hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 12, පෙ.ව. 12:04



කුලියාපිටිය, කබලෑව පදිංචි 31 හැවිරිදි සුසිත් ජයවංශ ඝාතනය සම්බන්ධ සියලු තොරතුරු මේ වන විට පොලිසිය විසින් සොයාගෙන හමාරය. දැනට හෙළිවී ඇති තොරතුරුවලට අනුව සුසිත් ඝාතනය වී ඇත්තේ ඔහුගේ පෙම්වතියගේ නිවෙසේදීය. එලෙස ඝාතනය වූ සුසිත් අතපය ගැට ගසා මරා රැගෙන ගොස් අතහැර තිබුණේ මාදම්පේ පොලිස් වසමේ පනිරෙන්ඩාව කැලයටය. කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයත්, කුලියාපිටිය

මූලස්ථාන පොලිසියත් එක්ව කළ මෙම විමර්ශනයේදී හෙළිවී ඇති කරුණු අනුව සුසිත්ගේ ඝාතනයට ඍජුව වගකිව යුත්තේ හතර දෙනෙකි. ඉන් එක් අයකු වන්නේ මෙහි ප්‍රධාන සැකකරු වූ සුසිත්ගේ පෙම්වතියගේ පියා වූ සිඟිති නමැත්තා බව පොලීසිය කියයි. අනෙකා ඔහුගේ මස්සිනා වූ දේවින්දය. සෙසු දෙදෙනා දැනට රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින පෙදරේරුවන් දෙදෙනාය. ඊට අමතරව සුසිත්ගේ ඝාතනයට ආධාර අනුබල දුන් දෙතුන් දෙනකුද වෙති. ඔවුන් මේ වන විට සිටින්නේද හිරගෙදරය. සුසිත්ගේ ඝාතන සුලමුලේ වැදගත් තොරතුරු හෙළිවන්නේ අවසන් වරට අත්අඩංගුවට ගත් සැකකරු  වූ සුසිත්ගේ පෙම්වතියගේ මාමා වූ දේවින්දගෙන්ය.

දේවින්ද හසුවන්නේ සුසිත් අතුරුදන්ව දින 15කට පසුවය. ඔහු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගුණරත්නට කොටුවන්නේ අහම්බෙනි. ඒ, කුලියාපිටිය නගරයට පැමිණ සිටියදීය. මොහු කුලියාපිටිය නගරයට පැමිණියේ ඔහුගේ මස්සිනා වූ සිඟිති මෙන් උසාවියට භාර වීමටද දන්නේ නැත. ඒ වන විටත් පොලිස් කණ්ඩායම් තුනක් දේවින්ද සොයමින් සිටියහ. එමෙන්ම දේවින්ද පොලිසියට කොටු වන්නේ සුසිත්ගේ ඝාතනයේ සැකය එල්ල වී තිබූ සිඟිති සහ ඔහුගේ බිරිය අධිකරණයට භාර වීමෙන් පසුවය. දේවින්දත් සිඟිති මෙන් අධිකරණයට භාර වූයේ නම් සමහර විට සුසිත් ඝාතනයේ තොරතුරු සොයා ගැනීමට පොලිසියට හැකි නොවන්නත් ඉඩ තිබුණේය. එහෙත් පොලිසියේ වාසනාවකට දේවින්ද කුලියාපිටිය නගරයේ හෝටලයක් අසලදී කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට කොටු විය.  සුසිත්ගේ ඝාතනයේ සුලමුල හෙළිවන්නේ ඉන් පසුවය.

ඔහුගෙන් නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. ඊට පෙර සිද්ධියට සම්බන්ධ පෙදරේරුවන් දෙදෙනාගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේය. පෙදරේරුවන්ගේ ප්‍රකාශ බොරු ප්‍රකාශ බව හෙළිවන්නේ දේවින්ද පොලිසියට හෙළිකළ තොරතුරුවලිනි.

සුසිත් අතුරුදන් වන්නේ අප්‍රේල් මස 22 වැනිදාය. තම දෙවැනි පුතා අතුරුදන් බව කියමින් වලකුඹුරුමුල්ල, වෙරළුගම නිවෙසේ තාවකාලිකව පදිංචිව සිටි ඉන්ද්‍රානි විජයලතා පොලිසියට පැමිණිල්ලක් කර තිබුණාය. ඒ, 22 වැනිදාය. සුසිත් අවසන් වරට හැඳ සිටියේ අත්කොට සුදු ටීෂර්ට් එකක් සහ කළු පාට කොට කලිසමක් බව ඇය පොලිසියට කීවාය. සුසිත් සිය වස්සාවුල්ල පදිංචි පෙම්වතියගේ නිවෙසට ගිය බවට ඔහුගේ මිතුරකු වූ අකිල තමාට පැවැසූ බවද විජයලතා පොලිසියට කීවාය. එදා පටන් සුසිත් අතුරුදන් කරවීමේ සැකය එල්ල වූයේ සුසිත්ගේ පෙම්වතියගේ පාර්ශ්වයටය.

එහි ප්‍රධාන සැකකරු වූයේ සුසිත්ගේ පියා වූ සිඟිතිය. තම දියණියට සාධාරණයක් සිදුකළ බව ඔහු ළඟම හිතවතකුට පවසා තිබීම සිඟිති වෙත සැක එල්ලවීමට තවත් හේතුවක් විය. කෙසේ වෙතත් කුලියාපිටිය පොලිසියට අතුරුදන් වූ සුසිත් ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවූයේ නැත. ඔවුහු සිඟිතිගේ බිරියගේ, ඔවුන්ගේ මවුපියන්ගේ ජංගම දුරකථන අංකවලට විශ්ලේෂණ වාර්තා ලබාගනිමින් ඒ ඔස්සේ කරුණු කාරණා සොයන්නට වූහ. වැලිමඩ, වැවතැන්න, කැප්පිටිපොළ පදිංචි ප්‍රසන්න සහ කීර්තිරත්න යන පෙදරේරුවන් දෙදෙනා කුලියාපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමට හැකිවන්නේ එම දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ සිදුකළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසටය.

පොලිසිය ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. එම ප්‍රශ්න කිරීමේදී අතුරුදන් වූ සුසිත් ගැන හෝඩුවාවක් ඔවුන් හෙළි කළේය. ඔවුන් පොලිසියට පැවැසුවේ සිඟිති නමැත්තාගේ කීම මත ඔහුගේ නිවෙසට පැමිණි සුසිත්ට පහරදී අතපය බැඳ ඇල්ටෝ රථයකින් රැගෙන ගොස් සිඟිතිගේ කඩිගමුවේ මහගෙදරට ගෙනගොස් දැමූ බවය. ඉන් පසු වැලිමඩ බලා පිටව ගිය බවද ඔවුහු පොලිසියට කීහ. සුසිත්ට පහරදී අතපය බැඳ දමා රැගෙන ගොස් ඇති බව පොලිසිය හෙළිකර ගත්තේ ඔවුන්ගේ කටඋත්තරවලිනි. ඒ බවට ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය ඊළඟට කළේ ඔවුන් දෙදෙනා පසුදාම අධිකරණයට ඉදිරිපත් කොට රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමය. රඳවා ගැනීමේ නියෝග මත ඔවුන්ගෙන් පැය කිහිපයක් හෝ දීර්ඝ ලෙස ප්‍රශ්න කළේ නම් සුසිත් ඝාතනයේ තවත් තොරතුරු රැසක් හෙළිකර ගන්නට පොලිසියට ඉඩ තිබුණේය. එය අඩුපාඩුවක් බව වැටහෙන්නේ ඔවුන් පොලිසියට කළ ප්‍රකාශවල බොහොමයක් සාවද්‍ය තොරතුරු වීම නිසාය.

පෙදරේරුවන් දෙදෙනාගේ ප්‍රකාශවලට අනුව සුසිත්ව පැහැරගෙන ගිය සෙසු දෙදෙනා පොලිසිය අනාවරණය කර ගත්තේය. ඉන් එක් අයකු වන්නේ සිඟිති බව පොලීසිය කීය. අනෙක් පුද්ගලයා දේවින්දය. සිඟිතිගේ මස්සිනාය. පෙදරේරුවන් අත්අඩංගුවට පත්වන විටත් එම දෙදෙනාම සිටියේ අතුරුදන්වය. අවසානයේ පොලිසිය සුසිත්ගේ අතුරුදන් වීමට ආධාර අනුබල දුන් බව කියමින් සිඟිතිගේ මව, පියා සහ බිරියගේ සොහොයුරකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒත් සුසිත් ගැන කිසිදු හෝඩුවාවක් කුලියාපිටිය පොලිසියට ඔවුන්ගෙන්ද දැනගන්නට ලැබුණේ නැත.

එහෙත් සුසිත් පැහැරගෙන ගිය බවට සැක කළ රතු පැහැති ඇල්ටෝ රථය පොලිසිය සිය භාරයට ගත්තේය. ඒ, එම රථය කුලියට ලබාදුන් කුලී ආයතනයේ තිබියදීය. 21 වැනිදා එම රථය කුලියට ලබාගෙන තිබුණේ සිඟිතිගේ මස්සිනා වූ දේවින්දය. 21 කුලියට ගත් රථය 22 රාත්‍රියේ නැවත එම කුලී ආයතනයට භාරදී තිබුණේද දේවින්දමය. කුලී ආයතනයේ හිමිකරුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ ඇල්ටෝ රථය

දී සුසුකි එව්රි වර්ගයේ රථයක් 22 වැනිදා දේවින්ද එම ස්ථානයෙන්ම ලබාගෙන ඇති බවය. ඒ තොරතුරුවලට අනුව පොලිසිය සැක කළේ සුසිත් අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය සිඟිතිව සොයද්දී ඔහු ගෙදර කට්ටිය හා දේවින්දත් සමඟ පලා යන්නට ඇත්තේ එම සුසුකි එව්රි රථයෙන් බවය. එම රථය සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතන්නේ ඉන් පසුවය. ඊට දින දෙකකට පසු එම රථය විලත්ගමුව පොලිස් වසමේ මහමඟ දමා ගොස් තිබියදී පොලිසිය සොයා ගත්තද එම රථය විලත්ගමුවට ගෙනාවේ කවුරුන්දැයි පොලිසියට සොයාගන්නට හැකි වූයේද නැත.

සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු සිඟිති සහ  ඔහුගේ බිරිය කුලියාපිටිය අධිකරණයට භාර වන්නේ මෙවන් වාතාවරණයකදීය තිබියදීය. අධිකරණය ඔවුන්ට ඇප ලබාදුන්නේය. එහෙත් ඇප කොන්දේසි ඉටු කිරීමට නොහැකි වීම මත ඔවුනට රක්‍ෂිත බන්ධනාගාර ගතවන්නට සිදුවිය. පෙදරේරුවන් දෙදෙනා ඒ වන විට සිටියේ රිමාන්ඩ් බන්ධනාගාරයේය.

ඒ වන විට අත්අඩංගුවට ගැනීමට සිටි එකම පුද්ගලයා වූයේ දේවින්දය. සිඟිතිගේ මස්සිනාය. සුසිත් පැහැරගෙන යෑමේ තවත් එක් සැකකරුවකු වූයේ ඔහුය. සුසිත් පැහැරගෙන ගොස් තිබුණේ කුලියට ලබාගත් රතු පැහැති ඇල්ටෝ රථයෙන්ය. එය පදවා තිබුණේ දේවින්දය. ඒ නිසා ඔහු සුසිත් අතුරුදන් කිරීමේ ප්‍රබල සැකකරුවෙක් විය. කුලියාපිටිය පොලිසිය ඔහු හොයන්නට ගත් වෙහෙස අපමණය.

සැකකරුවන් සොයාගත නොහැකිව සිටියදී වයඹ පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාටද තොරතුරක් ලැබිණි. ඒ ප්‍රධාන සැකකරු ඇතුළු පිරිස පොළොන්නරුවේ සිටින බවය.

ඔහු මෙම තොරතුරු කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා මඟින් පොලිස් පරීක්‍ෂක පුෂ්පික ගුණරත්නට දැනුම් දුන්නේය.

එමෙන්ම කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නිතර උපදෙස් දෙමින් හැකි ඉක්මනින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසද නියෝග දුන්නේය.

කුලියාපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිදුකළ එම විමර්ශනයට කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සම්බන්ධ වන්නේ සුසිත් අතුරුදන්ව දින හතකට පසුවය. ඒ අප්‍රේල් 29 වැනිදාය. ඉන් පසු පොලිස් පරීක්‍ෂක පුෂ්පිත ගුණරත්න ඇතුළු කණ්ඩායමක්ද දේවින්ද සොයා මුළු රටම පීරූහ. කෙසේ හෝ විමර්ශනවල කිසියම් වාසනාවකට පොලිස් පරීක්‍ෂක ගුණරත්නට දේවින්ද කුලියාපිටිය නගරයේදීම කොටුකර ගත හැකි විය. එහිදී ඔහු එම ඒකකයට පැවැසුවේ මෙවැන්නක්ය.

“(අප්‍රේල් 21) සුසිත් අතුරුදන් වන්නට කලින් දිනයේ මම සිඟිති අයියගෙ ගෙදරට ගියා. ගෙදර තවත් දෙන්නෙක් හිටියා. එයාලා එදා උදේ  තමයි ගෙදර ඇවිත් හිටියේ. සිඟිති අයියා කිව්වා දුවව කොල්ලෙක් රේප් කරලා තියෙනවා කියලා. ඒක කරපු කොල්ල අද ගෙදර එනවා කියලා.”

රෑ 7.30ට විතර ඒ කොල්ලා ජීප් එකකින් ගෙදරට ආවා. ඒ පාර සිඟිති අයියා ඒ කොල්ලට කිව්වා අද ගෙදර කට්ටිය ඉන්නවා හෙට එන්න කියලා.

22 වැනිදා උදේ මම ආයෙත් සිඟිති අයියගේ ගෙදරට ගියා. පිටස්තර දෙන්නත් ඒ වෙලාවේ ගෙදර හිටියා. අරූ තව ටිකකින් මෙහෙ එනවා කියලා සිඟිති අයියා කිව්වා. සුදු පාට ටීෂර්ට් එකකුයි කළු කොට කලිසමකුයි ඇඳගෙන ඒ කොල්ලා ආවා. අයියා කොල්ලගෙන් ප්‍රශ්න කළා. ඒ ගෙදර සාලයේ තියාගෙන. ඒ වෙලාවේ එයාගේ දුවත් හිටියා.

දුවව රේප් කළ එක ගැන අහමින් ගැහැව්වා. ඒත් එයා කිව්වේ එයා නෙමේ රේප් කළේ කියලා. ඒත් දුව කිව්වා එයා තමයි එහෙම කළේ කියලා. පස්සේ සිඟිති අයියා යළි ඒ කොල්ලට ගැහැව්වා. අපේ අක්කා සුසිත්ගේ අතේ තිබුණු ෆෝන් එක ගත්තා. පිටින් ආව දෙන්නයි අයියයි එකතුවෙලා ඒ කොල්ලව ලණුවලින් බැන්දා. මම රතු පාට ඇල්ටෝ කාර් එක රිවස් කරලා ගැහැව්වා. පස්සේ අපි කොල්ලව ඒකට දාගත්තා සිඟිති අයියා ඉස්සරහින්

නැග්ගා. කොල්ලා පිටිපස්සේ සීට් එකට දාගත්තා. පිටින් ආපු දෙන්නා පිටිපස්සේ හිටියා. පස්සේ තමයි අපි පනිරෙන්ඩාව කැලේට ආවේ. කැලේට යන පාර කිව්වේ ඉස්සරහ හිටිය සිඟිති අයියා. පස්සේ කොල්ලව කැලේ ඇතුළට අරගෙන ගියා. අතපය ඇස් බැඳලා තිබුණත් එයාගේ කකුල් බැඳලා තිබුණේ නැහැ. මීටර් 150ක් විතර ඇතුළට ගියා. මම එයාලගේ පස්සෙන් ගියා. මහෝගනී ගහක් ළඟ නැවතුණා. එතැන හුඹහකුත් තිබුණා. එතැනදී තමයි ලණුවකින් බෙල්ල මිරිකුවේ. පස්සේ ඒ කොල්ලගේ ඇඳුම් ඉරලා ගැලෙව්වා.”

සැකකාර සිඟිතිගේ මස්සිනා වු දේවින්ද පොලිසියට කීවේය.

“දැන් උඹට කැලේ දාපු මිනිය පෙන්නන්න පුළුවන්ද?”

පොලිස් පරීක්ෂක පුෂ්පිත දේවින්දගෙන් විමසුවේය. පුළුවන් සර්”

සැකකාර දේවින්ද එසේ පවසද්දී පොලිස් පරීක්ෂක ගුණරත්නගේ මතකය අවදි විය. මීට පෙර කිහිප වතාවක්ම පනිරෙන්ඩාව රක්ෂිතය සෝදිසි කළ බව ඔහුට වැටහිණි. එහෙත් එම සෝදිසි කිරීමේදී පොලිසියට කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැත.

පොලිසිය එලෙස සෝදිසි කළේ මෙම රක්ෂිතයට රතු පැහැති ඇල්ටෝ වර්ගයේ රථය ඇතුළු වන ආකාරය ඒ අසල ස්ථාපිත සීසීටීවී කැමරාවක සටහන් වී තිබීම නිසාය.

නිලධාරීන් වනයේ තිබූ ළිං හතක් පමණ සෝදිසි කළේය. ඒ සුසිත් මරා එම ළිඳකටවත් දැමුවේ දැයි යන සැකය මතය. වනය තුළ අලුතෙන් කපන ලද වළවල් ඇත්දැයි පරීක්ෂා කළේය. පොල්කටු පුලුස්සන විශාල ප්‍රමාණයේ බොයිලර් රැසක්ද නිලධාරීන්ගේ සෝදිසියට ලක්විය. එම බඳුනකට දමාවත් සුසිත් පිලිස්සුවේදැයි දැනගන්නටය. එමෙන්ම සුසාන භූමි කිහිපයක්ද නිලධාරීහු පරීක්ෂා කළහ. මළ සිරුරු තැන්පත් කරන ලද වළවල් රැසක්ද සෝදිසියට ලක්කෙරිණි. ඒ කිසිදු තැනකින් සුසිත් ගැන හෝඩුවාවක් නිලධාරීන්ට ලැබුණේ නැත. පනිරෙන්ඩාව රක්ෂිතය අක්කර 1000ක පමණ භූමි භාගයක් පුරා පැතිර ඇත. ඒ නිසා දේවින්ද කියන පරිදි සුසිත්ගේ සිරුර රක්ෂිතයේ වෙනත් තැනක දමන්නට ඇති බව විශ්වාස කළ නිලධාරීහු දේවින්ද සමඟ පනිරෙන්ඩාව රක්ෂිතයට ගියහ.

දේවින්ද සුසිත්ගේ මළ සිරුර දැමූ තැන නිලධාරීන්ට පෙන්වීය. ඒ වන විටත් සුසිත්ගේ මළසිරුර කුණු වී දියවී තිබුණේය. ඔහුගේ සිරුරේ රහසඟ පවා පෙනෙන්නට නොවීය. ඒ සුසිත්ගේ මළසිරුර පොලිසියට හසුවන්නේ දින 15කට පසුව වීම නිසාය.

ඊට පෙර නිලධාරීන් රක්ෂිතය අවට සීසීටීවී කැමරා නිරීක්ෂණය කර තිබුණේය. එහි එක් කැමරාවක රතු පැහැති ඇල්ටෝ රථය උදේ 10.48ට රක්ෂිතයට ඇතුළු වන අයුරු සටහන් වී තිබිණි. දුරකථන විශ්ලේෂණ වාර්තාවට අනුව සුසිත් එම රථයේ දමාගෙන වස්සාවුල්ල නිවෙසින් රථය පිටවන්නේ උදේ 10.40ටය.

ඒ අනුව පොලිසිය කියන්නේ විනාඩි 8ක් ඇතුළත මොවුන් සුසිත්වද දමාගෙන කිලෝ මීටර් 13ක් පසුකර පනිරෙන්ඩාව රක්ෂිතයට පැමිණ ඇති බවය.

කෙසේ හෝ සුසිත්ගේ මළසිරුර තිබූ ස්ථානයට හලාවත ‘සොකො’ නිලධාරීන් මහෙස්ත්‍රාත්වරයා හා අධිකරණ වෛද්‍යවරයාද පැමිණ සිටි අතර සොකො නිලධාරීන් විසින් එම කැලය තුළම තිබී සුසිත්ගේ ඇඳුම් සොයාගනු ලැබීය. මහෙස්ත්‍රාත්වරයාගේ නියමයෙන් මළසිරුර හලාවත මෘත ශරීරාගාරය වෙත රැගෙන ගිය අතර ඉන් පසුව සුසිත් කෙසේ මරණයට පත්වූයේ දැයි දැනගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වනු ලැබීය.

හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වයි.එම්.පී. ඉලංගරත්න බණ්ඩාර විසින් පවත්වන ලැබූ එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාදී තිබුණේ විවෘත තීන්දුවකි. එහි සඳහන් වන්නේ මෙවැන්නකි.

මෘත ශරීරය ඉතා දැඩි ලෙස නරක් වී ඇත. මෘත ශරීරයේ ස්ථාන කිහිපයකම මෘදු පටක නරක් වී ගොස් ඇති නිසා ඊට පහළින් ඇති අස්ථි බාහිරව නිරාවරණය වී ඇත. එම තත්ත්වය මුහුණේ, හිසෙහි, වම් උකුල ප්‍රදේශයේ හා දකුණු කකුලේ දක්නට ඇත.

සාමාන්‍ය ගනකමකින් යුතු කොහු ලණු දෙකක් පොටවල් කිහිපයකින් ඔතා මෘත ශරීරයේ ගැට ගසා ඇත. පළමු කොහු ලණුව පොටවල් කිහිපයකින් යුක්ත වන අතර එය බෙල්ලට හිරවන සේ පොට කිහිපයකින් බෙල්ල වටා යවා ඇත. එම ලණුවේ අනෙක් කෙළවර දකුණු කකුලේ වළලුකරට ඉහළින් ගැටගසා තිබේ. එම නිසා දකුණු කකුල සම්පූර්ණයෙන්ම ශරීරයේ පිටුපසින් බෙල්ල දෙසට නැමී ඇත. එම කොහු ලණුවේ බෙල්ල හා දකුණු කකුලේ වළලුකර අතර තොණ්ඩු දෙකක් ලෙස සකසා තිබේ.

දෙවැනි කොහු ලණුව වම් අතේ මැණික්කටුව ආසන්නයේ ගැට ගසා ඇත. එම ස්ථානයෙන්ද තොණ්ඩුවක් සෑදෙන ආකාරයට සකසා තිබේ. මෙම කොහු ලණු ශරීරයට බැඳ ඇති ආකාරය හා තොණ්ඩු පිහිටා ඇති ආකාරය විශ්ලේෂණය කළ පසු එම තොණ්ඩු හරහා ලීයක් වැනි යමක් දැමීමෙන් මෙම පුද්ගලයා මරණයෙන් පසුව ඔසවාගෙන යෑම සඳහා භාවිත කර ඇති බව පෙනේ.

එමෙන්ම අධිකරණ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මීට බාහිරව ලිංගික අවයව කිසිම දෙයක් මෙම අවස්ථාවේ දක්නට නොලැබුණු බවකි.

ස්ථානීය පරීක්ෂණයේ නිරීක්ෂණ හා කොහු ලණුවලින් සකසන ලද තොණ්ඩු විශ්ලේෂණ කළ විට දළ අදහසක් ලෙස ප්‍රකාශ කළ හැක්කේ මෙම පුද්ගලයා වෙනත් ස්ථානයක මරණයට පත්වීමෙන් පසු මෙම ස්ථානයට ගෙනැවිත් දමා ඇති බව පවසන අධිකරණ වෛද්‍යවරයා මෘත ශරීරය නරක් වී ඇති නිසා අභ්‍යන්තර අවයවද දැඩිලෙස නරක් වී ඇති බවත් සති දෙකකට ආසන්න කාලයකට ඉහතදී මෙම මරණය සිදුවූ බව දළ වශයෙන් ප්‍රකාශ කළ හැකි බවත් පවසයි.

ඒ අනුව පොලිසිය සැක කරන්නේ සුසිත් ප්‍රධාන සැකකරුගේ නිවෙස තුළ මරා ලණුවලින් ගැටගසා පනිරෙන්ඩාව කැලයට ගෙනැවිත් සිරුර අතරින් පොලු කැබැල්ලක් යවා ඔහුගේ සිරුර එහි පටලවා කැලය තුළට ගෙනැවිත් දමන්නට ඇති බවය. ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට ගත් පෙදරේරුවන් දෙදෙනා මෙන් සිඟිතිගේ මස්සිනා වන දේවින්ද පවසන්නේද බොරු බව පොලිසියට වැටහිණි.

පෙදරේරුවන් පවසන්නේ සුසිත්ට පහරදී අත් පා බැඳ ඇල්ටෝ රථයට දමාගෙන සිඟිතිගේ මහ ගෙදරට පැමිණි බව පමණකි. සුසිත්ට පහරදී ඇල්ටෝ රථයට දමාගෙන පනිරෙන්ඩාව කැලයට සුසිත් ගෙන ඒමට පෙදරේරුවන්ද එක්වූ බවට දේවින්ද කරන ප්‍රකාශය නිසා පෙදරේරුවන් පවසන්නේ බොරු බව පොලිසිය කියයි.

එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසන්නේ සුසිත්ව වෙනත් ස්ථානයක මරා පනිරෙන්ඩාව වනයට ගෙනැවිත් ඇති බවකි. ඒ අනුව පෙදරේරුවන්ගේ ප්‍රකාශද බොරු බව පැහැදිලි වේ. දේවින්ද ද පොලිසියට මුලින් පැවැසුවේ සුසිත් වනය තුළ මරා දැමූ බවයි. ඒ අනුව ඔහුගේ ප්‍රකාශයද මුසාවක් බව අධිකරණ වෛද්‍යවරයාගේ තීරණයෙන් පැහැදිලි වේ. ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නැවතත් දේවින්දගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ඒ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙනි. එවිට ඔහු පොලිසියට පවසා ඇත්තේ තමා මුලින් කීවේ බොරුවක් බවයි.

ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් සත්‍ය තහවුරු කර ගැනීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පෙදරේරුවන් දෙදෙනාගෙන් නැවත ප්‍රකාශ ලබාගත යුතු බවකි.

එමෙන්ම පොලිසියට තවත් තොරතුරක් ලැබී ඇත. සුසිත් පනිරෙන්ඩාව කැලයට ගෙන යද්දී ප්‍රධාන සැකකරු මුවහත් කඩුවක්ද රැගෙන ගොස් ඇති බවය. එම කඩුවෙන් පහරදී සුසිත්ගේ ශරීර අවයව කැපුවේ දැයි පොලිසියට සැකයකි.

පොලිසියට මෙන්ම අධිකරණ වෛද්‍යවරයාටද එය එක එල්ලේ කිව නොහැක්කේ සුසිත්ගේ සිරුර බොහෝ සේ නරක්ව තිබීම හේතුවෙනි.

මෙලෙස සුසිත්ට පහරදී ඇත්තේ සුසිත් අතින් සිය පෙම්වතිය ගැබ් ගැනීම නිසාය. එහෙත් සුසිත් ඒ බව පිළිගෙන නැත. තමා අතින් ඇයට එවන් වරදක් සිදු නොවූ බව ඔහු දිවුර දිවුරා පවසා ඇත.

ඒ මොහොතේ පෙම්වතියද පවසා ඇත්තේ තමා ගැබ් ගත්තේ සුසිත් අතින් බවය. එහෙත් එයද සුසිත් පිළිගත්තේ නැත.

එය පිළිගෙන පෙම්වතිය  භාර ගන්නා ලෙස කරන ලද ඉල්ලීමද සුසිත් ඉවත දමා ඇත්තේ ඇගේ කුසේ සිටින දරුවා තමාගේ නොවන බව කියමිනි. සුසිත් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ඉන් පසුවය.

සුසිත්ද හොඳ චරිතයක් ඇත්තකු නොවන බව පොලිසිය කියයි. ඔහු විවාහයෙන් දික්කසාද වූ අයෙකි. එමෙන්ම තවත් පෙම්වතියක් ඇසුරු කළ තැනැත්තෙකි. ඉන් එක් පෙම්වතියකගෙන් පොලිසිය ප්‍රකාශද සටහන් කරගෙන තිබේ. ඇයද සුසිත් නිසා ගැබ්ගත් බවත් පසුව එම ගැබ විනාශ කර ඇති බවත් සඳහන් ය.

සුසිත්ගේ මරණයට සිඟිතිගේ දායකත්වය මෙම තොරතුරුවලින් පෙදරේරුවන් සහ ඔහුගේ මස්සිනා පොලිසියට දුන් ප්‍රකාශවලින් පැහැදිලි වන බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් මස්සිනා පවසන්නේ සුසිත් ඝාතනය කිරීමට ඔහු සම්බන්ධ නොවූ බවකි. එහෙත් සුසිත්ගේ සිරුර ඇල්ටෝ රියේ දමාගෙන යද්දී එම රිය පදවා ඇත්තේ දේවින්ද බව පොලිසිය හෙළි කරගෙන තිබේ. එමෙන්ම ප්‍රධාන සැකකරු පලාගිය සුසුකි එව්රි රිය පදවාගෙන ගොස් ඇත්තේ දේවින්ද බව පොලිසිය කියයි.

මෙවන් තොරතුරු මත පොලිසිය පවසන්නේ සුසිත් මරා දැමීමේ ප්‍රධාන සැකකරුවන් ලෙස සුසිත්ගේ පෙම්වතියගේ පියා සිඟිති ඔහුගේ මස්සිනා දේවින්ද, ප්‍රසන්න සහ කීර්තිරත්න නමැති පෙදරේරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති බවයි. ඊට අමතරව සිඟිතිගේ පියා, මව සහ ඥාතියෙක්ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. ඒ සුසිත්ගේ මරණයට ආධාර අනුබල දුන් හෙයිනි. සුසිත් ගැටගැසීම සඳහා රෙදි පටි ගෙනත් දීම මින් එක් අයකු කර තිබේ. සුසිත්ගේ ජංගම දුරකථනය පැහැරගෙන ඇත්තේ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටින තවත් අයෙකි.

මේ වන විට සිඟිති සහ ඔහුගේ බිරිය සිටින්නේ ද රක්ෂිත බන්ධනාගාරගතවය. ඔවුන්ට ඇප හිමිවුවද ඇප කොන්දේසි සැපිරීමට නොහැකිවූ නිසා ඔවුන් මෙලෙස රිමාන්ඩ් ගතකර තිබේ. ඒ අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ අදාළ සිද්ධිය මිනීමැරුමක් බව හෙළිවීම නිසා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිඟිති සහ ඔහුගේ බිරිය මීට අත්‍යවශ්‍ය සැකකරුවන් බැවින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පොලිසිය කළ එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය ඊට අනුමැතිය ලබාදුන් අතර ඒ අනුව සිඟිතිත් ඔහුගේ බිරියත් ඉකුත් 9 වැනිදා කුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර කුලියාපිටිය මහෙස්ත්‍රාත් විසින් ඔවුන් වෙත ලබාදී තිබූ ඇප අවලංගු කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව ඔවුන් ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පොලිසිය භාරයේ සිටින සැකකරු මඟින් අනාවරණය වූ තොරතුරුවලට අනුව මෙම සැකකරුවන් දෙදෙනාගෙන්ද ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිසිය මෙහිදී සඳහන් කර තිබිණි. එමෙන්ම මෙම නඩුවේ එක් සැකකරුවකු පනිරෙන්ඩාව රක්ෂිතය වෙත රැගෙන යෑමටද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක්ද කර තිබිණි. බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමටත් අදාළ සැකකරු බන්ධනාගාර නිලධාරීන් භාරයේ රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂාව සිදුකරන ලෙසත් අධිකරණය අවසර ලබාදුනි.

මේ අනුව සුසිත් ඝාතනය සම්බන්ධයෙන් ලැබී ඇති ප්‍රකාශ තහවුරු කර ගැනීම සඳහාත් සුසිත් ඝාතනය කළ ආකාරය අනාවරණය කර ගැනීම සඳහාත් පොලිසිය ඉදිරියේදී බන්ධනාගාරගත කර සිටින සිඟිතිගෙන් සහ ඔහුගේ බිරියගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතය. එම ප්‍රශ්න කිරීමේදී සුසිත් ජයවංශගේ ඝාතනය සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු හෙළිවනු ඇතැයි පොලිසිය බලාපොරොත්තු වේ.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: