hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 30, ප.ව. 2:32



නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල බෝගහවත්ත  ප්‍රදේශයේ පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියෙකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහරදීම නිසා තුවාල සිදු ලැබූ  පාසල් සිසුවියක් ඊයේ (29) තුවාල සහිතව තම රෝහලට ඇතුලත්  කල බවත්, තුවාල ලැබූ එම පාසල් දැරිය වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවූ බවත් කොටගල ප්‍රාදෙශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ශාවිත්‍රි ශර්මා මහත්මිය ඒෂියන් මිරර් වෙත පැවසුවා.

පාසලේ පැවැත්විමට නියමිත ගුරු උපහාර උළෙලක් සදහා රු.300ක මුදලක් එම පාසලේම අධ්‍යපනය ලබන තම සහෝදරයා විසින් නොගෙවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා තම සහෝදරයාට පරුෂ වචනයෙන් බැන වදින අවස්ථාවේ තමන් “සර් මල්ලිට බනින්න එපා. තාත්තා මේ ලග වැඩ කරන්නේ. මම තාත්තට කියලා සල්ලි ඉල්ලා දෙන්නම්.” කියන අවස්ථාවේ විදුහල්පතිවරයා තමන්ට කොසු මිටකින් පන්න පන්නා අමානුෂික ලෙස පහර දුන් බවත් තමා කෑ ගසන ශබ්දය ඇසි තාත්තා පාසල වෙත දිව ඇවිත් විදුහල්පතිවරයාගෙන් තමන්ව බේරා ගත් බවයි එම පාසල් සිසුවිය අප සමඟ කියා සිටියේ.

පහර කැමට ලක් වූ පාසල් සිසුවියගේ පියා කියා සිටින්නේ තමන්ට දරුවන් සිව්දෙනෙක් සිටින බවත් තම පවුලේ ආර්ථික අපහසුකම් නිසා බිරිද ගෘහ සේවයට විදේශගත වී ඇති බවයි.

මිත්තනියගේ රැකවරණය යටතේ තම දරුවන් සිව්දෙනා සිටින බවත් තම දියණිය බේරා ගැනිමට පාසල වෙත ගිය අවස්ථාවේ එම පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලයද තමන් ට බැන වැද පහර දිමට තැත් කල බව පවසමින් පහර කෑමට ලක් වු දැරියගේ පියා දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.

අප මේ සම්බන්දයෙන් එම පාසලේ විදුහල්පතිවරයාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ විනය හේතුවක් මත එම පාසල් දැරියට කුඩා කෝටුවකින් පහර කිහිපයක් ගැසූ බවයි.

පාසල් සංවර්ධන කමිටුවේ යෝජනාවක් අනුව ගුරු උපහාර උළෙල සදහා මුදල් එකතු කරනු ලබන්නේ පාසලේ ශිෂ්‍ය නායිකාවක් බවත් තමන් මුදල් ඉල්ලා එම සිසුවියට පහර නොදුන් බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.

පාසල වෙත පැමිණි එම පාසල් සිසුවියගේ පියා විසින් තමන්ට පහර දීමට තැත් කිරිම සම්බන්දයෙන් තමන්ද දිඹුල පතන පොලීසියට පැමිණිල්ලක් කළ බවද එම විදුහලේ විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසුවා.