hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:04



ඇය යොවුන් වියේ පසුවන සුරූපී රංගන ශිල්පිනියකි. බාල වියේ සිටම නිවේදිකාවක, වෙ‍ෙළඳ දැන්වීම් රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය රූපවාහිනියට මෙන්ම සිනමාවට ද පිවිසියාය. ළමා රංගන ශිල්පිනියක් ලෙස රංගන ක්ෂේත්‍රයට පිවිසුණු යොහානි මේ වනවිට යොවුන් රංගන ශිල්පිනියක් ලෙස දිගු ගමනක් පැමිණ ඇත.

2018 වර්ෂයේ හොඳම ළමා රංගන ශිල්පිනිය ලෙස සුමති සම්මානයෙන් ද පිදුම් ලැබූ ඇය ඉතා කෙටි කලකින්ම ජනප්‍රිය වීමට සමත් වූවාය. මේ දිනවල හිරු රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වන “සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාට්‍යයේ “සකුණි“ ලෙස ඔබේ ආලින්දයට ගොඩවෙන ඇය යොහානි හෙට්ටිආරච්චි ය. ඇය පුවත්පතක් සමඟ කළ සාකච්ජාව පහතින්,

ඔබ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ කොහොමද?

මම මුලින්ම සම්බන්ධ වුණේ නිවේදන කටයුතුවලට. ඒ සිරස රූපවාහිනී නාළිකාවේ විකාශය වුණ “පුංචි පැංචි” වැඩසටහනට. එතකොට මගේ වයස අවුරුදු 6යි. අවුරුදු 6 ඉඳන් අවුරුදු 8 වෙනකන්ම මම ඒ වැඩසටහන සම්බන්ධ වුණා. ඉන් පස්සෙ තමයි නාලන් මෙන්ඩිස් මහතාගේ “අංගනා” ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. එතකොට මට වයස අවුරුදු 8 යි.

ටෙලි නාට්‍යයන්ට අමතරව චිත්‍රපට සඳහාත් ඔබ දායක වී තිබෙනවා නේද?

මුලින්ම චිත්‍රපටයක රඟපානකොට මට වයස අවුරුදු පහළොවක්වත් නැහැ. අලි කතාව චිත්‍රපටයේ තමයි මුලින්ම රඟපෑවේ. ඉන් පස්සේ ‘ඇහැලේපොළ කුමාරිහාමි‘, ‘නිහඬ සෙවණැලි‘, ‘පුංචි අන්දරේ‘ වගේ චිත්‍රපට 10කට විතර මට සම්බන්ධ වේන බැරි වුණා.

ඔබ ළාබාල වියේදීම සම්මානයට පාත්‍ර වුණු රංගන ශිල්පිනියක්. ඒ පිළිබඳ මතකය අවදි කළොත්?

ඔව්. ඒක මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්. ඒ මම 2018 වර්ෂයේ හොඳම ළමා රංගන ශිල්පිනිය විදිහට සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ වෙනකොට ඔබ රංගනයෙන් දායක වන නිර්මාණ මොනවාද?

මේ වෙනකොට මම ITN නාළිකාවේ විකාශනය වන ‘පාරාදීසේ‘ ටෙලි නාට්‍යයේ සහ හිරු නාළිකාව ඔස්සේ විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ‘ටෙලි නාට්‍ය රඟපානවා. ‘සිහින ගෙනෙන කුමාරියේ‘නාට්‍යයේ සකුණිගේ චරිතය තමයි මම රඟපාන්නේ. ඒ චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මට ගොඩක් වටිනවා මගේ මේ ගමන යන්න. මේ දවස් වල මම මගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙන නිසා වැඩිය නිර්මාණයවල දකින්න නැති වෙන්න පුළුවන්. මම කොහොමත් ප්‍රසිද්ධ කෙනෙක් වෙනවට වඩා දක්ෂ කෙනෙක් වෙන්නයි උත්සාහ කරන්නෙ.

ඔබ තරුණ රංගන ශිල්පිනියක්. ඔබට ප්‍රවීණයන්ගේ ලැබෙන සහාය කොහොමද?

ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිණියන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ දිනවලදී රූගත කරන පාරාදීසේ ටෙලිනාට්‍යයේ මගේ අම්මා සහ තාත්තා කියන චරිත දෙක රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී අංජුලා රාජපක්ෂ හා ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද අතුකෝරළ.ඒක මට ලොකු ශක්තියක්. ඒ අයගෙන් හැම වෙලේම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මම මේ හැමදෙයක්ම කළේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් කියලා දුන්න දේවල්වලින් වගේම ඔවුන්ගෙන් ඉගෙන ගත්ත දේවල්වලිනුයි. ඒ ගැන මට මං ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මට වචනයකින් හරි සහයෝගය ලබා දුන්න ඒ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: