2025 අගෝස්‍තු 07, ප.ව. 12:11
පාර්ලිමන්ට් ජෝක්ස්, වන්ෂොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන් යන චිත්‍රපට අධ්‍යක්ෂණය සිදුකරමින් සිනමා අධ්‍යක්ෂවරයකු වූ ජනප්‍රිය නළු රංජන් රාමනායක දිගු කලකට පසුව නැවත අධ්‍යක්ෂණ කාර්යයට අතගසමින් සිටී. රංජන් රාමනායක ප්‍රධාන චරිතයකට පණ පොවන ‘OIC ගඩාෆි’ නමැති ඔහුගේ නවතම සිනමා පටයේ රූගත කිරීම් පසුගියදා ආරම්භ කෙරිණි. මේ දිනවල එහි රූප රාමු පෙළක් සමාජ මාධ්‍ය හරහා නිතර සැරිසරයි. රංජන්ගේ අලුත්ම වැඩේ ගැන දැනගන්න දිගු කලකට පසුව රංජන් සමග සංවාදයක නිරත වී තිබුණේ මෙලෙසයි.
දිගු නිහැඬියාවකට පසුව ඔබ යළිත් අධ්‍යක්ෂණ කාර්යයට අතගැසුවා නේද?
ඇත්තම කිව්වොත් පසුගිය කාලයේ මම සිරගත වෙලා ඇති වුණ ප්‍රශ්න එක්කත් කලාව පැත්තෙන් වැඩවලට සම්බන්ධ වෙන්න කාලයක් නැති වුණානේ. අවුරුද්දයි මාස හතක් වැනි කාලයක් ඉන්න වුණා. නඩුහබත් එක්කත් කලාවෙන් පොඩ්ඩක් අයින් වෙන්න සිද්ධ වුණා. දැන් ඉතිං නැවත පටන් ගත්තා. මේ මගේ පස්වැනි චිත්‍රපටය.
පළමුවෙන්ම දෙබස් තිරනාටකය ලියලා අධ්‍යක්ෂණය කළේ 1999 වසරේ පාර්ලිමන්ට් ජෝක්ස්. චිත්‍රපටය තිරගත වුණේ 2001 වසරේ. ඊට පසුව 2003 වසරේ නිර්මාණය කළා වන්ෂොට්. එය 2005 වසරේ තිරගත වුණා. අනතුරුව 2008 වසරේ ලීඩර් නිර්මාණය කළා. ඩොක්ටර් නවරියන් 4 වැනි චිත්‍රපටය. මම මේ අධ්‍යක්ෂණය කරනු ලබන්නේ පස්වැනි චිත්‍රපටය ‘OIC ගඩාෆි’.
OIC ගඩාෆි පිටපත නිර්මාණය වුණේ කොහොමද?
පසුගිය ටිකේම අපිට තිබුණේ මායා වගේ මලයාලම් දමිළ නිර්මාණවල ප්‍රතිනිර්මාණ සිදුකරනවා කියලා චෝදනාමනේ. ඉතිං මම හිතුවා අපේ රටේ අපිටම උරුම වූ කතා තිබෙන්නෙ ඕනෑ තරම්. ඉතිං මට හිතුණා ලංකාවේ ඇතිවුණු සත්‍ය සිදුවීමක් ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කරන්න.
මගේ ෆිල්ම්වල එහෙමනේ. මමම වගකීම් ගන්නවානේ. මම දෙබස්, තිරනාටකය ලියලා අධ්‍යක්ෂණය කරන්න ගත්තා. අනික මම දන්නවා ජනතාව මොකක්ද ඉල්ලන්නේ කියලා.
‘OIC ගඩාෆි’ කොපියක් නෙමෙයිද?
නැහැ. මේකේ කිසිම දෙයක් ප්‍රේම් ටු ප්‍රේම් කොපියක් නෙමෙයි. ප්‍රතිනිර්මාණයකුත් නෙමෙයි. ආදේශකයකුත් නෙමෙයි. මේක දමිළ, තෙළිඟු, ගුජරාටි, මොලිවුඩ්, හොලිවුඩ්, කොලිවුඩ්වල කොපියක් නෙමෙයි සියයට සියයක් අපේ කතාවක්. ඒක හින්දා මම මේ පාර ඒක සිතුවමට නඟන්න වෙනම පිරිසක් එකතු කර ගත්තා.
මෙවර ඔබේ නිර්මාණයේදී නිෂ්පාදන කාර්යයෙන් වෙනස්ම පිරිසක් එකතු කරගන්නවා. ඇයි ඒ?
මම ඉතිං හැමදාම අත්හදා බැලීම් කරන කෙනෙක්. පසුගිය කාලයේ මම වැඩ කළේ වාණිජ යැයි සිතන සම්මත පිරිසක් සමග. මෙවර මේ කතාව නිර්මාණය කරගෙන යද්දීම මට ආරාධනාවක් ලැබුණා මේ නිර්මාණය වෙනත් භාෂාවකිනුත් නිර්මාණය කරන්න කියලා. ඉතිං වෙළෙඳ දැන්වීම් වගේම වාණිජ චිත්‍රපට රැසකට සම්බන්ධ වුණු ධම්මික රත්නායක තෝරා ගත්තා. කලා අධ්‍යක්ෂක විදිහට ජනක, ඇඳුම් නිර්මාණයෙන් රමේෂා ඕෂදී. වේශ නිරූපණයෙන් ප්‍රියන්ත දිසානායක වගේ අය තෝරා ගත්තා.
ඔබේ මේ නිර්මාණයට සම්බන්ධ වෙන නළු නිළියන් කවුද කිව්වොත්?
ගිහාන් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, මහින්ද පතිරගේ, කුමාර තිරිමාදුර, ඩිලුක්ෂි එකතු වෙනවා.
OIC ගඩාෆි චිත්‍රපටයේ ඡායාරූප කිහිපයක් මේ දවස්වල හරියට සමාජ මාධ්‍යවල වෛරල් වෙනවා නේද?
මේ චිත්‍රපටයේම රූගත කිරීම් නිසා මම ටිකක් කාර්යබහුල වෙලයි හිටියේ. ඒක හින්දා අපිට මුහුරත් උළෙලක් පවත්වන්න බැරි වුණා. ඉතිං පළමු දවසේ රූගත කිරීම් ආරම්භ කළේ මාතලේ මොරගහකන්ද ප්‍රදේශයේ. එහි ඡායාරූපයක් තමයි මම මුලින්ම පළ කළේ. ඒකට හොඳ ප්‍රතිචාරයක් තිබුණා.
සමහර කට්ටිය කියලා තිබුණා මේක දමිළ, තෙළිඟු, මලයාලම් චිත්‍රපටයක නමක් කියලා. ඉතිං මම කියනවා මේ චිත්‍රපටයේ හැම දෙබසක්ම, හැම දර්ශනයක්ම, හැම සංසිද්ධියක්ම සියයට සියයක් ශ්‍රී ලාංකිකයි කියලා. ‘OIC ගඩාෆි’ කිසිසේත්ම කොපියක් නෙමෙයි මේක පිටරට පෙන්වන්න තියෙනවා.
අනික දැන් කොපි ගැහැව්වොත් රිපෝට් වෙනවා. මේ ළඟකදී ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න්වල ඒ වගේ ප්‍රශ්නයක් වුණා. දැන් තියෙන අලුත්ම තාක්ෂණය එක්ක ඒක මොනිටර් වෙන්නේ සැටලයිට් එක හරහානේ. දර්ශනයක්, දෙබසක් හෝ කතාවක් හෝ තේමාවක් හෝ ගත්තා නම් ඉතිං රිපෝට් එකක් වදිනවා.
කොහොමත් රංජන් රාමනායක කොපි කරන්න සූදානම් චරිතයක් නෙමෙයිනේ?
නැහැ.. නැහැ… මගේ පාර්ලිමන්ට් ජෝක්ස් කියන්නෙත් ගමක ඉන්න හොරු තුන් දෙනෙක් වටා නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඒක මගේම අදහසක්. අනෙක් ඒවායේ නම් පොඩි පොඩි ඒවා තිබුණා. වන්ෂොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන් එකේ පොඩි පොඩි ආභාෂ ටිකක් තිබුණා. නමුත් මේක කොපියක් නෙවෙයි.
මීට පෙර අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලට වඩා මේ චිත්‍රපටය වෙනස් වෙන්න ඔබ මොනවගේ උපක්‍රමයක්ද භාවිතා කළේ?
මේකේ ඇත්තටම කාර්මික පැත්ත සම්පූර්ණයෙන්ම වෙනස් කළා. නළු නිළියන්ගේ පැත්තත් සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මගේ හාස්‍යෝත්පාදක චිත්‍රපටවල හිටපු වගේම හැමදාම හිටපු නළු නිළියෝ එක්කෙනෙක්වත් මේ චිත්‍රපටයේ නැහැ. තව කලා අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය, නළු නිළිවරණය, වෙස්ගැන්වීම්, භාෂා දෙකකින් රූගත කිරීම්, හඬ කැවීම් යන සියල්ලම මේ පාර වෙනස් කළා.
‘OIC ගඩාෆි’ දමිළ භාෂාවෙන් තිරගත කරන්නත් සූදානමක් තියෙනවාද?
ඔව්… ඔව්. දමිළ භාෂාවෙන් තිරගත කරනවා නම් දමිළ කොපියක් කරන්නම බැහැනේ. මොකද ඔරිජිනල් එක ඒ ගොල්ලෝ ළඟ තියෙනවානේ. තේරුමක් නැහැනේ. ඒ හින්දා මේක අමුතුම මාදිලියේ කතාවක්.
ගඩාෆි චරිතය වෙනුවෙන් පසුගිය කාලයේ මොනවගේ කැපකිරීම් ද සිදු කළේ?
ඇත්තටම මේක හිතන්න බැරි කතාවක්. ‘ගඩාෆි’ කියන එකේ තේරුම තමයි චරිත සහතික දෙන්න හදිසි වෙන්න එපා කියලා. මේ නිර්මාණයෙ ගීත දෙකක් තිබෙනවා. සටන් ජවනිකා දෙකක් තියෙනවා. පැය එකහමාරක නියම බයිස්කෝප් එකක් කියලා කියන්න පුළුවන්. වෙනම ආකාරයක රසික ජනතාවට වෙනම අත්දැකීමක් ලබාදෙන සියයට සියයක් ශ්‍රී ලාංකික කතාවක්.
රංජන් ආපහු වැඩ පටන් ගත්තා කියලා දැනගත්තහම ක්ෂේත්‍රයේ අය මොනවද කිව්වේ?
අනේ ඉතිං හැමෝගෙම ආශීර්වාදය ලැබුණා. මම හැමදාම ආශීර්වාද කළා සිංහල සිනමාවට. සිංහල සිනමාව හින්දයි මට මේ සියලු දේවල් ලැබුණේ. මම හැම තැනම මගේ කතාවල පවා කිව්වේ මේ තමයි ස්වර්ණමය යුගය කියලා. මෙහෙම ෆිල්ම් සාර්ථක වුණේ නැහැ කවදාකවත් එක දිගට. ‘රාණි’ එකෙන් තමයි මේක පටන් ගත්තේ. ඊට පස්සේ නෙළුම් කුලුණ, වාලම්පුරි, ක්ලැරන්ස් රිදම් ඔන්ද ගිටාර් දැන් අපිට ගෞරවනීය ප්‍රේක්ෂකාගාරයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ නෙළුම් කුලුන වගේ ෆිල්ම් දිව්වේ ටොම් කෲස්ගේ ෆිල්ම් එක්ක. ජුරාසික් වර්ල්ඩ් එක්ක. ඉතිං අපි සියලු දෙනා කර්මාන්තයක් හැටියට මේක රැකගත යුතුයි.
නිහඬව හිටපු කාලයේ හිතට ආපු හැඟීම් මොනවගේද? මොකද ඔබ ටිකක් ක්‍රියාශීලී ජනප්‍රිය චරිතයක්නේ?
ඇත්තෙන්ම මට ඒ කාලෙ කන්සෙප්ට් පහළොවක් විතර ලැබුණා. මම ඒ කාලේ පුදුම විදිහට චිත්‍රපට බැලුවා. හෝල් එකේ දවසට චිත්‍රපට දෙක බලපු අවස්ථා තිබුණා. මම හිතන්නේ ෆිල්ම්ස් දහස් ගණනක් බලන්න හම්බ වුණා.
එතකොට ප්‍රේක්ෂකාගාරයේ නාඩිය ගැන ලොකු දැනුමක් පසුගිය ටිකේ ලැබුණා. ඊට පස්සේ තමයි මට හිතුණේ දැන් ප්‍රේක්ෂකාගාරය ඉල්ලන්නේ මේ වගේ චිත්‍රපටයක් කියලා.
ප්‍රේක්ෂකාගාරයේ නාඩිය බලලම වැඩේට අතගැසුවා එහෙමද?
ඔව් ඉතිං. අපි කොයි තරම් උදම් ඇනුවත් මහන්සිවෙලා කළා කිව්වත් අපි කොච්චර හයි බජට් කළා කිව්වත් අපි කොච්චර හොඳයි කිව්වත් අවසාන තීරණය තියෙන්නේ, ඒ හෝටලයට ඇවිල්ලා ඒකෙ රසබලන පාරිභෝගිකයා අතේ. එයා කිව්වොත් අයියෝ මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා ඉවරයිනේ. මොකද සියලු දේ තියෙන්නේ ප්‍රේක්ෂකයා අතේ. අපි මහන්සි වෙනවා. අපි හිතනවා අපි මේ දෙන නිර්මාණයට මේ අය කැමැති වෙයිද කියන දෙගිඩියාව. ෆිල්ම් එක බලනකම්ම අපේ හිතේ තියෙනවා. ඉතිං මට තියෙන දැනුම අනුව මම හිතනවා මේක ආදරයෙන් වැලඳ ගනීවි කියලා. නමුත් ඉතිං මම දන්නේ නැහැ ප්‍රේක්ෂකයන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. හැබැයි ඉතිං මම කරපු හැම ෆිල්ම් එකක්ම ප්‍රේක්ෂකයෝ සියයට අනූවක්ම වැලඳ ගත්තා. බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා.
ඔබ කරපු නිර්මාණවලින් ඔබට හිතට දැනුණ නිර්මාණය මොකක්ද?
මට හිතට වැදිච්ච එක තමයි මම පළමුවෙන්ම තිර නාටකය ලියලා මම අධ්‍යක්ෂණය කරපු පාර්ලිමන්ට් ජෝක්ස්. 1999 තමයි පිටපත ලිව්වේ. ඒකේ පිටපත ලියලා මම හැමෝටම පෙන්නුවා. නමුත් ප්‍රතිචාරය එතරම් හොඳ වුණේ නැහැ. මොකද මම නළුවෙක්නේ. අධ්‍යක්ෂවරයෙක් හැටියට එන්නේ පළමු වතාවටනේ. කට්ටිය කිව්වේ ෆිල්ම් නැතිව යයි කියලත්. ඊට පස්සේ ඔයා අධ්‍යක්ෂවරයෙක්නේ, ඕක නවත්වන්න කියලත් කිව්වා. සන්ෆ්ලවර් එක්කත් සින්දු කිව්වා. තවමත් ඒ සින්දු ජනප්‍රියයි. දෙන්නන්කෝ ලොක්කා වගේ සින්දු, දෙයියා දෙයියා දෙයියන්ගේ දෙයියා වගේ ගීත. ඒකට කවුරුවත් කොපියක් කියන්නෙත් නැහැ. ගමක ඉන්න හොරෙක්, සල්ලාලයෙක්, කසිප්පු කාරයෙක් පාර්ලිමන්ට් යන කතාවක්නේ තිබුණේ. ඒක තමයි පළමු දරුවා වගේ ආසම චිත්‍රපටය. අනිත් එක ඒක තමයි තුන්වැනියට ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ගණන (ඔළු ගෙඩි ගණන) නරඹපු චිත්‍රපටය. පළමු එක මම හිතන්නේ සූරිය අරණ. දෙවැනි එක සිරි පැරකුම්.
නිහඬව හිටපු කාලේ රඟපාන්න ආරාධනා ලැබුණේ නැතිද?
මට නමගිය අධ්‍යක්ෂවරු පසුගිය කාලයේ චිත්‍රපට නවයකට විතර ආරාධනා කළා. නමුත් ඒ පිටපත කියලා අධ්‍යක්ෂවරයා මම ඉදිරියේ වාඩිවෙලා පෙළ ගැස්ම ගැන කියද්දී මට හිතුණා මට මේක විඳින්න බැරිව ප්‍රේක්ෂකයා කොහොමද විඳින්නේ කියලා. ඉතිං ඒ වගේම ඒ චිත්‍රපට වෙනත් කලාකරුවන් දායක කරගෙන නිර්මාණය කරලා තිරගත වුණා. ඒවා ඒ වගේම ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කළා. ඉතිං කට්ටිය කිව්වා ඔයා ගත්තු තීරණය හරියටම හරි කියලා. ඉතිං මම හිතනවා අපි කාටත් නිර්මාණකරුවන් හැටියට ලොකු වගකීමක් තියෙනවා නිෂ්පාදකවරයා වගේම මේ කර්මාන්තය ආරක්ෂා කරගන්න.
2025 අගෝස්‍තු 07, පෙ.ව. 12:02
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:02
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:07
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
06-08-25
06-08-25