2025 ජූලි 19, පෙ.ව. 12:09
ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවාගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපටය තුළින් තම සැමියාගේ සහ තමන්ගේ චරිත මෙන්ම දෙන්නා අතර ප්‍රේම වෘත්තාන්තයද බරපතළ ලෙස විකෘති කර ඇති බවට ක්ලැරන්ස් විජේවර්ධනගේ දයාබර බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මිය ඕස්ට්‍රෙලියාවේ සිට චෝදනා කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශීලා විජේවර්ධන මහත්මිය ජාතික පුවත්පතක කලා අතිරේකයකට (රසවින්දන – ලංකාදීප) අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ අදාළ චිත්‍රපටය සඳහා තමන්ගේ හෝ තම දියණියගේ අනුමැතිය දුන්නත් එයට පූර්ණ කැමැත්තක් නොමැති බවයි. චිත්‍රපටයේ රූපගත කිරීම් වලින් සැලකිය යුතු කොටසක් අවසන් කිරීමෙන් අනතුරුව එහි පිටපතක් තමන් වෙත ලබාදී අනුමැතිය ලබා ගැනීමට එහි නිර්මාණකරුවන් කටයුතු කළ බව ඇය සඳහන් කරයි. චිත්‍රපටයේ අන්තර්ගත සාවද්‍ය තොරතුරු හේතුවෙන් මහජනයා අතර තම පවුල අපකීර්තියට පත්වනු ඇතැයි සිය දියණිය වන අම්ලා විජේවර්ධන එහි අධ්යක්ෂවරයාට දැනුම් දුන් බවද ඇය හෙළි කළාය.
මේ චිත්‍රපටයට අපි අවසර දුන්නේ, අපෙන් ඇහුවේ චිත්‍ර පටය භාගයක් විතර රූපගතකළාට පස්සේ. පිටපතක් දැක්කෙත් ඊට පස්සේ. එහෙම කරලා තමයි අපෙන් අවසර ගත්තේ. දුව නම් මේකට කැමති නෑ. දුව චිත්‍ර පටයේ අධ්යක්ෂ තේජා ඉද්දමල්ගොඩට කතා කරලා කිව්වා, මේකේ වැරැදි දේවල් දාලා තිබෙනවා. චිත්‍රපටය බැලුවාම මිනිස්සු අපට බණියි කියලා.
ගෞරවනීය බෞද්ධ පවුලක හැදී වැඩුණු තමන්, කතෝලික දහම වැළඳගෙන කන්‍යා සොහොයුරියක් වීමට උත්සාහ කළ බවට චිත්‍රපටයේ අසත්‍ය ලෙස නිරූපණය කර තිබීම තම පාරම්පරික ගෞරවයට සිදුකළ හානියක් ලෙස ඇය දකියි. තමන් සහ ක්ලැරන්ස් විජේවර්ධන ආගම් දෙකකට අයත් වුවද, ඔවුන් අතර කිසිදිනෙක ආගමික ගැටලු මතු නොවූ බවත්, දෙදෙනාම එකිනෙකාගේ ආගමික විශ්වාසයන්ට ගරු කරමින් ජීවත් වූ බවත් ශීලා විජේවර්ධන මහත්මිය අවධාරණය කරයි.
අපි වැදගත් පවුලක හැදුණු කෙනෙක්. මගේ තාත්තා ගමේ ආරච්චිලා කෙනෙක්. ඒත් මෙකේ තිබෙන්නේ මම සිස්ටර් කෙනෙක් වෙන්න යනවා කියලයි. අපි දෙන්නා ආගම් දෙකක වුණත් කවදාවත් ආගම් ප්‍රශ්න ඇතිවුණේ නෑ. මට පන්සල් යන්න එපා කියලා නෑ කවදාවත්. මට ආගමට එන්න කියලත් නෑ කවදාවත්. ඉතින් මේක ඇත්තටම හානියක් තමයි අපේ පාරම්පරාවටත් එක්ක.
මෙම චිත්‍රපටයේ ක්ලැරන්ස්ගේ ගීත යොදාගෙන ඇති ආකාරය පිළිබඳවද ඇය සිය අප්‍රසාදය පළ කරයි. මුල් ගීතවල පැවති සංගීතමය වටිනාකම හීන වන අයුරින් ඒවා ප්‍රතිනිර්මාණය කර ඇති බවත්, එය ක්ලැරන්ස්ගේ නිර්මාණ විනාශ කිරීමක් හා සමාන බවත් ඇයගේ අදහසයි. මුදල් පසුපස නොගිය, පවුලට මෙන්ම අන් අයටද එකසේ ආදරය කළ කාරුණික පුද්ගලයෙකු වූ ක්ලැරන්ස් විජේවර්ධනගේ සැබෑ චරිතය චිත්‍රපටය තුළින් මතු නොවන බවද ඇය පවසයි.
ක්ලැරන්ස් විජේවර්ධනගේ නිර්මාණ විකෘති කරමින් වාණිජමය අරමුණු සඳහා භාවිත කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බව ශීලා විජේවර්ධන මහත්මිය තරයේ ප්‍රකාශ කරයි. ක්ලැරන්ස් ජීවත්ව සිටි සමයේ පවා සිය නිර්මාණ විකෘති කිරීමට දැඩිව විරුද්ධ වූ බව සිහිපත් කරන ඇය, නිශ්චිත ආයතන සමඟ ඇතිකරගත් ගිවිසුම්වලට අදාළ නිර්මාණ හැර, ක්ලැරන්ස්ගේ අනෙකුත් සියලුම නිර්මාණවල පූර්ණ අයිතිය තමන්ට සහ තම දියණියට හිමි බව අවසන් වශයෙන් කියා සිටී.
මීට ඉහත ශීලා විජේවර්ධන මහත්මිය ටොරානා සමාගම ක්ලැරන්ස්ගේ ගීත හිමිකම් කඩකළ බවට චෝදනා නගමින් නඩුමගට එළැඹ තිබුණ අතර එම නඩුවෙන් මිලියන 2 ක වන්දි දිනාගත්තාය.
2025 ජූලි 19, පෙ.ව. 12:05
2025 ජූලි 18, පෙ.ව. 10:59
2025 ජූලි 18, පෙ.ව. 9:43
2025 ජූලි 18, පෙ.ව. 12:12
2025 ජූලි 18, පෙ.ව. 12:08