hit counter

2025 ජූලි මස 28 වන සඳුදා

2025 ජූලි 28, පෙ.ව. 11:02



ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ භාර්යාව, නිර්මලා ද අල්විස් මහත්මිය පසුගියදා (22) අභාවප්‍රාප්ත වුණා.

ඇයගේ අභාවයත් සමඟ දක්නට ලැබුණු ඇතැම් සමාජ මාධ්‍ය භාවිතාවන් පිළිබඳව, සිය පුත් පූර්ණ කීර්ති ද අල්විස් සිය කණගාටුව තරයේ ම ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුමට දිගු සටහනක් එක්කරමින්.

එම සම්පූර්ණ සටහන පහතින්…

”ඉතා ඉවසීමෙන් සහ මහ වේදනාවකින් තව දුරටත් නිහඩව ඉන්න බැරි නිසා මෙලෙස ලියමි.

මැරිලාවත් අම්මාට පාඩුවේ ඉන්න දෙන්න. තාත්තාගේ ඝාතනයත් එක්ක අවුරුදු 36ක් අම්මා අනේකවිධ දුක් වින්දා. මිනීමැරුම ගැන හොයන්නත් ජීවිතේ ගැටගහහන්නත්….

අම්මා දේශපාලනයක් කලේ නැහැ. නමුත් දේශපාලන වේදිකාවල තාත්තාගේ ඝාතනය බොහෝ අවභාවිතා වුණා. ඊට විරුද්ධවයි අම්මා නැගී සිටියේ. මාස 11 දරුවෙකු සමග ජීවිතේ තනිවුණු අම්මා මැරෙනතුරුම දේශපාලන කාක්කන් නිසා වින්දේ පුදුම දුකක්. ඒ අතරේ සමහර කුහක මිනිස්සුන්ගේ වැඩ ඉතා ඉවසීමෙන් නිහඩව දරා සිටියා.

ඉන් එකක් තමයි විවාහය ගැන කතාව. මට කාටවත් රිදවන්න අවශ්‍ය නැහැ. ඒත් දැන්වත් සත්‍ය රටට කියන්න ඕනි. තාත්තාගේ පලමු විවාහය දයා ද අල්විස් මහත්මියගෙන් නීත්‍යානුකූලව දික්කසාද වී වසර 10කට පසුවයි තාත්තාට අම්මාව මුණගැහෙන්නෙ. ඉන්පසු තාත්තා ලොකු වෙහෙසක් දරා තමයි අම්මාගෙ කැමැත්ත අරන් විවාහ වෙන්නෙ.මුළු කතාවම අම්මා ප්‍රේමකීර්තිනී ග්‍රන්ථයේ ලියා තියෙනවා. ඒ වන විටත් අම්මා විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක්.

අම්මා සහ තාත්තා හමුවීම විවාහය සහ තාත්තාගේ පෙර විවාහයේ දෙදරා යාමට හේතු ගැන තාත්තා ගීත ලියා තිබෙනවා. ඒ පිලිබදව ජීවමාන සාක්ශි අදටත් ඕනෑ තරම් ඉන්නවා. වරෙක වික්ටර් මාමා රුපවාහිනි වැඩසටහනක පවා කියා තිබෙනවා. එසේ තිබියදීත් සමහරු අමූලික බොරු සමාජගත කරනවා. කරුණාකර එය නවත්වන්න.

තාත්තාගේ පෙර විවාහයේ දුව සුරංගී මගෙ අක්කාට මම හදවතින්ම ආදරෙයි. ඒ එයා තමයි මගේ තාත්තගේ ලේ තියන මේ ලොකේ ඉන්න අනිත් කෙනා. සුරංගි අක්කාත් අම්මට අවසන් ගෞරව දක්වන්න මාත් එක්ක එකතුවුණා. අක්කයි මමයි අතර පොඩි හරි ප්‍රශ්නයක් තියෙනව කියල හිතන් ඒව මැද්දට පිට අය එන්න එපා. ඕනි දෙයක් අක්කයි මමයි කතාකරල විසදගන්නම්. අපි සහෝදරයොනෙ.

ඊලග කාරණාව තාත්තාගේ මරණය විකුනන් දේශපාලනය කරපු එකෙක්වත් අම්මගෙ මලගෙදර ආවෙ නැහැ. අම්ම මැරුණට පස්සෙ උන්ට වාසි නැහැ කියල හිතාගෙන වෙන්න ඇති. අම්මට වතුර බිංදුවක් පැනඩෝල් පෙත්තක් ඇල්පෙනෙත්තක් වත් උන් දීලාත් නැහැ. සජිත් ප්‍රේමදාස විතරක් විනාඩි පහකට ඇවිත් ගියා. ඒ ඇවිල්ලා ඇහුවෙත් ” ආ මෙයා නේද ප්‍රේමකීර්ති මහත්මිය” කියල. ( අම්මව කලින් දැකල නැතුව ඇති ). මම ඒ වෙලාවෙත් එයාට කිව්වේ

” විපක්ෂනායකතුමා, ගෝස් කෑල්ලෙ ඉදල අපි පිටින් අරන් දුන්නා, රෝහලේ දැඩි ඖශධ හිගයක් තියෙනවා, ලෙඩ්ඩු දුක් විදිනව පාර්ලිමේන්තුවේ කියල හරි ආණ්ඩුවට දන්වන්න” කියල.

අවසාන වශයෙන් තාත්තාගෙන් සිංදු ලියාගෙන ගයන කිසිම කෙනෙක් ආවෙත් නැහැ. කෝල් එකක්වත් දුන්නෙත් නැහැ. ඒ සියල්ල මට හොදින් මතකයි.

නමුත් තාත්තාට සහ අම්මාට ආදරේ කරන මහා රසික පිරිසක් ජනතාවක් අපි වටා මහා පවුරක් වගේ හිටියා.

ඒ නිසා අවටියල් වැඩ කරන පේජ් කාරයොන්ටයි අමනුස්සයින්ටයි මම මේ කියන්නේ.

” මට දැන් තාත්තත් නැහැ, අම්මත් නැහැ,

මගේ අම්මටයි තාත්තටයි අගෞරව කරන එක නවත්වන්න. මැරිච්ච ඒ දෙන්නට පාඩුවේ ඉන්න දෙන්න. මට තව නැතිවෙන්න දෙයක් නැහැ. ඒක නිසා තවදුරටත් මේවා වුණොත් එක එක්කෙනාව පුද්ගලිකව හොයාගෙන ඇවිත් එයාලව මගේ අම්මයි තාත්තයි ලගට යවන්න දෙපාරක් හිතන්නේ නැහැ. ආයෙ කලින් කිය කිය ඉන්නෙත් නැහැ. මම බොලාට බයත් නැහැ”

කරුණාකරලා අපිට පාඩුවේ ඉන්න දෙන්න…..”

උපුටාගැනීම : Poorna Keerthi De Alwis ෆේස්බුක් පිටුවෙන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: