hit counter

2025 මාර්තු මස 03 වන සඳුදා

2025 මාර්තු 03, පෙ.ව. 12:10



මාකිලංගමුවේ සංජීව එහෙමත් නැත්නම් ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේ විත්තිකූඩුව තුළදීම වෙඩි තබා ඝාතනය කිරීම සිදුවී මේ වනවිට දින 10කට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි උණුසුම තවමත් පහව ගොස් නැත.

ඊට හේතුව වී ඇත්තේ ගණේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි තවමත් පොලිස් ඇසට වැලි ගසමින් කට්ටි පනිමින් සිටින නිසාය. එමෙන්ම සංජීව ඝාතනයෙන් කෝපාවිෂ්ඨ වී සිටින ඔහුගේ සහාචරයන් ලෙයට ලෙයින් පළි ගනිමින් සිය වෛරය පිරිමසා ගැනීම ආරම්භ කිරීමත් නිසා මේ ඝාතන උණුසුම දිනෙන් දිනම තීව්‍ර වෙමින් පවතී.

ගම්පහ මිනුවන්ගොඩ ඇතුළු ඒ අවට ප්‍රදේශ ගණනාවක ජනතාව මේ වනවිට දැඩි භීතියට පත්ව සිටින්නේ කොයි මොහොතක හෝ මේ පාතාල මැරයන් එකි නෙකා මරා ගැනීමේ සටන ක්‍රියාත්මක කරනු ඇතැයි කියාය.

සංජීව ඝාතනයේ මුල්ම ප්‍රතිප්‍රහාරය

මිනුවන්ගොඩ නගරයේදී 26 වැනිදා පෙරවරුවේ එල්ල කෙරිණි. එහිදී ඉලක්කය වී තිබුණේ කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකි. ඝාතකයන්ට ඉලක්කය වැරදී යන්නේ පද්මේගේ පාසල් මිතුරාට තවදුරටත් ජීවත්වීමේ වාසනාව උරුමකර දෙමින්ය.

ගණේමුල්ලේ සංජීව ඝාතනය කරන්නේ කෙහෙල්බද්දර පද්මේ, බටුවත්තේ චාමර, කොමාන්ඩෝ සචින්ත ප්‍රමුඛ පාතාල මැර කල්ලිය විසින් බව මේ වනවිට හෙළි වී හමාරය. සංජීව ඝාතනයෙන් පසු දණ්ඩෙන් පහර කෑ නාගයන් මෙන් කෝපාවිෂ්ඨ වී සිටින ඔහුගේ පාතාල කල්ලියේ මැරයන් පද්මේගේ පාර්ශ්වයේ මොකා හෝ මරා දමා තම වෛරය පිරි මසා ගන්නා තත්ත්වයට පත්ව සිටිති.

කෙහෙල්බද්දර පද්මේගේ පවුලේ ඥාතීන් පිරිසක් පන්නල ප්‍රදේශයේ පිහිටි නිවසක සැඟවී සිටියදී ඔවුන් විනාශ කිරීමට ගිය පාතාල මැරයන් දෙදෙනෙක් පොලිසියට කොටු වී තිබුණේය.

අධිකරණය තුළ එල්ල වූ ප්‍රහාරය ගැන සැක මුහුතැන් රැසක් ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා සිදුකළ සැලසුම ඉතාම සැලසුම් සහගතව ක්‍රමානූකූලව සිදුකළ එකක් බව පැහැදිලිය.

එය මෑත ඉතිහාසයේ පාතාලය එල්ල කළ ඉතාම සැලසුම් සහගත ප්‍රහාරය බව නිසැකය. මීට පෙර මේ ආකාරයේ ඉතාම සැලසුම් සහගතව ප්‍රහාර එල්ල කර තිබුණේ කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් ඉලක්ක කරගෙනය. මාකඳුරේ මදූෂ්, අංගොඩ ලොක්කා ප්‍රමුඛ පාතාල කල්ලිය විසින් මෙම ප්‍රහාරය එල්ලකර තිබුණේ රණාලේ සමයං ඉලක්ක කරගෙනය. ඒ ප්‍රහාරය ද දින, මාස ගණනක් තිස්සේ සිදුකළ ඉතාම සැලසුම් සහගත එකක් විය. ඒ ප්‍රහාරයෙන් රණාලේ සමයංට අමතරව බන්ධනාගාර නිලධාරීන්ද ඇතුළු පුද්ගලයන් 07 දෙනෙක් ඝාතනයට ලක්විය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී සංජීව ඉලක්ක කර එල්ලවන්නේ කළුතර එතනමඩල ප්‍රහාරයට නොදෙවෙනි එකකි. අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අධිආරක්ෂිත කලාපය තුළ මේ ආකාරයේ පාතාල ප්‍රහාරයක් එල්ල කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේය. මුලින්ම ඒ ප්‍රහාරය සඳහා අසමසම ආත්ම ශක්තියක් ඇති පුද්ගලයකු සිටිය යුතුය.

ඒ මන්දයත් මේ ප්‍රහාරයෙන් එක දශමයක් හෝ වැරදී ගියේ නම් කුලී ඝාතකයාට සිදුවන්නේ ඊට ජීවිතයෙන් වන්දි ගෙවීමටය. එවැනි අවදානමක් භාරගත් සුවිශේෂී වූ පුද්ගලයකු මේ ප්‍රහාරය සඳහා සිටිය යුතුය. ප්‍රහාරයේ සියලු සැලසුම් සකස් වන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල මැරයන් විසින්ය. සංජීව ඝාතනය සඳහා කුලී ඝාතකයකු සොයාගැනීම, උසාවි භූමියේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම්කරුවකු යෙදවීම, ඔත්තු බැලීමේ කාර්යයට ඔත්තුකරුවන් යෙදවීම ඇතුළු තවත් මෙකී නොකී කරුණු රැසක් සම්බන්ධයෙන් නිවැරදිව ක්‍රියාත්මක වීම කළ යුතුය.

මේ සැලසුම සාමාන්‍ය බුද්ධියක් ඇත්තකුට කළ හැක්කක් නොවන බව පැහැදිලිය. මෙය හරියට චිත්‍රපටයක ජවනිකාවක් බඳුය. කිසිවකුටත් සැකයක් නොසිතන ආකාරයට අවිකරු හැටියට කුලී ඝාතකයා යවා මහෙස්ත්‍රාත්වරයා නඩුව විභාගයට ගනිමින් සිටියදී විත්තිකූඩුවේ සිටි ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඔහු ඝාතනය කර කිසිම කලබලයකින් තොරව කූලී ඝාතකයා අධිකරණයෙන් පිටව යෑම සැබැවින්ම චිත්‍රපට ජවනිකාවක් බඳුය.

මේ ප්‍රහාරයේ සැකමුසු තැන් කීපයක් කෙරෙහි විමර්ශන නිලධාරින්ගේ සැකය එල්ල වී තිබේ.

ධම්මික අමරසිංහ නමැති පාතාල නායකයා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ විත්ති කූඩුව තුළදීම මේ ආකාරයට වෙඩි තබා ඝාතනය කළේය. ඒ මෝල්ජියා නමැති කුඩුකාරයකු එල්ල කළ ප්‍රහාරයකින්ය. ඒ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේද බන්ධනාගාර නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් අධිකරණ ශාලාවට දැඩි ආරක්ෂාවක් යොදා සිටියහ. එදින ප්‍රහාරය එල්ල කළ මෝල්ජියාට පොලිසියෙන් ගැලවී යෑමට ඉඩ ලැබුණේ නැත. මෝල්ජියා තමන් අත වූ ගිනිඅවිය ද සමග පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගන්නේ අධිකරණ ශාලාව තුළ දීමය.

ධම්මික අමරසිංහ අධිකරණයට රැගෙන ආවාට වඩා වැඩි සුවිශේෂී ආරක්ෂාවක් ගණේමුල්ලේ සංජීවට ලබා දී තිබුණේය. එහෙත් කුලී ඝාතකයා වූ කොමාන්ඩෝ සමිඳු ඒ සියලු ආරක්ෂකයන් බලා සිටිය දී සංජිවට වෙඩි තබා කිසිදු කලබලයකින් තොරව අධිකරණ ශාලාවෙන් පිටව යෑම සැබැවින්ම ප්‍රශ්න සහගතය.

සංජීවට වෙඩි තබන අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් විශාල පිරිසක් අංක 05 අධිකරණ ශාලාව තුළ රැඳී සිටියහ. එමෙන්ම ආයුධ සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් විශාල පිරිසක් අධිකරණ ශාලාවෙන් පිටත රැඳී සිටියහ. එහෙත් මේ කිසිදු නිලධාරියකු කුලී ඝාතකයා ලුහුබඳිනවා තබා ඔහු ගිය මඟ අහලකවත් සිටියේ නැත. එය හරියට ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා යෑමට ඉඩකඩ ලබාදී නිසොල්මනේ සිටියා බදු කරුණක් විය.

මෙම ප්‍රහාරයේ සැකයට බඳුන් වූ අනෙක් කරුණ වන්නේ සංජීව ඝාතනයට යොදාගත් බව කියන පිස්තෝලය විත්ති කූඩුව ඉදිරිපිට දමා යෑමය. ඝාතකයකු කිසි දිනක නොකරන මේ ක්‍රියාව මේතරම් සැලසුම් ඇතිව එල්ල කළ ප්‍රහාරයක එසේ සිදුකරයි ද යන්න මතුවන බරපතළ ප්‍රශ්නයකි.

ඝාතකයක් ඔප්පු කිරීමට ඇති ප්‍රධානතම සාක්ෂිවලින් එකක් වන්නේ ඝාතනය සඳහා යොදාගත් ආයුධයයි. එසේ නම් සංජීව මරා දැමීමට යොදාගත් පිස්තෝලය විත්තිකූඩුව ඉදිරිපිට දමා යෑම විශ්වාස කළ හැකිද? එය ඉතිහාසයේ කිසිදිනක සිදු නොවූ එකකි.

මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘත්තියක් මැවෙමින් පවතී. ඉන් එකකින් කියැවුණේ කුලී ඝාතකයා සංජීවට වෙඩි තැබීමට යොදාගත් අවිය ඉණේ ගහගෙන වෙනත් පිස්තෝලයක් විත්තිකූඩුව ඉදිරිපිට දමා ගිය බවය. කෙසේ වෙතත් මේ අවිය රජයේ රස පරීක්ෂක වෙත මේ වනවිට යොමු කර තිබෙයි.

තවත් සැකමුසු කරුණක් වන්නේ කුලී ඝාතකයා සහ ඩුබායිහි සැඟවී සිට මේ ප්‍රහාරය මෙහෙය වූ කොමාන්ඩෝ සචින්ත අතර ඇති වී තිබූ කෙටි පණිවිඩ කීපයකි.

සංජීව මරා දැමීමට නීතිඥ වෙස් ගෙන පැමිණි කොමාන්ඩෝ සමිඳු අධිකරණ ශාලාව ඉදිරිපිට සිට කෙටි පණිවිඩ කීපයක් ලබාදී තිබුණේය. ඒවායේ සඳහන්ව තිබී ඇත්තේ එස්.ටී.එෆ්. පොලිස් ලොකු පාර්ත් එකක් දාලා තියෙනවා. ප්‍රශ්නයක් වෙයිද කොමාන්ඩෝ සමිඳු ඩුබායිහි සිටි කොමාන්ඩෝ සචින්තට කෙටි පණිවිඩයක් යැවූවේය. ඊට ප්‍රතිචාර ලෙස ඔහු එවා තිබුණේ කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩේ කරන්න යනුවෙන්ය. ඒ කෙටි පණිවිඩවලින් යම් ගැඹුරු කරුණක් පැහැදිලි වෙයි. ඉන් අදහස් වන්නේ සමහරවිට ආරක්ෂකයන් අතින් කොමාන්ඩෝ සමිඳුට කිසිදු ගැටලුවක් නොවනු ඇතැයි කියාය.

සැබැවින්ම කුලී ඝාතකයාට සිය ඉලක්කය සපුරාගෙන නිරුද්‍රිතව පලායෑමට ඉඩ ලැබී තිබුණේය. අඩුම තරමින් මේ තරම් ආරක්ෂාවට සිටි නිලධාරීන් කිසිවකු ඔහු ලුහුබැඳීමටවත් උත්සාහ කර තිබුණේ නැත. මේ කරුණු කාරණා පිළිබඳව විමර්ශකයන්ගේ අවධානය යොමු විය යුතුය.

ගණේමුල්ලේ සංජීව යනු කාලකණ්ණියකි. ජීවිත හැට හැත්තෑවක් විනාශ කළ බවට චෝදනා එල්ල වී සිටි අළුගෝසුවකි. ඔහු තවදුරටත් ජීවත්ව සිටීමට තරම් සුදුසු එකකු නොවන බවද පැහැදිලිය. එහෙත් ඒ සියලු කරුණු කාරණා පසෙක තබා මේ ප්‍රහාරය සඳහා පාතාලයට ආරක්ෂක අංශවල කිසියම් සහයක් ලැබුණේ ද යන්න සොයාබැලිය යුතුය. ඒ මන්දයත් මුදලට ඕනෑම ජහදුරා වැඩක් කරන ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් සිටින නිසාය. කෙසේ වෙතත් සංජීවට එදින ආරක්ෂාව ලබාදුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙන්ම බන්ධනාගාර නිලධාරින්ගේ ද ජංගම දුරකථන වාර්තා පිරික්සීම මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට විමර්ශකයන් කටයුතු කරමින් සිටිති.

අනෙක් කරුණ වන්නේ ගණේමුල්ලේ සංජීව වෙඩි වැදී විත්තිකූඩුව තුළ පණ අදිමින් සිටියදී විනාඩි 20-25ක් යනතුරුම ඔහු රෝහල කරා ගෙන යෑමට ආරක්ෂක නිලධාරීන් කටයුතු නොකිරීමය. එය හරියට මැරෙන්න ඉඩහැර බලා සිටියාක් බඳුය.

* ප්‍රහාරය මෙහෙය වූ කෙහෙල්බද්දර පද්මේ

කෝරලහාමිගේ මන්දිනු පද්මසිරි පෙරේරා උපන්නේ මිනුවන්ගොඩ කෙහෙල්බද්දර ප්‍රදේශයේය. වත් පොහොසත්කම් ඇති පවුලක හැදී වැඩුණු මන්දිනු පද්මසිරි ඉතාම හොඳ අධ්‍යාපනයක් ද ලැබුවේය. මන්දිනුගේ පියා නෙවිල්ය. කෙහෙල්බද්දර නෙවිල් යනුවෙන් ඔහු ප්‍රසිද්ධව සිටියේය. ගමේ කවුරුත් ඔහු හැඳින්වූවේ නෙවිල් මාමා කියාය.

කඳාන ඩී. මැසනොද් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ මන්දිනු පද්මසිරි අපොස උසස් පෙළ විi අංශයෙන් අධ්‍යාපනය ලැබුවේය. උසස් පෙළ විභාගයෙන් ී සාමාර්ථ 3ක් සහ ක්‍ සාමාර්ථයක් ලබාගත් මන්දිනු පසුව නිට්ටඹුව බ්‍රිටිෂ්වේ ඉංග්‍රීසි ඇකඩමියෙන් ඩිප්ලෝමාවක් ද ලබාගන්නේ ඔහු එම ඇකඩමියේ හොඳම ශිෂ්‍යාට හිමි සම්මානය ද හිමි කර ගනිමින්ය.

පසුව කොළඹ බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනයෙන් ද ඩිප්ලෝමාවක් හැදෑරූ මන්දිනු ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේය. මන්දිනුගේ පියා මහා පරිමාණ ලී මෝල් ව්‍යාපාරිකයකු වන අතර ඔහු ලොකු ධනවතකු විය. වයස අවුරුදු 23දී විවාහ වූ මන්දිනු කෙහෙල්බද්දර පිහිටි අලුතින් ඉදිකළ නිවසේ පදිංචියට ආවේය. මන්දිනුගේ පියා නෙවිල් පදිංචිව සිටියේ යාබද පැරණි නිවසේය.

මන්දිනු ශරීර අභ්‍යාස ව්‍යායාම්වල නිරත වීමට ප්‍රදේශයේ ජිම් එකකට ගිය අතර ගණේමුල්ලේ සංජීව ද ඒ ජිම් එකටම ක්‍රීඩා කිරීමට ආවේය. ඒ වනවිටත් ගණේමුල්ලේ සංජීව කොල්ලකෑම්, හොරකම් කිරීමට ප්‍රසිද්ධව සිටි අතර ඔහුගේ සහායට තවත් හත් අට දෙනකුගේ කණ්ඩායමක් ද විය. ගම්පහ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ඔස්මන් මන්දිනුගේ පියා වූ නෙවිල්ගේ කල්‍යාණ මිතුරෙකි. ඒ වනවිට ගණේමුල්ලේ සංජීව පාතාල කල්ලියකට නායකත්වය දෙමින් සිටි අතර ඔහුට අවශ්‍ය වී තිබුණේ ගම්පහ ප්‍රදේශය පුරා මත්කුඩු ජාවාරම ව්‍යාප්ත කිරීමය. මන්දිනු පද්මසිරි ද ඒ වනවිට පස් ව්‍යාපාරයට මෙන්ම කොන්ත්‍රාත් ලබාගෙන ඉදිකිරීම් කිරීමේ ව්‍යාපාරය ද කරගෙන ගියේය. ගණේමුල්ලේ සංජීව මන්දිනු පද්මසිරිට තර්ජනය කරමින් පස් ව්‍යාපාරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබිණි. පස් පොඩ්ඩා ද ඒ වනවිට සිටියේ ගණේමුල්ලේ සංජීව සමගය.

මේ ආරවුල්වල ප්‍රතිඵලයක් ලෙස සංජීව පස් පොඩ්ඩා ඇතුළු පිරිස කෙහෙල්බද්දර නෙවිල් සහ ඔහුගේ පුත්‍රයා වන මන්දිනු පද්මසිරි ඝාතනයට පිඹුරුපත් සකස් කළේය. ගණේමුල්ලේ සංජීවගේ ගෝලයන් දෙදෙනෙක් කෙහෙල්බද්දර නිවසට ගොස් නෙවිල්ට වෙඩි තබා ඝාතනය කළහ. එදින මන්දිනු නිවසේ සිටිය ද ඔහු දිවි ගලවා ගත්තේය.

තම පියා ඝාතනය මන්දිනුගේ සිතට තදින් වධ දුන් සිද්ධියක් විය. මගේ තාත්තව මරපු උන්ට මං යහතින් ඉන්න දෙන්නෙ නැහැ. උන්ගෙ පවුල් පිටින්ම නැති කරලා
දානවා.

මන්දිනු පද්මසිරි නිතරම කීවේය. ඒ වනවිට ඔහු සංජීවට එරෙහිව වෙනම පාතාලයක් බිහිකරගෙන සිටියේය. මන්දිනු පද්මසිරි කෙහෙල්බද්දර පද්මේ නමින් ඒ වනවිට කුප්‍රකටව සිටියේය. පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධව සිටි අතර ඔහු තම පියාගේ කල්‍යාණ මිත්‍රයා වූ ඔස්මන්ට එරෙහිව ද යුද්ධය ප්‍රකාශ කර සිටියේය. ගම්පහ මත්කුඩු ජාවාරමට මෙන්ම පස් කැපීමේ ව්‍යාපාරයට තදින් එරෙහි වූ පුද්ගලයකු වූ ඔස්මන් එම ජාවාරම් කරන පුද්ගලයන්ට විරුද්ධව සටන් කළේය. මේ හේතුව නිසාම ගණේමුල්ලේ සංජීව මෙන්ම කෙහෙල්බද්දර පද්මේ ද ගම්පහ ඔස්මන් පරලොව යැවීමට සිහින මැව්වේය.

එමෙන්ම ගම්පහ පාතාලයේ කිරුළ පැලඳීම සංජීව මෙන්ම පද්මේගේ එකම අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් ඔවුන් සටන් කරන්නට වූහ. අවස්ථා ගණනාවකදීම ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට උත්සාහ කළ ද ඒ සියලු අවස්ථාවලින් දිවි ගලවා ගන්නට ඔහු සමත් වුණේය.

ගණේමුල්ලේ සංජීව විසින් තම පියා ඝාතනය කිරීමේ පළිය ගැනීමට කෙහෙල්බද්දර පද්මේ සැලසුම් සකස් කළේය. ඒ සඳහා බටුවත්තේ චාමර සහ කොමාන්ඩෝ සචින්තගේ සහාය ඔහුට නොවඩුව ලැබී තිබිණි.

මෙම ඝාතන සැලසුම මෙහෙය වීමේ කාර්ය භාර වී තිබුණේ ඉෂාරා සෙව්වන්දි වෙතය. 25 හැවිරිදි වියේ පසුවන ඇය පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානම සහායිකාව විය. මීගමුව කටුවැල්ලේගම පදිංචිව සිටි ඇය පද්මේ සමග සමීප සබඳතාවක් පවත්වාගෙන ගියාය.

ගණේමුල්ලේ සංජීව ඝාතනයේ සියලු සැලසුම් සකස් කළේ ඉෂාරා සෙව්වන්දි විසින්ය. ඇය ඒ සියල්ල කළේ ඩුබායිහි හිටි කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සචින්ත ලබාදුන් උපදෙස් මතය. විශ්වාසවන්ත මිනිස්සු විතරක් මේ වැඩේට සම්බන්ධ කරගන්න. නැත්නම් දන්නවනෙ වැඩේට ඉස්සර සේරම ලීක් වෙන්න පුළුවන්. කෙහෙල්බද්දර පද්මේ ඉෂාරා සෙව්වන්දිට උපදෙස් දුන්නේය.

සංජීව ඝාතනය සඳහා ඒ වනවිට කොමාන්ඩෝ සමිඳු සම්බන්ධ කරගෙන සිටියේය. ඝාතන කොන්ත්‍රාත්තුව වූයේ රුපියල් කෝටි එක හමාරකි.

සංජීව ඝාතනයේ මහ මොළකාරිය ඉෂාරා සෙව්වන්දි

‘අපේ වැඩේට හොඳ කොල්ලෙක් සෙට්වෙලා ඉන්නෙ. මිනිහාව එවනවා ඔයාව හම්බවෙන්න. ඌත් එක්ක එකතු වෙලා වැඩේ හරියට කරන්න.

කොමාන්ඩෝ සචින්ත ඉෂාරා සෙව්වන්දිට දුරකථනයෙන් කතා කර කීවේය. ඒ අනුව ඉෂාරා කොමාන්ඩෝ සමිඳු මුණගැසුණාය. පෙබරවාරි 14 වැනි දින අත්තනගල්ල අධිකරණයට රැගෙන එන අවස්ථාවේ සංජීව ඝාතනයට මුලින් සැලසුම් කරගෙන සිටිය ද එය ව්‍යර්ථ විය. එදින සංජීව අධිකරණය වෙත රැගෙන ආවේ නැත. එදින සංජීව මරා දැමීම සඳහා කොමාන්ඩෝ සමිඳු සහ ඉෂාරා සෙව්වන්දි සූදානමින් සිටියහ.

එහෙත් ඩුබායි රාජ්‍යයෙන් කතා කළ කොමාන්ඩෝ සචින්ත කියා සිටියේ සංජීව උදරාබාධයක් වැලඳී සිටින බැවින් එදින අත්තනගල්ල අධිකරණය වෙත රැගෙන එන්නේ නැති බවය. මේ තොරතුර ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල කල්ලිය වෙත ලැබෙන්නට ඇත්තේ බන්ධනාගාරයෙන්මය. එසේ නම් ඒ තොරතුරු පාතාලයට ලබාදුන්නේ කවුද යන්න සොයාබැලිය යුතුය.

මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙයි. විමර්ශන කණ්ඩායම් පවසන්නේ සංජීවගේ ආරක්ෂාවට සිටි කිසියම් නිලධාරියකු මේ තොරතුරු පාතාලය වෙත ලබාදෙන්නට ඇති බවට සැක කරන බවයි.

පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේදී සංජීව මරා දැමීමේ සැලසුම ඒ වනවිට සකස් කර තිබිණ. ඉෂාරා සෙව්වන්දි මේ ඝාතන සැලසුම සඳහා තම බාල සොහොයුරා සහ මව ද සම්බන්ධ කරගන්නට කටයුතු කළේ විශ්වාසවන්ත පුද්ගලයන් පමණක් ඒ සඳහා යොදා ගැනීමට ලැබුණු උපදෙස් මතය.

අපරාධ විධිවිධාන සංග්‍රහය පොතේ ඇතුළත කොළ කපා එහි පිස්තෝලය රැගෙන යෑමට හැකි ආකාරයට සකස් කළේ ඉෂාරාගේ බාල සොහොයුරා විසින්ය.

ප්‍රහාරය එල්ල කිරීමට දින 4කට පෙර කොමාන්ඩෝ සමිඳු දිවුලපිටිය ප්‍රදේශයේ හෝටලයකට ආවේය. එදින ඉෂාරා සෙව්වන්දි ද ඔහු සමග ඒ හෝටලයේම නතර වූවාය. ඉෂාරා සහ සමිඳු දෙදෙනාම අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි නිසා එදින හෝටල් කාමරයේදී අයිස් මත්ද්‍රව්‍ය පානය කළහ. ඒ වනවිට ඔවුන් දෙදෙනා අතර ඉතාම සමීප ඇසුරක් ද පැවැතිණි. මොවුන් දෙදෙනා හෝටලයේ නවාතැන් ගෙන සිටින අතරතුර සාප්පු සවාරි පවා එකට ගිය අතර විනෝද වූයේ පෙම්වතුන් ලෙස හැසිරෙමින්ය. ඉෂාරාගේ සොහොයුරා ද අවස්ථා කීපයක දීම දිවුලපිටියේ පිහිටි හෝටලය වෙත පැමිණ ඔවුන් සමග ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කළේය.පෙබරවාරි 18 වැනිදා ඉෂාරා සහ කොමාන්ඩෝ සමිඳු ත්‍රිරෝද රථයකින් කඩුවෙල ප්‍රදේශයේ තවත් නවාතැන් පොළක් වෙත ගියහ. ඒ වනවිට 19 වැනිදා උදෑසන අලුත්කඩේ අධිකරණයේදී සංජීව ඝාතනය කිරීම සඳහා සියලු සැලසුම් සකස් කර හමාරය.

ප්‍රහාරය සඳහා අවශ්‍ය සියලු උපදෙස් ඩුබායි රාජ්‍යයේ සිට කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සමිඳු විසින් ලබාදෙන්නට වූහ.

19 වැනිදා උදෑසන කොමාන්ඩෝ සමිඳු සහ ඉෂාරා සෙව්වන්දි කොළඹ අලුත්කඩේ අධිකරණය වෙත ආවේ ත්‍රිරෝද රථයකින්ය. සැලසුම් කළ පරිදි ඉතාම සාර්ථක ලෙස සිය ප්‍රහාරය එල්ල කළ කොමාන්ඩෝ සමිඳු කිසිදු කලබලයකින් තොරව අධිකරණ ශාලාවෙන් පිටව ගියේය. ඇතිවී තිබූ කලබලකාරී තත්ත්වය නිසා ඉෂාරා සෙව්වන්දිට කොමාන්ඩෝ සමිඳු මඟහැරුණි. සමිඳු ත්‍රිරෝද රථයකින් මීගමුවට ගොස් එතැන් සිට වෑන් රථයකින් පුත්තලමට යද්දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට කොටු වුණේ ය.

එහෙත් ඉතාම සූක්ෂ්ම ලෙස පලා ගිය ඉෂාරා සෙව්වන්දි පුවත්පත මුද්‍රණයට යන (28 වැනිදා) වනවිටත් පොලිසියට හසුවී තිබුණේ නැත. ඇය ජංගම දුරකථන එකින් එක මාරු කරමින් තැනින් තැනට කට්ටි පනිමින් සිටීම නිසා අත්අඩංගුවට ගැනීම පහසු කටයුත්තක් නොවීය. කෙසේ වෙතත් ඉෂාරා සෙව්වන්දිට කෙහෙල්බද්දර පද්මේ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් ලබා දී තිබුණි. ඉෂාරාගේ බාල සොහොයුරා කළ කාර්ය වෙනුවෙන් ඔහුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් බැර කර තිබුණේය.

ඉෂාරා සෙව්වන්දි තැනින් තැන කට්ටි පනිමින් කළුතර ප්‍රදේශයට ගිය බව පොලිසිය සොයා ගත්තේය. කළුතර දී ඇය රන් ආභරණ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් වැය කරමින් වටිනා රන් ආභරණ මිලදී ගත්තාය. ඒ බව සොයාගත් පොලිසිය ඇය ලුහුබඳින්නට වුණේය. ඉෂාරා සෙව්වන්දි මතුගම ප්‍රදේශයට පලා ගොස් සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය මතුගම වට කළහ. එහෙත් ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගන්නට ලැබුණේ නැත. මේ වනවිට රටපුරා විවිධ ස්ථාන 50කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කළ ද ඉෂාරා සෙව්වන්දි සොයාගැනීමට හැකිවී නැත.

* කොමාන්ඩෝ සමිඳුගේ පැටිකිරිය

ගණේමුල්ලේ සංජීව ඝාතනය කර ඉන්දියාවට පලා යෑමේ අරමුණෙන් කේ.ඩී.එච්. වෑන් රථයක යමින් සිටියදී පුත්තලමේදී පොලිසියට කොටු වූ කොමාන්ඩෝ සමිඳු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආහ.

කොමාන්ඩෝ සමිඳු යුද හමුදා කොමාන්ඩෝ බළකායට බැඳී වසර කීපයක් රාජකාරි කළේය. පුහුණුවීම්වලදී මොහු දක්ෂතම වෙඩික්කරුවාට හිමි සම්මානය අවස්ථා කීපයක දීම ලබාගෙන තිබුණේය. කොමාන්ඩෝ සචින්ත සහ සමිඳු එකට හමුදාවේ සේවය කළහ. මොවුන් දෙදෙනා එදා සිටම ගජ මිතුරන් වූහ. හමුදා සේවයෙන් ඉවත් වූ පසු කොමාන්ඩෝ සචින්ත කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියට සම්බන්ධ වූ අතර ඔහු මේ වනවිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් ඩුබායි රාජ්‍යයට වී සියලු සැප සම්පත් විඳිමින් සිටියි.

හමුදා සේවයෙන් ඉවත්වූ පසු සමිඳුට හරි හමන් රැකියාවක් තිබුණේ නැත. කුලී ත්‍රිරෝද රථ රැකියාවට සම්බන්ධවූ සමිඳු ජීවිතය ගැටගසා ගන්නට උත්සාහ කළේය. ඒ වනවිට අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටි නිසා ඔහුට දෛනිකව විශාල මුදලක් අවශ්‍ය විය. ඒ වනවිටත් ඩුබායිහි සිටින කොමාන්ඩෝ සචින්ත සිය මිතුරා වූ සමිඳුට නිතර දුරකථනයෙන් කථා කරමින් සිටියේය. තමන් දැඩි මූල්‍ය අර්බුදයකින් පෙළෙන බව සමිඳු සිය කල්‍යාණ මිතුරා වූ සචින්තට කීවේය. “හරි මම උඹට සල්ලි ටිකක් දාන්නම්. වියදමට තියා ගනින් (කොමාන්ඩෝ සචින්ත මාසයකට දෙතුන් වතාවක් රුපියල් ලක්ෂය දෙක බැගින් මුදල් සමිඳුගේ බැංකු ගිණුමට බැර කළේය. සචින්ත මේ ආකාරයට මුදල් එවන්නේ අනාගත සැලසුමක් තමන් හරහා කර ගැනීමට බව සමිඳු මොහොතකටවත් හිතුවේ නැත. නිකන් මුදල් ලැබෙන නිසා සමිඳු රැකියාවක් නොකර විනෝද වෙමින් ජීවිතය ගතකරන්නට පුරුදු වුණේය. මේ අතරතුර සචින්ත දිනක් සිය අවශ්‍යතාව සමිඳුට කීවේය.

“මචං කෙරෙන්නට ඕනෙ වැඩක් තියෙනවා. මේක අපේ බොසාගෙ වැඩක්. උඹට මේ වැඩේ හරියටම කරන්න පුළුවන්. කෝටි එක හමාරක් දෙනවා වැඩේ කළාම. (සචින්ත සිය සැලසුම ගැන සියලු විස්තර සමිඳුට කීවේය. ඒ වනවිට සමිඳු වරින් වර සෑහෙන මුදලක් සචින්තගෙන් ලබාගෙන තිබූ නිසා ඔහුගේ යෝජනාවට පිටුපාන්නට හැකියාවක් තිබුණේ නැත. “හරි අපි වැඩේ කරමු. ඕනෙම දේකට මං ලෑස්තියි. මගේ අතේ සතේ නැහැ මේ වගේ ගාණක් හම්බවෙනව නම් මොනවද කරන්න බැරි.”

ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම වෙනුවෙන් තමන්ට යෝජනා කළ අතිවිශාල මුදල ගැන සමිඳු පුදුමයට පත්ව සිටියේය. ජීවිතයේ කිසිම දිනක ඒ තරම් විශාල මුදලක් තමන්ට ලැබී තිබුණේ නැත. මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන සංජීව ඝාතනය කිරීමේ භයානක තීරණය සමිඳු ගත්ත ද අවසානයේ ඔහුගේ බලාපොරොත්තු සුණු විසුණු වී ගියේය. මුදලට
ගිජුවූ සමිඳු අද සිටින්නේ මහඋළුගෙදරය.

සංජීව ඝාතනයෙන් උණුසුම් වූ ගම්පහ පාතාලය කොයි මොහොතේ නැවත පුපුරා යන්නේ දැයි කිසිවකුටත් කිව නොහැක. ගණේමුල්ලේ සංජීවගේ කල්ලිය සහ කෙහෙල්බද්දර පද්මේ කල්ලිය අතර ඇතිවී තිබෙන ගැටුම මේ වනවිට තිහ හතළිහක් බිලිගෙන හමාරය. ලේ පිපාසයෙන් පෙළෙන මේ පාතාල මැරයන් හෙට දිනයේ ද එකිනෙකා මරා ගනු ඇත. අවි ගත්තෝ නැසෙන්නේ අවියෙන්මය. එය සැබැවින්ම නිවැරදිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: