hit counter

2025 ජූනි මස 02 වන සඳුදා

2025 ජූනි 01, ප.ව. 12:02



කවුරුන් හෝ තමගේ ජීවිතයට සමීපම කෙනෙක් හැරදා ගියොත්, ඒක දරාගන්න එක ටිකක් අපහසු කාරණයක්..

ඇය මේ කතාවට මුල පුරන්නේම හෙළ සිනමාවේ නිලි රැජිනගේ නික්මයාම ගැන සිහිපත් කරමින්.. එදා රංගන ශිල්පීන් , ශිල්පිනියන් අතර හොඳ සුහදත්වයක් වර්ධනයව තිබුණා.. ඇගේ කතාව පුරාවට කියවුණු ඒ මිතුදම මීට කදිම සාක්ෂියක්…

ලාංකීය සිනමාව, වගේම පුංචි තිරයද එක ලෙස ජයගත් ඇය, එදා පටන් මේ දක්වා තම වෘත්තිය තුළ විවිධ සංදිස්ථාන සනිටුහන් කළ ශිල්පිනියක්.. වසන්ති චතුරාණි, අද හිරු ගොසිප් සමග ඇය බෙදාගත් ඒ සුහදත්වය හරිම අපූරුයි..

ඒ නිහතමානී දක්ෂ කලාකාරිණියගෙන් අපි ඇගේ වතගොත විමසුවා.. ඇගේ හිතේ සැඟව තිබූ දහසකුත් දේ වචනවලට පෙරළුණේ මෙන්න මේ විදිහටයි..

ඔබ කාර්යබහුල ප්‍රවීණ රංගන ශිල්පිනියක්.. අපි මුලින්ම කතා කරමු කොහොමද මේ දවස්වල ඔබේ ජීවිතේ ගෙවෙන්නේ..

මේ දස්වල මම නම් ඉතින් සතුටෙන් ඉන්නවා.. ඒ වගේම අපි අපේ නිළි රැජිනගේ වියෝව ගැනත් කියන්න ඕන.. ඒ බව අපි දැනගෙන හිටියා.. දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා රිදී රැයක් කරාම අපි ඔක්කොම එකතු වුණා.. ඒත් එදත් හිටියේ වෙනදා ඉන්න මාලනී අක්කා නෙවෙයි.. මට එදත් දැනුනා.. අපි ඉතින් කතා වුණා මාලනී අක්කාට ගොඩක් අසනීපයි කියලා…

කලාව පැත්තෙන් මීට දින කිහිපයකටකලින් ඔබේ ජීවිතයේ විශේෂ යමක් සිදුවුණා.. අපි ඒ ගැන කතා කරමු..

ඔව් මගේ ජීවිතේ පහුගිය කාලේදී, ගැහැනු ළමයි චිත්‍රපටය කෑන්ස් උළෙලකදී ඇගයීමටලක් වුණා.. කෑන්ස් කියන්නේ ලෝකේ ලොකූ සිනමා සම්මාන උළෙලක්.. මටයි ඒකේ රඟපාපු අජිත් ජිනදාසටයි, ශ්‍යාමා ආනන්දටයි රතුපළසින් යන්නත් අවස්ථාවක් ලැබුණා.. මුල් වරට කෑන්ස් චිත්‍රපට උළෙලකදී පෙන්නපු සිංහල චිත්‍රපටය ගැහැනු ළමයි… ඊට කලින් කිසිම සිංහල චිත්‍රපටයකට ඒ අවස්ථාව හිමිවෙලා නැහැ.. ඒ රතුපළස උඩ යන්න මෙහේ කාටවත් අවස්ථාවක් ලැබිලත් නැහැ.. කෑන්ස් සිනමා උළෙලේදී ඇත්තටම ඒක අපේ රටට ලැබුණු ලොකු ගෞරවයක්.. ඒ වගේම සිංහල සිනමාවට.. ජාත්‍යන්තරයට යන්න මගේ ලොකු සිහිනයක් තියනවා.. මං හිතනවා ඒ සිහිනය තමයි මට ලැබුණේ කියලා..

ඔබ ආරම්භයේදීත් ඇය ගැන සඳහන් කළා.. නිලි රැජිණගේ නික්මයාම දැනෙන්නේ කොහොමද ඔබට..

දැන් ඉතින් අවුරුදු 10ක වෙලේ ඉඳලා ඇය ලෙඩරෝග ආවා ඇයට.. අවසානයේ ඇගේ වකුගඩු අකර්මන්‍ය වුණා.. ඉතින් ඇත්තටම සිනමාවට ලොකු පාඩුවක් ඇය නැතිවුණු එක.. සහ අනිත් එක ජීවිතේට වත් හිතන්න බැහැ මාලනී අක්කා වගේ කෙනෙක් නැවත එයි කියලා සිනමාවට.. අපිටවත් බැහැ එයාගේ ඒ තැනට ලංවෙන්න.. එච්චරට එයා බොහොම හොඳ නිහතමානී කලාකාරිණියක්.. ඒ වගේම එයා යම් කිසි දෙයක් ක්ෂේත්‍රය වෙනුවෙන් කළ කලාකාරිණියක්.. ඉතින් එයාට ඒ නිසි තැන ලැබීම, ඒ ගෞරවය දෙන්න ඕන එතනින් එහාට කිසි කෙනෙක් නැහැ.. ඉතින් මට දැන් සිනමාවේ හරි පාළු ගතියක් තේරෙනවා.. එක එක්කෙනා යනවා නේ දැන්.. ඉතින් ඔහොම තමයි, වයසට ගියාම අපිත් තව ටික කලකින් යයි.. ජීවිතේ කියන එක නිකං අර තණ අග පිනිබිංදුව වගේ කියනවානේ.. කොහොම කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ.. ජිවිතේ හැටි දැනගෙන හිටියාම ඒකට මුහුණ දෙන්න ලේසී.. ඒක තමයි ඉතින් ජීවිතේ කියන්නේ.. ඒක තේරුම් ගන්න ඕන.. දුක වුණාට ඒක හිතට ගන්නේ නැතුව තුරුළු වෙලා ඉන්නවා ඉතින් මාලනී අක්කා.. අපි එක්ක ඉතා සුහදව වැඩ කළා.. හරියට නිකං පොඩි ළමයෙක් වගේ.. හිතාගන්න බැහැ මේ ඇගේ නික්මයාම ගැන..

ඔබ රංගනයට ප්‍රවිශ්ඨ වෙන්නේ තරුණ කාලයේදීමයි.. ඒ කාලේ ඔබටත් ආසාවක් තියෙන්නෙ ඇති නේ මාලනී ෆොන්සේකා කියන ඒ දැවැන්ත චරිතය දවසක දකින්න.. මතකද මුලින්ම ඇයට සජීවීව දැක්ක දවස..

ඇයව දැක්කේ මං පුංචි කාලේ.. මං ගමනක් යන්න ඉද්දී ගම්පහ ස්ටේෂ්න් එක ළඟ වාහනයක් නවත්තලා කට්ටිය කලබලයෙන් දුවනවා මං දැක්කා.. එතකොට මට ආරංචියක් ආවා මාලනී ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකා වාහනය නවත්තලා එතන ඉන්නවා කියලා.. එයාලා අස්ගිරි මල්වත්තේ ෂූටින්වලට යන්න මං හිතන්නේ එතන හිටියේ.. මමත් හරි පුංචි මං අර ගමන පැත්තකට දාලා එයා දිහා බලාගෙන හිටියා.. ඔව් එදා තමයි මං ඇය පළවෙනි වතාවට දැක්කේ.. ඊට පස්සේ සිනමාවට ආවට පස්සේ නොයෙක් වතාවල්වල මුණගැහුණා.. කතා කළා.. හරි සුහදශීලී ලෙස වැඩ කළා.. අපි අර අලුතෙන් ආව අය කියලා නෙවෙයි, ඉස්සර අය එහෙමයි.. හැමෝම එහෙමයි.. හරි නිහතමානීව අලුතෙන් එන පරම්පරාව පිළිගත්තා..

මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කට‍යුතු සිදුවන මොහොතේ ඇයට අවසන් ගෞරව දක්වන්න විශාල ජන ගඟක් ආවානේ.. ඒ මොහොත ඔබතුමියට කොහොමද දැනුනේ..?

ඇත්තටම ඉතින් ඒක හරි වාසනාවක්.. අපේ සමහර කලාකරුවෝ ඉන්නවා නේ.. මේ වගේ එච්චර ආදරයෙන් මිනිස්සු වැළඳගන්නේ නැති, නමුත් මෙතුමිය මරුණට පස්සෙත් මිනිස්සු ආදරයෙන් වැළඳගත්තා.. මට ඇත්තටම ඇය ගැන සතුටුයි.. එයා වාසනාවන්ත , පින්වන්ත කෙනෙක්.. මං හිතනවා දැන් ඇය හොඳ තැනක ඇති කියලා.. මොකද කාටවත් වරදක් නැහැ එයා.. එයා එයාගේ වැඩකටයුතු කරලා පාඩුවේ හිටපු කෙනෙක්.. අරයට මෙයාට කවදාවක් කරදරයක් කරන්නේ නැහැ.. නරක විදිහේ ගතිගුණ කවදාවත් එයා ළඟ තිබිලා නැහැ.. අපි එක්ක වැඩ කරන්න වුණත් එකහා සමානව වයස් භේදයකින් තොරව අපි කවුරුත් වැඩ කළා.. අපි හැමෝම එහෙමයි.. ඒ පරණ අයගේ ඒ ගතිය තියනවා.. වෙලාවට වැඩ කිරීම වගේ දේවල්.. කැපවීම, ඒවා තමයි අවශ්‍යතාව වෙන්නේ ශිල්පිනි‍යක් වුණාම..

තිරයට ආවට පස්සේ ඇයත් එක්ක එකට රංගනයෙන් දායක වෙන්න ඇයට අවස්ථාව ලැබුණා නේ.. ඇයත් එක්ක වැඩ කරනකොට ෂූටින් අතරතුර වෙච්ච අමතක නොවෙන සිදුවීම තියනවාද..?

අම්මේ ඔව්.. අපි උඩු සුළඟ ෆිල්ම් එක කරද්දී, රවීන්ද්‍ර, මම අපි ඔක්කොම හිටියේ පොඩි ගෙවල්වල ජීවත්වෙන මිනිස්සු හැටියට.. ඉතින් මාලනී අක්කා, රවීන්ද්‍ර , මම අපි ඔක්කෝමලා, පොඩි රස්සාවක් කරනවා.. ඒ අවස්ථාවේ අපිට තිබුණා එක තැනකදී ලොරියක නැගලා යන්න.. ඒකේ ඉඳගෙන.. එහෙම තමයි ඒ කාලේ.. වැඩකරන අය ලොරියක දාගෙන තමයි ගෙනියන්නේ.. මාලනී අක්කා මට තවම මතක‍යි.. එයයි මමයි කිලිටු රෙද්දකුයි හැට්ටෙකුයි ඇඳගෙන, අව්ව නිසා ඔළුවට රෙදිකෑල්ලක් බැඳගෙන ඒ ගිය හැටි මට පුදුමයි.. අපි ඔක්කොම කොළඹ වටේ එකෙම ගියා ෂූටින්වලට ඉතින්..

මාලනී ෆොන්සේකා, අපේ නිලි රැජිණගේ හිස්තැන පුරවන්න අනාගතේ දවසක යම් කෙනෙක් එයි කියලා ඔබට විශ්වාසයක් තියනවාද..? ඊළඟ පරම්පරාවෙන්..

දැනට නම් පේන තෙක්මානයක නැහැ.. අද නළුනිලියෝ ළඟ ඒ කැපවීම නැහැ..

අපි නැවතත් ඔබ ගැන කතා කරමු.. යමුද ගැහැනු ළමයි චිත්‍රපයේ අතීතයට.. කොහොමද ඒ කාලේ රසිකයින්ගෙන් ඔබට ලැබුණු ආදරය..

දැන් ඒ චිත්‍රපටය ගැන කියනකොට කියන්න තියන අමතක නොවෙන දේ තමයි, ප්‍රංශයේ ඉන්න අය මේ චිත්‍රපටය බලලා පුදුමයට පත්වෙලා විනාඩි විස්ස්සක් ඒ අය අත්පුඩි ගැහුවා.. රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂක ආදරයට එහා ගිය දෙයක් මට තවත් නැහැ.. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.. ඒ වගේම අපි නිසා රටට කීර්තියක්, ජාත්‍යන්තරදි සිනමාවට කීර්තියක් ලබාදෙන්න ලැබෙනවා නම්, ඒ අවස්ථාව හරි වටිනවා.. ඒකට අපි සදා ණයගැතියි සුමිත්‍රා පීරිස් මහත්මියට, ලෙස්‍‍ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට..

අනාගතයේ දවසක ඒ වගේ තවත් හිතේ රැදෙන චරිතයකින් ඔබව දැකගන්න අපිට පුළුවන් වේවිද..?

අනිවර්‍යයෙන්ම, ඒත් ඒ කවද්ද කියන්න අපි දන්නේ නෑ.. නමුත් පුළුවන්..

ඇය හරිම ශක්තිමත් විදිහට අවසාන වශයෙන් කිව්වේ තවත් එක් බලාපොරොත්තුවකට ඉඩක් වෙන්කරගෙනයි..

ඉතින් මේ සොඳුරු, නිහතමානී කලාකාරිණිගේ සිතන පතන සියලුම දේ ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා අපිත් ඇයට හදවතින්ම සුබපතනවා..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: