hit counter

2026 ජනවාරි මස 11 වන ඉරිදා

2026 ජනවාරි 12, පෙ.ව. 12:07



මේක පරම්පරා 4ක ආදරණීය කතාවක්.

කතාව කියන්නෙ, ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගෙ මිණිපිරියක්. ඒ කියන්නෙ වික්ටර් රත්නායකයන්ගේ ලෙකු දුව, චාන්දනී රත්නායකයන්ගෙ වැඩිමල් දියණිය….

”වික්ටර් රත්නායක නම කියද්දිම ලංකාවම දන්න , ආදරේ කරන, වැඩි පිරිසක් ගෞරවය කරන චරිතයක් වුන කෙනෙක්ගේ සෙවණේ මිණිබිරියක් වෙලා ඉපදෙන්න මම ලොකු වාසනාවන්තියක් වෙන්න ඇති.

ඉතින් මේ අපේ සීයා, පළවෙනි පරම්පරාව. වික්ටර් රත්නායකයන්ගේ ලෙකු දුව, චාන්දනී රත්නායක මගේ අම්මා තමයි දෙවෙනි පරම්පරාව,ඒ ලොකු දුවගේ ලොකු දුව මම තමයි තුන්වෙනි පරම්පරාව. පවුලේ මුණුබුරු මිණිබිරියන්ගේ දෙවෙනියා මම. මගේ දුව පවුලේ ලොකු මී මිණිබිරි තමයි හතරවෙනි පරම්පරාව.

පුංචි කාලේ අපිට සීයා නිසා ගොඩක් අත්දැකීම් ලැබුනා. සීයා එක්ක කොහේ හරි යනකොට මිනිස්සු ඇවිල්ලා කතා කරලා ඒ ලැබෙන පිළිගැනීම ආදරේ දැක්කම සමහර වෙලාවට අපිට පුදුමයි.

සීයගේ වැඩ වලදි ඉස්සර නිතරම අම්මා සීයා එක්ක එහෙ මෙහේ යනවා. ඉතින් අපිවත් එක්කන් තමයි යන්නේ.අපි මහ ගෙදර නැවතිලත් හිටියා අවුරුදු ගානක්. සීයගේ ආදරේ වගේම තමයි නීතිත්. පොඩි කාලේ ඇත්තටම මම සීයට හරි බයයි. මල්ලි තමයි සීයට සමීපම කෙනා. සීයා අපිව නිතර කන්න එළියට එක්කන් යනවා. රට ගිහින් එනකොට තෑගි ගේනවා. පොඩි දෙයක් හරි ගේන්න බැරි වුනොත් ඔක්කොටම මෙහෙන් තෑගි අරන් දෙනවා. සීයා අපිට කරපු දේවල් ලියන්න ගියොත් සෑහෙන ලියන්න වෙනවා.

ඉතින් ඔහොම කාලයක් ගියා. අපි ලොකු වුනා. හැබැයි ජීවිතේ එක කාලයක් අපිට සීයව මඟ ඇරුණා. එක එක හේතු කාරනා ගොඩක් ඇති ඒකට. එක එක්කෙනාගේ මානයෙන් තම තමන් ගත්ත තීරණ වලට සාදාරණ හේතු ඇති. හැබැයි මගේ විශ්වාසය සීයා මට කවදත් මගේ සීයා. කසාද බඳින්න කලින් අම්මට අප්පච්චිට අමතරව මට වැඩියෙන්ම අවශ්‍ය දේවල් හොයලා බලලා ගොඩක් තැන් වලදි මට උදව් කලේ සීයා. කොච්චර ඈත් වුනත් ඒ දේවල් අමතක වෙන්න තරම් මගේ හිත නරක නෑ.

මට දුව හම්බුනාම ලොකු ආසාවක් තිබුනා සීයට දුවව පෙන්නන්න. මොකද සීයගේ පළවෙනි සහ එකම මී මිණිබිරි මගේ දුව. සීයගෙන් පස්සේ තුන්වෙනි පරම්පරාවේ පළවෙනියා.

වසර කිහිපයකට පස්සේ මට අවස්ථාව හම්බෙනවා සීයගේ උපන් දිනේට මල්ලි සහ හසන්ති නැන්දා එක්ක සීයගේ ගෙදර යන්න. එදා මට පුදුම සතුටක් දැනුනේ. ඉතින් දුවවත් අරන් මම සීයගේ ගෙදර ගියාට ඉතින් එදා ලොකු පිරිසක් හිටිය නිසා සීයා එක්ක ලොකු වෙලාවක් රැදෙන්න බැරි වුනා. මගේ දුව සීයාව ඇත්තට දැකලා තිබුනේ නැති වුනාට ගෙදර තියන පින්තූර , වීඩියෝ දැකලා සීයට දුව කිව්වේ සීයා සීයා කියලා. ඉතින් එදා යද්දි දුව සීයා සීයාට උපන්දින සුබ පැතුම් පතක් හදන් ගියේ. ඊට පස්සේ කිහිප වතාවක් අපි සීයගේ ගෙදර ගියා.

හැම කෙනෙක්ගෙම ජීවිතේ පවුලක් ඇතුලේ ආදරය කරුණාව එකමුතු කම වගේම කාලෙන් කාලෙට ප්‍රශ්ණ එන්නත් පුලුවන්. හැබැයි ඒ මොන ප්‍රශ්ණ ආවත් පරණ හොඳ ,කරපු දේවල් අමතක කරන්න එපා කවදාවත්. අපි ජීවත් වෙන හැමෝගෙම ජීවිත ගැන වගකීමක් නෑ. අද හෙට මොනවා වෙයිද අපි දන්නෙත් නෑ. හැමොගෙම වැරදි කිය කිය ඉන්න අපි අපෙන් වෙච්ච වැරදි දකින්නේ නෑ.

විශේෂම දේ ප්‍රසිද්ද පුදගලයෙක් වුනාම පුද්ගලික ජීවිතයේ ඇතුලාන්තය නොදන්න අය පවා කතා මවලා කියනවා සහ මවන කතා හෝ ඇත්ත කතා වුනත් හරියට විවේචනය වෙනවා.කොච්චර හොඳ කරත් බනින වැරදි කියන පිරිසක් ඉන්නවා වගේම කොච්චර වැරදි කරත් ඒවගෙත් හොඳ දකින පිරිසකුත් ඉන්නවා.

ඉතින් මේ දිගට විස්තර ලිව්වේ අලුත් අවුරුද්දේ සීයාව බලන්න යන්න දින දාගෙන තිබ්බත් හදිස්සියේ එදා යන්න බැරි වුනා. හැබැයි මල්ලිගේ වැඩකට සීයා එක්ක පුංචි කතාබහක් කරන්න තිබුන උවමනාව නිසාම ඊයේ හදිස්සියේ අපි හවස සීයගේ ගෙදර ගියා.

අනේ ඉතින් පරණ මතක විතරක් නෙමෙයි සීයා තාමත් සංගීත පුස්තකාලයක්. පරණ සින්දු ගැන හැම විස්තරයක්ම මතක් කර කර, සිංහල විතරක් නෙමෙයි පරණ හින්දි ගීත වල ගායකයොන්ගේ ඉදන් හැම විස්තරයක්ම තාම මතකයි. විහිලු කතා , ගීත ගැන කතා එක්ක පැය කිහිපයක් ඉදලයි අපි ආවේ.

දුව එක්ක සීයා කතා කරද්දි ඒ සතුට , දුව සීයගේ පින්තූර බලද්දි සීයා දුව දිහා ආදරෙන් බලන් ඉන්න හැටි, දුව සීයා සීයා කියලා කතා කරද්දි ඒ මූණේ සතුට ගැන මටත් ලියන්න වචන හිතාගන්න බෑ.

කොහොම හරි ලංකාවෙම නම දන්න, ප්‍රසිද්ද ,කිසිදා සම කල නොහැකි ගායකයෙක් ගේ මිණිබිරියක් විදිහට මට තියන ආඩම්බරය වගේම මම වැඩියෙන්ම සතුටු වුනේ දුවට සීයාගේ හෙවණට යන්න පුලුවන් වුන එකට. දුවට ලොකු තේරුමක් නෑ එයාගේ සීයා සීයා කොයි තරම් විශිෂ්ඨ ගායකයෙක්ද, ප්‍රසිද්ද කෙනෙක්ද කියලා. හැබැයි දුව හරිම ආසයි සීයා සීයාගේ ගෙදර යන්න. ඒ බැදීම එයාගේ පුංචි හිතට දැනෙනවා ඇති.

මගේ ප්‍රාර්ථනාව සීයා අපේ ආයුශත් අරන් නිරෝගීව තව ගොඩාක් කාලයක් අපිත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා.

ඒ වගේම අන්තිමට හරි කියන්න වැදගත්ම දෙයක් තියනවා. හෂිනි අක්කේ ඔයාට ගොඩක් පින් සීයාව බලාගන්න කරන කැපවීමට සහ මහන්සියට. මම කවදාවත් හිතුවේ නෑ අපිට ආයි පවුලක් විදිහට සීයා ලඟ ඉන්න ලැබෙයි කියලා. ගොඩාක් ස්තූති ඔයාට. ඉක්මනින් ආයි එන්නම් අනිවාරෙන්ම.

( උපුටා ගැනීම – චේතනී ගුණසේකර මුහුණු පොතෙන්)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: