hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 21, පෙ.ව. 10:04



රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක ප්‍රඡාව දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

ජීවිතයක් අහිමි කල වෙඩි තැබීම පිළිබඳව ඇසීමෙන් තමන් බලවත් සේ කම්පනයට පත්වූ බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඇය කියා සිටියේ මෙම සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

විරෝධතා සාමකාමී ලෙස පවත්වන්නැයි ඇයි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් ද කළා.

එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හැනා සිගර් මහත්මියගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වන්නේ කිසියම් හෝ පාර්ශවයක් විසින් ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමෙන් සාමකාමී විරෝධතා කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

අවම බලය යොදා ගත යුත්තේ ජනතාව රැකීමට බව ද ඇය අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ට්‍රයින් එස්කැඩල් මහත්මිය රඹුක්කන ඝාතනය තරයේ හෙළා දකිමින් සඳහන් කළේ ප්‍රචණ්ඩත්වයෙන් තොර ව විරෝධතා කළමනාකරණය කරගත යුතු බවයි.

ජීවිතයක් අහිමි වීමෙන් බලපෑම් එල්ල වන්නේ ඔවුන්ගේ පවුල් වලට බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපටන් මහතාගේ ට්විටර් පණිවිඩයේ සඳහන්.

එමෙන්ම සාමකාමී උද්ඝෝෂණ සඳහා වන ජනතා නිදහසද උල්ලංඝනය වන බව ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර මෙරට කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මකිනන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කඩිනමින් කටයුතු කල යුතු අතර ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.