අතරතුර මේ අනතුරට මුහුණ දී තිබේ.
මියගිය පසිඳුගේ මව වන ඊ.ජී. යමුනා නිරෝෂනී මහත්මිය සිය පුතුගේ වියෝව ගැන හැඬූ කඳුළෙන් මෙසේද කීවාය.
“සම්මන්ත්‍රණයකට කියලා ගිය මගේ පුතාට වුණු දේ මට දරා ගන්න බැහැ. පුතාට ගෙදර එන්න බැරි වුණා. වෙනදා උදේම නැඟිටින මගේ කොල්ලා අද අම්මා බලන්න නැඟිටලා කුස්සියට ආවේ නැහැ. මගෙ කොල්ලා ඉගෙන ගන්න කියලා ගියේ. ආයේ කවද්ද මගේ පුතේ ඔයා අම්මා බලන්න එන්නේ. මගේ කොල්ලා හොරු අරන් ගියා වගේ. දහදුක් විඳලා කුලී වැඩ කරලා අපි ලොකු මහත් කරපු ළමයා. මගේ කොල්ලා මෙහෙම දකින්න මම පව් කරලා. මගේ පුතා දෙවියෝ ළඟට යන්න ඕනෑ. මට වැඳලා උදේ අම්මේ ගිහින් එන්නම් කියලා ගියේ ආයේ නොඑන්නද මගේ පුතේ.”
මම කුලී වැඩ කරලා තමයි ඇත්තු තුන්දෙනෙක් වගේ පුත්තු තුන්දෙනෙක් හැදුවේ. මේ නැති වුණු පුතා මැද එක්කෙනා. පොඩි පුතා ඉස්කෝලේ යනවා හය වසරේ. ලොකු පුතා මේ ළඟදී හමුදාවට බැඳුණා. ඔය කාලකන්නි දවසේ උදේ හය හමාර බස් එකේ පුතා සම්මන්ත්‍රණයට යනවා කියලා තලාවේ පොඩි ඉස්කෝලෙට ගියා. පසිඳු පුතා ඉගෙන ගන්නේ තලාව ජාතික පාසලේ. මේ දවස්වල උසස් පෙළ විභාගය තියෙන හින්දා ප්‍රාථමික විදුහලේ තමයි පුතාලට සම්මන්ත්රණ තියෙන්නේ. ඒවා ඉවරවෙලා එනකොට තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. අපිටත් ආරංචි වුණේ බස් එකක් පෙරළිලා කියලා. තියෙන වැඩ ටික දාලා මමත් ගියා ගමේ කට්ටිය ඉන්නේ කියලා. අනේ බලනකොට මගේ පුතත් එතන ඉඳලා තියෙනවා. එයාට ගොඩක් අමාරු හින්දා අනුරාධපුරයට අරන් ගිහින්. අනුරාධපුරෙන් දැඩි සත්කාර ඒකකයට දැම්මට පස්සේ තමයි නැතිවෙලා තියෙන්නේ.
තලාවෙන් දොළහ හමාර බස් එකේ ඇවිත් තියෙන්නේ. ඒ එන ගමන් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. බස් එකේ ගොඩක් කට්ටිය ඉඳලා තියෙනවා. අපේම ගමේ ගොඩක් අයට තුවාලයි. මගේ පුතා ඉගෙන ගන්න හරි දක්ෂයි. ලොකු පුතා ආමි එකට ගියාට පස්සේ පොඩි පුතයි මේ පුතයි දෙන්න තමා ඉස්කෝලේ යන්නේ. වෙනදා දෙන්නම යනවා අද තනියම ගියේ සාමාන්‍ය පෙළ විභාගයට සම්මන්ත්රණ තියෙන හින්දා.
අනතුර අවස්ථාවේ උදව්වට සිටි ජයගඟ පාරේ පදිංචි පුද්ගලයෙක්-
මේ පාර හරිම පටුයි. රජය මැදිහත් වෙලා දෙපැත්තේ තියෙන ගස්වල අතු ටික කපලා පාර පළල් කළා නම් හොඳයි. නැත්තම් තවත් අනතුරු වෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ.
මේක පොඩි පටු පාරක්. ඒ වුණාට යන්නේ ලොකු වාහන. දැන් ඔය අනතුර වෙලා තියෙන්නේත් බයික් එකකට ඉඩ දෙන්න ගිහින්නේ. කොහොමද ලොකු වාහනයකට ඉඩ දෙන්නේ. බැරිවෙලාවත් අපේ ගෙවල් පැත්තට වැටෙන්නේ නැතිව අනිත් පැත්තට වැටුණා නම් අද නැතිවෙන ජීවිත ගාණ හිතාගන්නවත් බෑ. එහෙනම් ඛේදවාචක ගොඩක්. එහා පැත්තේ තියෙන්නේ ජයගඟ. ගඟ අයිනේ දිගේ හදලා තියෙන ගස් ටික සේරම පාරට. අඩුම තරමේ රජය මැදිහත් වෙලා අතු ටිකවත් කපලා දුන්නොත් ඉස්සරහට එන අනතුරු වළක්වා ගන්න පුළුවන්.
ඔය බස් එක එන වෙලාවට හැමදාම ගමේ කට්ටිය ටවුන් එකට ගිහින් ගෙදර එනවා. ඔය බස් එකේ සෙනඟ ගොඩාක් ඉන්නවා.
ඩ්‍රයිවර් මහත්තයත් පුරුදු නැති කෙනෙක් නෙමේ. හැමදාම ඔය පාරේ යනවා. එදා දවස වරදින්න ඇති. ඩ්‍රයිවර් වුණත් මනුස්සයෙක්නේ. කරන්න දෙයක් නෑ. වෙලාව ආවාම මේ දේවල් වෙනවා. ඒ වෙලාවේ පාසල් ළමයි හිටපු එක තමයි අවාසනාව. දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරිලා මේ පාර හරියාකාරව හදලා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා.
තඹුත්තේගම
බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:04
2025 නොවැම්‍බර් 11, ප.ව. 2:44
2025 නොවැම්‍බර් 11, ප.ව. 2:19
2025 නොවැම්‍බර් 11, පෙ.ව. 12:14
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25