2025 මැයි 02, පෙ.ව. 12:14
”පෙම්වතියක් ලෙසත් ඇයට අවශ්‍ය වුනේ ආදරයම තුලින් ඉතිහාසගත ජීවිත ගොඩනැංවීමටයි. ඇය හැමදාම අනෙකාව බලාගන්නට, සෙනෙහස පුදන්නට අවංකවම තම කාලය, ශ්‍රමය සහ ආදරය දුන් කෙනෙක්. තම ආදරයන් අභිමුවේ ඇය කිසිවිටෙක රැජිණක් ලෙස වැජඹුනේ නෑ. අතිශය සරළ ආදරවන්තියක් ලෙස මහපොළවේම සිට ඇය තම ආදරයන් පෝෂණය කළා…”
මේ කතාව කියන්නෙ, ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා.
අප්‍රේල් 30 හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනි ෆොන්සේකා මහත්මියගේ උපන්දිනය.
සමනලී ඉහත සටහන තබා තිබුණේත්, ඒ වෙනුවෙන්.
මේ, ඇය තබන ලද සම්පූර්ණ සටහනයි….
”මගේ ලොකු නැන්දා හෙවත් ‘මාලිනී ෆොන්සේකා’ කියන්නෙ ගැහැණියක් විදිහට ජීවිතේට මුහුණ දෙද්දිත්, රංගන ශිල්පිනියක් විදිහට නිර්මාණයකට මුහුණ දෙද්දිත් මට මගහැර යන්නට බැරි සුවිශාල ජීවිතයක්.
ඇගේ රඟපෑම ගැනත්, ඇය ජීවත් වන ආකාරය ගැනත් මම විවිධ වයස්වලදි විවිධ විදිහට හිතලා තියෙනවා.
ලොකු නැන්දාගෙ රඟපෑම තුල මම දැකපු සුවිශේෂීම සංකල්පය තමයි ‘අවංකත්වය’. ඇයට තිබුණා ඉතාම අවංක භාව ප්‍රකාශනයක්. ඇය කිසිම රාමුවකට, මතවාදයකට සීමා නොවී තමාට ලැබෙන චරිත අවංකව ගොඩ නැගුවා. ඇය ප්‍රතිනිර්මාණය කරපු කිසිම චරිතයක් ඇය judge කළේ නැහැ, ප්‍රශ්න කළේ නැහැ.
ඒ නිසාම ඒ චරිත ඉතාම අව්‍යාජ වුනා.
පිරිමි දෘෂ්ටියකින් ගොඩනගන ඇතැම් සීමා හා මතවාදයන් මෙන්ම, පිරිමි දෘෂ්ටියකින්ම ඒ සීමා මතවාද කඩා දැමීමේ සංවාදයත් ඇයට ලොකුවට වැදගත් වුනේ නැහැ. ඇයට වැදගත් වුනේ ඇයට ලැබෙන චරිත වල වටපිටාව සහා ඇගේ ආත්මයටම දැනෙන,හසුවන ඒ චරිතයන් වල භාවයන් පමණයි. ඒ වකවානුවේ අතිශය පුරුෂ මූලික කර්මාන්තයක ඇය ඇගේ නිර්ව්‍යාජ ස්ත්‍රීමය සලකුණ තබන්නෙ අන්න ඒ තැනයි.
ඇයගේ අවංකත්වය ඇගේ ජීවිතය පුරාම, ඇය ජීවත් වූ විලාසය පුරාම මම දකිනවා. ආදරයේදී වගේම දේශපාලනයේදී ඇය අවංකයි. මම නැන්දා එක්ක පරස්පර දේශපාලන මතයන් දැරුවත්, ඒ ඒ කඳුවුරු පිලිබඳව කොපමණ විවේචනයන් තිබ්බත්, ඇය විස්වාස කළ දේශපාලන මොහොත තුල ඇය ඉතාම අවංකව ජීවත් වුනා කියලා මම දන්නවා.
පෙම්වතියක් ලෙසත් ඇයට අවශ්‍ය වුනේ ආදරයම තුලින් ඉතිහාසගත ජීවිත ගොඩනැංවීමටයි. ඇය හැමදාම අනෙකාව බලාගන්නට, සෙනෙහස පුදන්නට අවංකවම තම කාලය, ශ්‍රමය සහ ආදරය දුන් කෙනෙක්. තම ආදරයන් අභිමුවේ ඇය කිසිවිටෙක රැජිණක් ලෙස වැජඹුනේ නෑ. අතිශය සරළ ආදරවන්තියක් ලෙස මහපොළවේම සිට ඇය තම ආදරයන් පෝෂණය කළා.
එහෙත් අතිශය අසීරු දරාගැනීම් සහා පාවාදීම් මධ්‍යයේත් ජීවිතයේ සියල්ල කොට රැකගත් ඇතැම් ආදරයන් එක තත්පරෙන් ඈ අත්හැර දමා, හිස කෙලින් කර ඉදිරියට ගමන් කළා. මට ඇය රිදී තිරයේ පමණක් රැජිණක් නොවන්නේ ඒ නිසයි.
ඇය අදටත් පිළිවෙලට ලස්සනට අඳින්න ආස කෙනෙක්. ඒ යුගයේ කාලයත් සමඟ ලෝකෙට එන ඇතැම් විලාසිතා ඇය ලංකාවේ ඈත ගම් වලටත් හඳුන්වා දුන්නා වගේම, ඇතැම් ඒවා ලංකාවට ගැලපෙන විදිහට වෙනස් කළා. ඇතැම් විලාසිතා වලට ඇය විසින්ම සීමා පනවාගත් තැන් වලින් පසු, ඒ සරළ බව පවා ඇය අලුත් trend එකක් බවට පත් කළා.
එහෙත් ‘මාලිනී ෆොන්සේකා’ කියන ප්‍රතිරූපය ගොඩ නැංවීම වෙනුවෙන් ඇය කිසිම ආකාරයකින් වෙහෙසක් ගත්තෙ නැහැ. ඇය නිරන්තරයෙන් වෙහෙස වුනේ දුර්ලබ සහා අසීරු තීරණ, අභියෝග, චෝදනා මැද තම නිර්මාණ වෙනුවෙන් මෙන්ම තම ආදරණීයයන් වෙනුවෙන් තමා සතු උපරිමය දියකර හැරීමට, තමන් සමඟම සටන් කරගනිමින් නිමැවෙන ජීවිතයක් ගොඩනැගීමටයි.
මාලිනී ෆොන්සේකා ‘මහා නොබිඳෙන ආත්මයක්’ සහා ‘සුවිශාල මෘදු හදවතක්’ සතු සුන්දර, දුලබ ගැහැණියක් වන්නේ ඒ නිසයි…!”
ඉතිං, ඔයාට සුබ උපන්දිනයක් ලොකු නැන්දේ…
ආදරෙයි මම… ”
උපුටාගැනීම : සමනලී ෆොන්සේකාගේ ෆේස්බුක් පිටුවෙන්
2025 මැයි 02, පෙ.ව. 12:09
2025 මැයි 01, ප.ව. 2:32
2025 මැයි 01, පෙ.ව. 10:20
2025 මැයි 01, පෙ.ව. 12:27
2025 අප්‍රේල් 30, ප.ව. 4:01