2026 පෙබරවාරි 21, පෙ.ව. 12:05
ඉගෙනීමට වයස බාධාවක් නොවන බව කියාදෙමින්, වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධිය ලබාගත් රටම ආදරය කළ ‘ලීලා අම්මා’ (විතානගේ ලීලාවතී ඇසිලින් ධර්මරත්න) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇයගේ මතකය අවදි කරමින්, ජනප්‍රිය රංගන ශිල්පිනි සංජීවනී වීරසිංහ තබන ලද සටහනයි මේ….
”ආදරණීය ලීලා අම්මා…..
ඔයත් අපිව දාලා ගියා.
මා දන්නා තරමට ලංකාවේ වයස්ගතම උපාධිධාරිණිය ඇයයි.
ලීලා ධර්මරත්න මාතාව. ආදරයට ඇය මට ලීලා අම්මා.
ඇයත් මාත් අතර කිසිදු ආකාරයක ලේ බන්ධනයක් නෑ. නමුත් සසර පුරා පතාගෙන එන ආත්මීය බැඳීමක් ඇති බව ඇය හමුවූ සැනෙකින්ම මට බොහෝ තදින් දැනුනා.
මුලින්ම ඇය ගැන මට දැනගන්නට ලැබෙන්නේ ඇගේ මිණිපිරියක් මුහුණු පොතේ ඇය පිළිබඳව තැබූ සටහනකිනුයි. එවකට මා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක් ලෙස කටයුතු කරමින් හිටියා.
ගුවන් විදුලියේ ස්වදේශීය සේවය වෙනුවෙන් “සංජීවනී සමඟ සංවේදී පැයක්” නමින් වැඩසටහනක් කරගෙන ගියේත් ඒ අවදියේමයි. එම වැඩසටහනට මා ආරාධනා කළේ කලා ලෝකයේ බැබලෙන තරුවලට පමණක් නෙවෙයි. මට අවශ්‍ය වුණේ ශ්‍රී ලාංකීය පොළොවට බරක් නොවී, විවිධ ක්ෂේත්‍රයන් හරහා ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන් වටිනා මහත්ම මහත්මීන්ව ඒ වැඩසටහනට ආරාධනා කොට, ඔවුන්ට ගෞරවයක් ලබාදීම සමගින්ම, ඒ ජීවිත කතා හරහා අසන්නාට තම තම ජීවිත ගොඩනඟා ගැනීමට හොඳ උත්තේජනයක් ලබාදීමටයි.
ඉතින්, ඉතාමත් වියපත් උනත් නොනවත්වා තම අධ්‍යාපන චාරිකාවේ ඉදිරියටම පියනගන මේ මිත්තණිය ගැන ඇගේ මිණිපිරිය තැබූ සටහනින්, මා මේ වටිනා කියන කාන්තාව පිළිබඳ සොයා බලන්නට උනන්දු වුණා. ඇය ජීවත් වෙන්නේ නාවලපිටිය ප්‍රදේශයේ කියා මට ආරංචි වූ විට මම ඇගේ දියණියක වූ ඉන්ද්‍රනීලා ජයලත් මහත්මියගේ ගේ දුරකථන අංකය සොයාගෙන ඇයට කතා කලේ කෙසේ හෝ ඇයව මගේ “සංජීවනී සමඟ සංවේදී පැයට” සම්බන්ධ කර ගැනීමේ බලාපොරොත්තුවෙන්.
ඉන්ද්‍රනීලා අක්කා… ඇයත් ගෞරවනීය ගුරු මාතාවක්.
ඉතින් ඒ දුරකථන ඇමතුම හරහා මගේ වුවමනාව ඇයට කී විට, ඇය ඉතා කැමැත්තෙන් තම මෑණියන්ව මගේ වැඩසටහනට කැඳවාගෙන ඒමට මා සමග දිනයක් කතා කරගත්තා.
එදා ලීලා අම්මා ගුවන් විදුලියට පැමිණෙන විට මා ඇයට ලස්සන මල් කළඹක් දී පිළිගත්තේ ඇගේ වටිනාකමට, ඇගේ ධෛර්යයට, ඇගේ බුද්ධියට කරන ගෞරවයක් ලෙසයි .ඇය එදා මගේ වැඩසටහනට පැමිණියේ ගෞරවනීය අමුත්තියක් ලෙස වුවත්, වැඩසටහන නිම වී ඇය පිටවගියේ මගේ හිතේ ඇය පිළිබඳව ඉතාමත් සෙනේබර බැඳීමක් පැළපදියම් කරමිනුයි. ඇය හරි පුදුම කාන්තාවක්. ඇගේ කතාව ඔබ ඇසුවා නම් ඇත්තෙන්ම එයින් මා ලැබුවා හා සමාන ධනාත්මක උත්තේජනයක් ලබාගන්නට ඇතැයි කියා මට විශ්වාසයි.
එදා ඇගේ කතාව අසන්නට තරම් වාසනාවන්ත නොවූ අය වෙනුවෙන්, හැකියාවක් වෙතොත් මා එම වැඩසටහන නැවත වතාවක් මුහුණු පොතේ බෙදා ගන්නට උත්සාහ කරන්නම්.
ආදරණීය ලිලා අම්මා, ඔබේ වියෝවෙන් අවංකවම මෙසේ කනගාටුවීමට…. ඔබේ ගුණ මතක් කරමින් ආදරයෙන් පින්දීමට මට බොහෝ හේතු කාරණා තිබෙනවා.
“දුවේ,ඉගෙන ගන්නට ඇල්මක් තියෙනවා නම් කොතරම් වයසට ගියත් අධ්‍යාපනය අත ඇර ගන්නට එපා”
…ඔබ එදා මට දුන් ඔවදන මුහුදු හතකින් එහාට ගියත් මා අමතක කළේ නෑ. ඇමරිකාවට පැමිණ ප්‍රධාන ගුරුවරියක ලෙසට පූර්ණ කාලීනව රැකියාවක් කරන අතරවාරයේදී පවා තව තවත් ඉහළට ඉගෙන ගන්නට මට පන්නරය ලබා දුන්….මට උත්තේජන සැපයූ, ඒ වචන පේළිය වෙනුවෙන් ඔබට මා කොතරම් ණයගැතිද?..
අධ්‍යාපන ක්ෂේත්‍රයේ උගත් බුද්ධිමත් වියතුන්ගෙන් පිරි සභාගර්භයන්හී මා උපාධි ලෝගු ඇඟලාගනිද්දී, මා නිපුණත්වය දරන පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳව විවිධ සම්මාන වලින් විටින් විට පිදුම් ලබද්දී , මගේ දෙමව්පියන්ට පසුව මට නිරන්තරයෙන්ම සිහිවන තවත් නමක් තිබෙනවා නම්….ඒ තමයි ලීලා ධර්මරත්න යන වටිනා නාමය.
එදා අවුරුදු කිහිපයකට පෙරාතුව ගුවන් විදුලි මැදිරියකදී ඔබ හා කළ කතාබහ අතරවාරයේ, අධ්‍යාපනයට ඔබේ ඇති නිමක් නොවනා පිපාසය මට අවබෝධ වුණු අතර, ඒ හරහා ඔබ මගේ සිතේත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නොනැවතී තව තවත් දුර යාමට ඇතිකල නොසිඳෙන ආසාව, අද ඇමරිකාවේ මා ලබනා ජයග්‍රහණවලට ප්‍රධානතම හේතුවක් බව, මගේ ලීලා අම්මාට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන අතර වාරයේ ප්‍රසිද්ධියේම පවසන්නට මම කැමතියි.
ඔබේ කුසෙන් වැදූ දුවක් නොවුනත්, අප මුණගැහුණු ඒ පැය කිහිපය ඇතුළත ඔබ මවක් සේ මට මට පෑ සෙනෙහසට මා ඔබතුමියට බොහෝ ණයගැතියි.
සුදුසාරියක් ඇඳ පැළඳගෙන සිරියාවට ඇවිත් එදා මා සමග ලෙන්ගතුව කල කතා බහ…. පොඩි කෙල්ලක මෙන් විනෝදෙන් අප සමග ගත කරපු කාලය අවසන මා දුන්න පුංචි පුංචි තෑගි වලින් ඔබ සතුටු වුණ හැටි….මට දැනුත් මැවි මැවී පේනවා.
තරුණ කාලයේම සිය සැමියා අහිමි වුවද තම දියණියන් හදා වඩාගෙන, ආරක්ෂා කරගෙන, වෙනත් විවාහයක් නොපතමින්, මුළු ජීවිතයම තම දියණියන්ගේ සාර්ථකත්වය, ආරක්‍ෂාව,සහ අධ්‍යාපනය වෙනුවෙන් කැපකල ගෞරවනීය මාතාවක් මෙසේ අවසන් ගමන් යද්දී එතුමියව ආදරයෙන්ම රැකබලා ගත් ඇගේ දුවනියන්ටත් මම මගේ වචන හරහා මල් මිටක් පුද දෙනවා. ඒ, වියපත් මව් දෙමව්පියන්ට නොසලකා හරින සමහර පාපකාරී දරුවන් ඉන්නා සමාජයක, ඇගේ දුවණියන් මොන තරම් වටිනවාද කියා මට සිතෙන නිසාමයි.
අවුරුදු අනූනමයක් ආයු වළඳා නිවන් සුව විඳීමට අපෙන් සමුගත් ආදරණීය ලීලා අම්මාට, මගේ දෙමව්පියන්ට වාගෙම විශේෂයෙන් පින් පැමිණවීමට, ලංකාවෙන් බොහෝ දුර ඈත සිටියද මා හැකි සෑම විටම කටයුතු කරනවා.
ඇත්තෙන්ම ඇය පින්කඳක්.
සංසාර මාර්ගය කෙටි කරගෙන නිර්වාණයට යාමට ඇයට බොහෝ දුරක් නැති බව මා දන්නවා.තව තවත් ඉදිරියට ඉගෙන ගැනීමට වයස බාධාවක් නොවන බව ක්‍රියාවෙන් මුළු ලෝකයටම ඔප්පු කර පෙන්වූ ආදරණීය යකඩ ගැහැණිය….
මගේ ආදර ලීලා අම්මා….
ඔබ හට දිය හැකි උත්තම ගෞරවයක් ලෙසට, අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ඉදිරියට තබනා සැම පියවරක් පාසාම, මගේ ආදරණිය දෙමව්පියන්ගේ නාමයත් සමගින් ඔබේ නාමයත්… සෙත් කවියක් සේ මගේ මුවින් මැතිරේවි…
මා ඔබ සමග ඇමරිකාවේ සිට කළ අවසාන දුරකථන සංවාදයේදී ,” දුවේ අනේ මං ඔයාට හරිම ආදරෙයි”කියා අතිශය ආදරණීය හඬකින් ඔබ කියූ අයුරු මට කිසිදා අමතක නොවේවි.
ඔයාට මාත් ගොඩාක් ආදරෙයි ලිලා අම්මා.
නොනැවතී නිවනටම යන්න. ශක්තිමත් …පිවිතුරු …ආදරණීය …ගෞරවනීය කාන්තාවක සේ ඔබ ගත කළ පරිපූර්ණ ජීවිතයට මගේ ප්‍රණාමය මෙසේ අකුරු කලෙමි. ඔබට නිවන් මගම මිස වෙන මගක් නොමැති බවද මා ස්ථිර වශයෙන්ම දනිමි
ලේ කිරි කර පොවා නැති මුත් ඔබේ ලයේ ..
මවකගේ සුවඳ දැනුනා ඔබ ළඟදි ප්‍රියේ……
ඔබෙ ගුණ සිහිව නෙත් දෙක තෙත් වෙමින් තියේ…..
අම්මල දෙදෙනෙක්ම අද මට නැතිව ගියේ…..
වියපත් වුවද දැනුමෙන් විය සන්නද්ධ….
ඇයගෙන් උගත් පාඩම් කෙතරම් වෙද්ද….
නාවලපිටිය පුරවරයේ පරසිද්ද…
ගුණ කඳ ලියන්නට කවි මදි පද බැන්ද ..
දිවියේ මුහුණ දුන් බාධක එමට ඇති….
ඒ සැම ජයගත්තු හැටි දන්නෝ දනිති…
මා දුටු යකඩ ගැහැණිය බෝ මුදු ගුණැ’ති
ඇය හට නිවන් මග නම් බෝ දුර නොවෙතී”
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:05
2026 පෙබරවාරි 20, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 19, ප.ව. 5:23
2026 පෙබරවාරි 19, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 19, පෙ.ව. 12:05
21-02-26
21-02-26
21-02-26
21-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26