hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 23, පෙ.ව. 12:09



උද්දික ප්‍රේමරත්න කියන්නේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි, මේ දිනවල පුංචි තිරයේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනු පිරිමි ළමයිහි සුරේන් තිරිමාන්න වන්නේත් ඔහුයි.

පුංචි තිරයෙත් සිනමාවෙත් අසීමිත ප්‍රේක්ෂක ආදරේ ආකර්ෂණය දිනා ගත් උද්දික ප්‍රේමරත්න මෙවරත් රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම සම්මානය හිමි කරගත්තේ නැවත නැවතත් ජනතාවගේ හදවතේ රැඳී සොඳුරු රංගන ශිල්පියා ලෙස තහවුරු කරමින්. 

පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් දක්වා සිටියා.

මෑත කාලයේ බොහෝ ප්‍රේමවන්තයන් විවිධ කලා නිර්මාණවලින් මතුවුණත්, ඔබට විශේෂ ආදරයක් ප්‍රේක්ෂකයන්ගෙන් හිමි වෙනවා, මෙවර එය තවත් තහවුරු කරමින් රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම සම්මානය දෝත දරන්න ඔබ වාසනාවන්ත වුණා, අපි එතැනින්ම කතාව පටන්ගමු. මේ ලැබෙන ආදරණීය ගෞරවයට කියන්න දෙයක් ඇති ?  

කලා ශිල්පියෙකුට ප්‍රේක්ෂකයන්ගෙ ආදරය තරම් වටිනා වෙනත් කිසිවක් නැහැ. ක්ෂේත්‍රයේ පැවැත්ම ඔවුන්ගෙ ආදරය මත රඳා පවතිනවා. ජීවිතේ අනේකවිධ අභියෝග අස්සෙ තමන් ආදරය කරන රංගන ශිල්පියෙක් වෙනුවෙන් ඔවුන් කරන මේ කැපවීම ගැන මම හැමදාම පුදුම වෙනවා. සමාජ මාධ්‍යවල එක එක ගෘප් හදාගෙන ඔවුන් මේ සම්මානය වෙනුවෙන් කැම්පේන් කළා. ඔවුන් එක එක කාලෙට රෙහාන් අලුවිහාරේ, සුරේන් තිරිමාන්න වගේ චරිත එක්ක ආදරෙන් බැඳෙනවා. ඒත් මට දැන් තදින් දැනෙනව ඒ සියල්ලටම උඩින් ඔවුන්ගෙ හිත්වල උද්දික ප්‍රේමරත්න කෙරෙහි තියෙන ආදරය. ඒ ආදරයට මාත් හදවතින්ම ආදරෙයි කියනවට වඩා එයින් එහාට මට ඒ ගැන ලොකු වගකීමක් තියෙනව කියල හිතෙනවා. ඔවුන්ගෙ රසාස්වාදය වෙනුවෙන් මම යමක් කළ යුතුමයි.

ඔබ ගැයූ බොහෝ කවර් සෝන්ග් ප්‍රේක්ෂක ආදරේ ඉහළින්ම දිනා ගන්නට සමත් වුණා, ඔබේම ගීත කිහිපයක් කරන්න අදහසක් නැද්ද?

තියෙනවා. ඒ වෙනුවෙන් කාලය වෙන් කරලයි තියෙන්නෙ. ගීත කිහිපයක් ගැන මේ දවස්වල කතා කරමින් ඉන්නවා. මිනිස්සුන්ට දැනෙන රහක් තියෙන්නත් ඕන නේ. ඒ නිසා කලබලෙන් ගීත නිර්මාණය කරලා වැඩක් නැහැ.බොහෝ කලාකරුවන් දේශපාලනය කරන්න ගිහින් ප්‍රේක්ෂකයන්ගෙන් ඈත් වුණා. හැබැයි උද්දිකව තවදුරටත් අවශ්‍ය සොඳුරු කලාකරුවෙක් ලෙසින් කියන එක ජනතා මතය හැමදාම ඔප්පු කළා, ඒ ගැන කියන්න දෙයක් ඇති..

නියම ජනතා මෙහෙවරකට තියෙන හොඳම වේදිකාව, පිරිසිදු දේශපාලනය කියලා මම අදත් විශ්වාස කරනවා. නමුත් අවාසනාවකට අපේ රටවල්වල තියෙන දේශපාලන සංස්කෘතියෙ පරිහානිය නිසා ඒක යථාර්ථයක් බවට පත්කරන එක පුදුම අසීරු වැඩක්. නළුවෙක් විදියට රඟපෑවට මට දේශපාලනඥයෙක් විදියට රඟපාන්න අමාරුයි. දැනට මම කලා ශිල්පියෙක් හැටියට ජනතා බලාපොරොත්තු ඉටුකරමින් ඉන්නවා. ඒත් ජනතාවාදී දේශපාලනඥයන් පිළිබඳ ප්‍රාර්ථනා අපි අත්හළ යුතු නෑ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: