hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 14, පෙ.ව. 12:04



අතුරුගිරියේ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත ජීවිතක්ෂයට පත් වුණා.

තවමත් කවුරු අතරත් කතාබහට ලක්වන ‘ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම’ අලලා සමාජ මාධ්‍ය පුරාම ලියවෙන සටහන් රැසකි.

මේ ඔහු ගැන සටහනක් තැබූ කසුන් මහේන්ද්‍ර හීනටිගල.

මුලින්ම හමුවුණේ කොහෙදිද කියල ටක්කෙටම මතක නැති වුණාට අන්තිමට හමුවුණේ මෑතක තිබිච්ච චන්දිගෙ රෝයල් බර්ත් ඩේ පාටියෙදි. කලබල ගමනින් ගෝල්ෆේස් හෝටලේ ඇතුළෙ එහා මෙහා යනකොට මහත අතක් මගේ කෙට්ටු අත තාත්තෙක් වගේ අල්ලගත්තා. මං ඔළුව උස්සල බලනකොට ඒ ගොරෝසු බැරැන්ඩි හඬ ශාලාවෙ ගිගුම් දුන්නා.

‘කස්සා කොහොමද මල්ලේ … ඇයි මල්ලෙ මට වෙඩින් එක නොකිව්වෙ’

මං ස්ටක් වුණා. විශාල මිතුරු මිතුරියො ප්‍රමාණයකට ආරාධනා කරනකොට කාර්‍ය බහුලත්වය නිසා ම අප අතින්, මැනේජර්ස්ලා අතින්, ඉවෙන්ට් ප්ලෑනර්ස්ලා අතින්, ඇඩ්මින්වරුන් අතින් එවන් අතපසු වීම් සිදුවීම මිනිස් ගතියකි. ඊට සමාව දීම දේව ගතියකි. ඉදින් අවාසනාවකට අපේ අමරණීය මඟුල් රාත්‍රියට වසන්ත අයියාට ආරාධනා පත්‍රය නොගොසින් තිබුණි. මම සුහද දෑසින් ඔහු දෙස බැලීමි.

‘ හරි හරි එව්ව වැඩක් නෑ. මොකා මොනවා කිව්වත් සතුටින් හිටපන් උඹලා දෙන්නා. අන්තිමට කස්සා ඉතුරු වෙන්නෙ උඹල දෙන්නට උඹල දෙන්න විතරයි මල්ලේ ‘

ඒ තමයි මනුස්සය මට කියපු අන්තිම දෙබස. ඒක කොච්චර ඇත්තක් ද කියනව නම් වසන්ත අයියටත් අන්තිමට ඉතුරු වුණේ එයා ගාවම හිටපු මැණික් අක්කව විතරයි. දෙන්නා කිරිබත් කෑවෙත් එකටමයි. අන්තිමට වෙඩිකෑවෙත් එකටමයි.

හුඟ දෙනා නොදන්නවා වුණාට අපි හරිම ආසාවෙන් බලන ශාරුක් ඛාන්ලගෙ, අමිතාබ්ලගෙ, මධුරි ඩික්සිත්ලගෙ, සංජේ දත්ලගෙ, රාම් ගෝපාල් වර්මලගෙ, අනුරාග් කාශ්‍යප්ලගෙ බහුතර බයිස්කෝප් නිෂ්පාදනය කරල තියෙන්නෙ ‘D කම්පැනි.’ මේ D කොම්පැනියෙ ලොක්කා තමයි ‘දාවුද් ඊබ්‍රහිම්.’ එයා තමයි මේ මොහොතෙත් ආසියාතික පාතාලයෙ ‘ඇත්ත ගෝඩ් ෆාදර්.’ මනුස්සය කළු සල්ලි පොකුරු පිටින් සුදු කරන්න පටන්ගත්තෙ බ්ලොක් බස්ටර් චිත්‍රපට හදලා. රසික ප්‍රජාව විනෝදාස්වාද උල්පතේ ගිල්වලා මනුස්සයා සියලු පාලන තන්‍ත්‍ර තමා අතට ගත්තා. ‘මනී ලොන්ඩ්‍රින්’ කියන කුප්‍රකට කාරණාව හොලිවුඩයෙත් එහෙමමයි. කොලිවුඩයෙත් එහෙමමයි. ටෙලිවුඩයෙත් එහෙමමයි. හැම වුඩයෙම එහෙමමයි. ක්ලබ් වසන්තල වගේ ‘දුකේ හිටියත් ණයේ හිටියත් සැපේ බව පෙන්නන රන් මාලකරුවන්ගෙ මූල්‍යායෝජන’ අපිට යොදාගන්න තිබ්බෙ ඇත්තටම ‘දුවන චිත්‍රපට හදන්න’. අතීතෙ ඉඳල එහෙම වුණා නං සමහරවිට අද මෙහෙ ඉතා හොඳ ආට් ඉන්ඩස්ට්‍රියකුත් හැදිලා. වසන්ත අයියලා වගේ අයට පාතාලෙට ණයනොවී විශාල වශයෙන් ලාභ ලබන්නත් තිබුණා. අපරාදෙ !

අන්තිමට සිද්ධ වුණේ චිකාගෝ පන්නයේ හෝ ටැරන්ටිනෝමය පන්නයේ චිත්‍රපටයක වගේ වෙඩික්කරුවො දෙන්නෙක් ඩිස් ගාල පැනල වෙඩි තියලා මිනීමරලා මහදවල් එළිපිට ලස්සනට පැනලා ගිය එක. ඒවා චිත්‍රපට වලට වඩා අතිශය භයානකයි. අජූතයි. කැතයි. ගෝත්‍රිකයි. සාහසිකයි. පුරවැසි ආරක්ෂාව බිංදුවයි. කෑම කමින් සිටින සතෙකුට පවා හිරිහැර කිරීම සදාචාර විරෝධීයි. ආගමික දෘෂ්ටියෙන් පව්කාරයි.

මේක ලියනවද නැද්ද කියල මං දවස් ගාණක් කල්පනා කළා. මේ පින්තූරෙ දැක්ක මොහොතෙ ලියනවමයි කියල මගෙ ඇතුළෙ ඉන්න ලියන්නා එළියට කඩාපැන්නා. අනේක චෝදනා අනේක ගර්ජනා මැද පවා ඒ සියල්ලම පසෙකලා ‘දුවෙකුට තමන්ගෙ තාත්තා තරම් වීරයෙක් මිහිපිට නැති බව’ මට මතක් වුණා. ඒක වසන්තටත් පොදුයි. ප්‍රභාකරන්ටත් පොදුයි. කුඩාකල මියගිය දියණිය අද උන්නා නම් මහින්ද රාජපක්ෂටත් පොදුයි. ඔය අස්සෙ ‘කුමාර හෙට්ටිආරච්චි’ කියන කවියා ලියපු ‘ධර්මද්වීපය’ කියන කෙටි කවිය අකුණක් ගහන්නා වගේ මගේ ඔළුවට කෙටුවා. මේං ඒ කෙටි කවිය. කියවන්න ! හුස්මක් අරං හිතන්න.

ධර්මද්වීපය

ටාං

ටාං

ටාං

ඩෝං

ඩෝං

ඩෝං !

| සටහන – කසුන් මහේන්ද්‍ර හීනටිගල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: